අපේ රටේ ජනතාවගේ ප්‍රධාන ආහාර විදිහට සැලකෙන්නේ බත්. අතීතයේ බොහෝ නිවෙස්වල මිනිසුන් තුන් වේලටම බත් ආහාරයට එකතු කර ගත් බව අපි හැමෝම දන්නා කාරණයක්. නමුත් අද බොහෝ දෙනෙක් බත් වෙනුවට පාන් ඇතුළු කෙටි ආහාර ගැනීමට හුරු වෙලා ඉන්නවා. නමුත් දේශීයත්වයට මුල් තැන දෙමින් පෝෂණ ගුණයෙන් ඉහළ ආහාරවේලක් සකසා ගෙන ආහාරයට ගන්නට පුළුවන් නම් එය නිරෝගීව බොහෝ කාලයක් අපිට ජීවත් වෙන්න අවස්ථාව හිමි වෙන්නක්.
ආහාර වේලකදී අපි වැඩි වශයෙන් ආහාරයට ගන්නේ බත්. අපේ සිරුරට අවශ්‍ය වන ප්‍රෝටීන්වලින් සියයට පනහකට ආසන්න ප්‍රමාණයක් මේ බත් ආහාරයට ගැනීම මගින් ලබාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපේ ශරීරයට අත්‍යවශ්‍ය වන ඇමයිනෝ අම්ල 22 අතුරින් ත්‍රියොනීන්, මෙතියොනීන්, ඩසිස්ටීන්, ටිප්ටොපේන් ආදී වර්ග අටක් පමණ අපේ ශරීරයේ නිෂ්පාදනය වෙන්නේ නැහැ. නමුත් ඒවා සහල්වල අන්තර්ගත වෙනවා. ඉතින් මේ අතරිනුත් මේ ප්‍රතිලාභ ලබා ගන්න නම් කුරුට්ට සහිත සහල් ආහාරයට ගැනීම හරිම වැදගත්.
අද විවිධ නම්වලින්, විවිධ රසයන් වලින්, විවිධ හැඩයන්වලින්, විවිධ මිල ගණන්වලින් අපිට සහල් මිලට ගන්නට හැකියාව තියෙනවා. මේ අතුරින් උසස්ම තත්ත්වයක් සහිත සහල් විදියට සැලකෙන්නේ තම්බන ලද සහල්.

විශේෂයෙන්ම සහල් තැම්බීමේදී එහි අඩංගු විටමින් වර්ග ඉතා හොඳින් සහල් ඇටයට අවශෝෂණය කරගන්නවා. ඒ වගේම තම්බන ලද සහල් ඉතා සෙමින් ජීර්ණය වෙනවා. වී කෙටුවත් සම්පූර්ණයෙන්ම මේ කුරුට්ට ඉවත් වෙලා යන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා තම්බන සහල්වලින් වාසි බොහොමයක් අපිට ලැබෙනවා.
ඒ වගේම අද වැඩි දෙනෙක් රතු සහල් ආහාරයට ගන්නට කැමැත්තක් නැති වුණත් අපි ආහාරයට ගන්නා සහල් වර්ග අතරින් තවත් ගුණදායක සහල් වර්ගයක් තමයි රතු සහල්. කැකුළු සහල් එහෙමත් නැත්නම් නිවුඩ්ඩ සහිත සහල් විදිහට හදුන්වන මේවා අඩුවෙන් පාහින ලද සහල්. මෙසේ කුරුට්ට ඉවත් නොකර ආහාරයට ගන්නට හැකිනම් එයින් අපේ ශරීරයට ඉතා ඉහළ පෝෂණයක් ලබා ගන්නට හැකියාවක් ලැබෙනවා. මොකද එහි තන්තු ඇතුළුව විවිධ පෝෂක බොහොමයක්ම අන්තර්ගත වෙන නිසා.
නමුත් අද වත්මන් පරපුරේ දරුවන් මේ නිවුඩු සහල්වලට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් නිවුඩ්ඩ සහිත කොටසේ විටමින් b, විටමින් e වගේම යකඩ, මැග්නීසියම්,සින්ක් ආදී පෝෂක බොහොමයක් අන්තර්ගත වෙනවා. මේ කුරුට්ට ඉවත් කරද්දි මේ පෝෂණ කොටස් සියල්ලම බැහැරවීම සිදු වෙනවා.
ඒ විතරක් නෙවෙයි වැඩි වේලාවක් වැඩි වාර ගණනක් ගරා සේදීම සහල් තැම්බීමේදී කැද උතුරා යාම නිසා පවා බතේ ඇති පෝෂණ ගුණය හීනවෙලා යනවා. එබැවින් ඔබ සහල් තෝරාගැනීමේදී වගේම ඒවා පිසීමේදීත් පෝෂණය ගුණය රැකෙන පරිදි කටයුතු කරන්නට වගබලා ගත යුතුයි.
රතු සහලේ ගුණ
- මලබද්ධයට ගුණදායකයි.
- දියවැඩියා රෝගීන්ට හිතකරයි.
- අධික ස්ථූලතාවයෙන් මිදෙන්නට උපකාරී වෙයි .
- පිළිකා ඇතිවීමේ අවදානම පහළ හෙළයි.
- ශරීරයෙහි අනවශ්‍ය ලෙස මේදය තැන්පත් වීම වළක්වයි.
- අස්ථි ශක්තිමත් කරයි.
- හදවත නිරෝගී කරයි.
- නිරන්තරයෙන් කුසගිනි ඇතිවීම වළක්වයි.
- ආහාර ජීරණ පද්ධතියේ රෝග තත්ත්වයන් සමනයට උදව් වෙයි.
- වකුගඩු රෝගීන්ට ගුණදායකයි.
- දියවැඩියා රෝගීන්ට වයසට යන විට ඇතිවන බඩවැල්වල ක්‍රියාකාරීත්වය වෙනස් වීම් සඳහා සුදුසුයි.
- පිත්තාශයේ ගල් ඉවත් කරන්නට උදව් වෙයි.
- අධික රුධිර පීඩනය දුරු කරයි.

තැම්බු සහල් හෝ සුදු හෝ රතු නාඩු සහල් ආහාරය පිණිස තෝරා ගැනීම ඔබේ සෞඛ්‍ය සම්පන්න බව යහපත්ව තීරණය කරාවි. නමුත් අද බොහෝ දෙනෙක් අධිකව පාහින ලද කීරි සම්බා ඇතුළු සහල් වර්ග භාවිතයට හුරුවෙලා තියෙනවා. මේ සහල් වර්ගවල රළු ස්වභාවය අඩුවීම, රසයෙන් වැඩිවීම, ප්‍රියමනාප පෙනුම, බත් ඇට ඉතා කුඩා නිසා වැඩිපුර හපන්නට අවශ්‍ය නොවීම කියන කාරණා නිසා වැඩි දෙනෙක් ප්‍රියතාවක් දක්වනවා.
නමුත් මේ නිසා සිදු වෙන්නේ කෙටි කාලයක් තුළදී විශාල ප්‍රමාණයක් අනුභව කර කුස පුරවා ගන්නට උත්සාහ දරන එක.ඒ වගේම මේවා ඉතා ඉක්මනින් ජීර්ණය වෙනවා. දිනකට ඔබ ආහාර වේල් හතරක් පහක් අනුභවයට පෙළඹවීමත් මේ නිසාම සිදු වෙනවා .මෙහි අවසාන ප්‍රතිඵලය වෙන්නේ ඔබ අධික තරබාරුවට පත්වීම සහ අනවශ්‍ය ලෙස මේදය තැන්පත් වීම වගේම ඔබ දියවැඩියා රෝගයට ඉතා ඉක්මනින් ගොදුරු වීමයි.
ඉතින් අද බොහෝ දෙනෙක් ආහාර පාලනය කරමින් ශරීරයේ බර පවත්වා ගන්නට උත්සාහ කරනවා නේ. මේ කුරුට්ට සහිත සහල් ඔබ නිරවැරදිව බුද්ධිමත්ව තෝරාගෙන ආහාරයට ගත්තොත් ඔබට මේ ගැටළු බොහොමයකින්ම මිදෙන්නට හැකියාව තියෙනවා .
කැඳ වර්ග පිසීමේදී වගේම තුන් වේලටම ආහාරයට ගන්නා ඔබේ බත්පතට කුරුට්ට සහිත සහල් හෝ තම්බපු සහල් එකතු කරගන්නට කටයුතු කළොත් මාරාන්තික ලෙස මිනිසුන් ගොදුරු බවට පත් කරගන්නා බෝ නොවන රෝග රැසකින් ආරක්ෂා වෙලා ඉන්නට හැකියාව ලැබෙනවා.
රතු සහල්වල ගුණ කඳ මෙතෙකැයි කියා කීවත් අද ජනතාව තමන්ගේ ආහාර වේල සකස් කරගන්නට භාවිතා කරන්නේ පොලිෂ් කළ සහල්. එහෙමත් නැත්නම් මේ කුරුට්ට ඉවත් කරන ලද හොඳින් සුදට ඔප දමන ලද පෙනුමක් සහිත සහල් වර්ග. ඒ විතරක් නෙවෙයි තවත් අය රතු සහල් පවා නිවුඩ්ඩ ඉවත්කර පරිභෝජනයට ගන්නවා.
සුවදායි දිවියක් අපේක්ෂා කරන කෙනෙක් නම් ඔබ ඔබේ දරුවන්ට නිරෝගීමත් හෙටක් ලබා දෙන්නට උත්සුක වෙන කෙනෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම බුද්ධිමත්ව සිතා බලා ආහාර තෝරා බේරා ගැනීම සිදුකරන්න.