ඇස් රතු වෙන විහිලු ගැන කතා කරනවා වගේම ඇස් රතු කරන පලතුරු ගැනත් අපි හැමෝම දැනගෙන ඉන්නා එක හරිම වටිනවා. අපේ ශරීරයේ තියෙන ඉන්ද්‍රියන් සෑම එකක්ම හරිම වැදගත් තමයි. ඒත් ඉතින් ලෝකය දකින්නට අපිට තියෙන්නේ අපේ ඇස් දෙක. ඒ නිසාම ඇස් දෙක පණ වගේ රැක ගන්නත් අමතක කරන්නට හොඳ දෙයක් නෙවෙයි. කොහොමවුණත් ඇස් සම්බන්ධ විවිධ ලෙඩ රෝග ගැන නිතරම කතා කරන අපි අද ඔබ සමඟ කතා කරන්නේ ඇස් රතුවීම ගැන වගේම ඇස් රතු කරන අපි ගන්නා පලතුරු කිහිපයකුත් පිළිබඳවයි. නිරෝගීව ඉන්නට පලතුරු කන්නත් ඕන. ඒත් ඉතින් අපේ නෙත් දෙක රැක ගන්නත් ඕන නේ . ඒ නිසා මේ ගැන ටිකක් සවිස්තරව අපි කතා කරමු.
ඇස් රතුවීමක් අපේ ඇසේ තියෙන ඕනෑම කොටසක ඇති වෙන්නට පුළුවන්. සාමාන්‍යයෙන් අපි ඇස රතුවෙලා කියලා දකින්නේ ඇසේ සුදු ඉංගිරියාවේ රුධිර නහර ඉලිප්පීමක් එහෙමත් ඇත්නම් ඉදිමීමක් නිසා ඇති කරන රතු පැහැවීමක්. මේ විදියට දකින්නට ලැබෙන ඇසේ රතුවීම කියන්නේ නොසලකා හරින්නට හැකි සුළු ගැටළු නෙවෙයි. මොකද ශරීර අභ්‍යන්තරයේ ඇතිවන නොයෙකුත් රෝග තත්ත්වයක් මත මේ වගේ ඇස් රතුවීමක් දකින්නට පුළුවන්. මේ විදියට ඇස් රතුවීමක් සිදු වෙන්නේ අදාල ප්‍රදේශයට රුධිරය වැඩිපුර ගමන් කිරීම නිසා රුධිරවාහිනී විස්තාරණය වී ඒ රතු පැහැය පිටතට දිස් වෙන නිසා. මේ ආකාරයට ඇස් රතු වෙන්නට හේතු කිහිපයක්ම බලපානවා.
ඇස් රතුවීමට බලපාන හේතු
- ඇසේ පිටත සිවියේ ඇතිවන තුවාලමය තත්ත්වයන්
- පිටත ඇති සිවිය බාහිර රෝග බීජයකින් අකර්මණ්‍ය කිරීමෙන් ඇතිවන Acnte Conjunctiritis තත්ත්වය
- ග්ලූකෝමා තත්ත්වය
Acnte Conjunctiritis තත්ත්වය

මේ තත්ත්වය ආසාදනයක් නිසා හෝ ආසාත්මිකතාවයක් හේතුවෙන් ඇති වෙන්නට පුළුවන්. ආසාදන තත්ත්වයන් බැක්ටීරියා හෝ වයිරස් හේතුවෙන් වගේම ආසාදන නොවන ඇලජික් තත්ත්වයන් නිසාවෙන් පවා ඇස් රතුවීමක් ඇති වෙනවා. මෙසේ ඇස් රතු කරන ඇලජික් තත්ත්වයන් ඇති කරන පලතුරු ගැන අපි කතා කරමු.
ඇලජික් කියන්නේ අපි හැමෝම අසා පුරුදු විටෙක ඔබත් අත්විද ඇති තත්ත්වයක්වෙන්නට පුළුවන්. ඉතින් ඇස් රතුවීම කෙරෙහි මේ අසාත්මිකතාවයන් පවා විශාල බලපෑමක් ඇති කරනවා. අපේ දේහයේ ආරක්ශාව සඳහා ප්‍රතිශක්තිකරණ පද්දධතිය බාහිර පරිසරයෙන් අපේ ශරීරයට ඇතුළු වන නොයෙකුත් විෂබීජවලට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. ඇතැම් අවස්ථාවන්වලදී අපේ ශරීරයට විශබීජ ලෙස ක්‍රියා නොකරන යම් ද්‍රව්‍යවලටත් ප්‍රතික්‍රියා කරන්නට පටන් ගන්නවා.
Allergent කියන්නේ ඒ වගේ තත්ත්වයක්. සත්ත්ව ලෝම, මල්වල පරාග, දූවිලි, ආහාර ද්‍රව්‍යයක් දෙයක්, ශරීර අභ්‍යන්තරයෙන් හට ගන්නා යම්කිසි ප්‍රෝටීනවල ප්‍රතික්‍රියාවක් නිසා මේ ඇලජන්ට් එක ලෙස ක්‍රියාකළ ද්‍රව්‍ය දේහයේ ආරක්ෂක පද්ධතියට අදාල සෛලවලට දැනුම් දීමෙන් Antibody ප්‍රෝටීන විශේෂය නිෂ්පාදනය කරනවා. එය ඉවත් ද්‍රව්‍යවලට එරෙහිව කටයුතු කරන්නට ශරීරය සූදානම් කරනවා. මෙහි ප්‍රතිඵලයක් විදියට යම් යම් ආහාර ගත් විට එමගින් අපිට විවිධ ආසාත්මිකතා ඇති කරනවා.
අපි මේ කතා කරන ඇස් රතුවීමට පෙර ඇස්වල කැසීම, ආලෝකයට ඇතිවන සංවේදීතාවය සහ කඳුළු ගැලීම ආදී තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි තවත් අයට ඇසට යමක් ඇතුල් වෙලා වගේ දැනෙන ස්වභාවයත් ඇති වෙන්නට පුළුවන්. නමුත් පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ ආසාත්මිකතා දැනෙන ආකාරය වෙනස් වෙනවා.
ඇස් රතු කරන පලතුරු
- රඹුටන් සහ මැංගුස්

ලොකු කුඩා හැමෝම හරිම ආසාවෙන් කන පලතුරු වර්ග 2 ක් තමයි රඹුටන් සහ මැංගුස්. මේ පලතුරු අධිකව ආහාරයට ගැනීම මගින් ඉහත සඳහන් කළ ආකාරයේ ආසාත්මිකතා ඇති වෙනවා. හතිය වගේ තත්ත්වයන් ඇති අය නිතර මේ වගේ ඇලජික් තත්ත්වය ඇතිවන අයට මේ පලතුරු නිසාවෙන් ඇස් රතුවීමක් ඇති වෙන්නට පුළුවන්.
විශේෂයෙන්ම කුඩා දරුවන් වැඩි වශයෙන්ම ඒ පලතුරු ආහාරයට ගැනීමෙන් ඇස් කැසීමේ රතුවීමේ තත්ත්වයට පත් වෙනවා. එවැනි දරුවන්ට ඇස් කැසීම පවා බොහෝ කාලයක් පවතින්නට පුළුවන්. නමුත් ඒ තත්ත්වයන් දිගු කාලයක් තිබීම ඇසේ සෞඛ්‍යට හානිදායකයි. ඇස කසද්දි රතු පැහැයට හැරෙන ඇස තවදුරටත් කැසීමෙන් ඇසේ ඉදිරිපිට ඇති සිවියේ නොයෙකුත් ඇදවීම් ආදිය ඇති වෙනවා. ඒ නිසා කණ්ණාඩි පැළදීමෙන්වත් ඇසේ පෙනුම ලබා ගන්නට නොහැකි වෙනවා. මේ තත්ත්වය කෙරටගෝනස් විදියටයි හඳුන්වනු ලබන්නේ.
ඒ හැරුණාම කිරි වර්ග, චීස් වර්ග අන්නාසි අඹ, විවිධ මස් වර්ග ආදියත් විවිධ ආසාත්මිකතා ඇති කරන ආහාර විදියට සඳහන් කරන්නට පුලුවන්.
විශේෂම කාරණය වෙන්නේ මෙවැනි ආසාත්මිකතාවයක් දිර්ඝකාලීනව ඇත්නම් පමා නොවී වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු වීමයි.ඒ වගේම තමයි ඇස් සම්බන්ධ මෙවැනි ගැටළුවකදී ඔබ හමුවිය යුත්තේ අක්ෂි වෛද්‍යවරයෙක්. රෝගය නිවැරදි ලෙස නිශ්චය කර නොගත හොත් එයින් භයානක ප්‍රතිඵල ලැබෙන්නට වැඩි ඉඩක් පවතිනවා.
ඔබේ ඇස් රතුවීමට ඔබ අධිකව රඹුටන් හෝ මැන්ගුස් හෝ වෙනත් ආහාරයක් ගත්තාද යන්න මතක් කර බලා එසේ නම් එය එතරම් කලබල විය යුතු කරුණක් නෙවෙයි. එවිට සීතල වතුර ටිකක් අරගෙන පිරිසිදු රෙදිකඩක් එහි පොගවා ඇස වසා ඇසේ උඩ පිහාටුව සහ යටි පිහාටුව තවන්න. එමගින් ඇසේ රතුවීම යම් ප්‍රමාණයකට අඩුකර ගන්නට පුළුවන්.ඒ වගේම ඒ ආහාර වර්ග කාලයක් යනතුරු නැවත නොගෙන ඉන්නත් ඔබ වග බලා ගත යුතු වෙනවා.
ඉතින් වර්තමානයේදී මේ ඇලජික් තත්ත්වයන් බහුලවම ලොකු කුඩා භේදයක් නැතිව හැමෝටම වගේ ඇතිවෙනවා. ඒ සඳහා වැඩි වශයෙන් සෙම ඇති කරන සිසිල් ආහාරපාන , ගැඹුරු තෙලේ බදින ලද ආහාර, කිරි ආහාර ආදී ආහාර අධිකව ගැනීම දක්වන්නට පුළුවන්. ඒ නිසා ආසාත්මිකතා වැඩි කරන හේතුවලින් ඈත්වී සිටින තරමට ඔබට ඔබේ ඇස් ආරක්ෂා කර ගන්නට හැකියාව ලැබෙනවා.