වකුගඩු රෝග සුව කරන රතු සහල් සතු ගුණ 10 ක්

health tips

බහ තෝරන වයසේ සිටම බතට හුරුවෙන ලාංකීය අපගේ ප්‍රධාන ආහාරය වන්නේ බත්.ඉතින් සැබෑවටම බත් කියන්නේ නිකන්ම නිකන් කුස පුරවන ආහාරයක් නම් නොවෙයි. එය සැබෑවටම රෝග රැසකට ගුණදෙන ඖෂධයක්. නමුත් අද අපි ආහාරයට ගන්නා සහල්වල එවැනි ගුණ සැබෑවටම අන්තර්ගතද යන්න ගැටළු සහගතයි. මොකද අද බොහෝ අය ආහාරයට ගන්නේ නිවුඩ්ඩ ඉවත් කළ සුදු පැහැ සහල්. රතු සහලේ වුණත් නිවුඩ්ඩ ඉවත් කර සුදු පැහැයක් දක්වාම පොලිෂ් කරගන්නවා. ඉතින් දවසින් දවස නොයෙකුත් ලෙඩ රෝග වසංගතවලට අපි ගොදුරුවීම අරුමයක් නොවෙයි. එදා අපේ මුතුන් මිත්තන් ආහාරයට ගත් දේශීය සහල් වර්ග අද අපි පරිභෝජනයට ගන්නේ නැති තරම් .ඉතින් අද බොහෝදෙනා කන්නට කැමති කටට රසදෙන ඇසට ප්‍රිය උපදවන සුදු සහල්. නමුත් සුදු සහලට වඩා අතිවිශාල ගුණ සම්භාරයක් රතු හාලේ ඇති බව බොහෝ අය දන්නේ නැහැ. ඇතැම් අය දැනුවත්ව සිටියත් රළු ස්වභාවයක් ගන්නා ඒවා කටට ප්‍රිය නූපදවන සහල් යැයි කියා ප්‍රතික්ශේප කරනවා.ඉතින් රතු හාලේ ගුණ දන්නා නොදන්නා හැමෝටමයි මේ ලිපිය.

රතු සහල්, තම්බන ලද රතු සහල්, දුඹුරු සහල්, රතු කැකුළු, රතු කැකුළු සම්බා ආදී වශයෙන් වෙළදපොළේ පවතිනවා. මේ රතු හාලේ ජලය, ප්‍රෝටීන්, කාබෝහයිඩ්රේට්, තන්තු, සීනි, කැල්සියම් සහ යකඩ ආදී පෝෂක රැසක් අඩංගු වෙනවා. නමුත් මේ පෝෂක ආරක්ෂා වෙන්නේ මේ සහල් සකසා ගන්නා ආකාරය මතයි. අද බොහෝ අය කෑමට එතරම් රුචියක් නොදක්වන නිවුඩු සහල් නැත්නම් රතු සහල් නිවසේ රෝගී අයෙක් සිටී නම් පමණක් ඔවුන්ට සකසා දෙනවා. අනෙක් උදවිය පුරුදු පරිදිම සුදු සහලට වහ වැටී ලෙඩ රෝග සොයා යනවා. 

කොහොමවුණත් රතු හාලේ බත් ආහාරයට ගැනීමේදී එහි නිවුඩ්ඩ නැත්නම් කුරුට්ට ඉවත් වන ආකාරයෙන් සකසා ආහාරයට ගැනීම ගුණදායක නැහැ. සාමාන්‍යයෙන් සහල් ඇටයක 70% – 76% පමණ කාබෝහයිඩ්රේට් අන්තර්ගත වෙනවා. 6% – 9% ක පමණ ප්‍රෝටීන් අන්තර්ගත වෙනවා.ඒ හැරුණාම යකඩ, සින්ක්, තන්තු, මේදය ඇමයිලෝස් ආදී පෝෂක සහ ඖෂධීය සංඝටක අඩංගු වෙන්නේ කුරුට්ටේ හෙවත් නිවුඩ්ඩේ. රතු සහල් සහ තම්බන ලද රතු සහලේ කෙඳි ප්‍රමාණය විටමින් සහ ඛනිජ ලවණ ඉතා අධිකයි.ඒ නිසා රතු සහලේ වුණත් නිවුඩ්ඩ සහිතව ආහාරයට ගැනීමයි ගුණයෙන් ඉහළ වෙන්නේ.

රතු හාලේ ගුණ නියමාකාරයෙන් ලබා ගන්නට නම් බතේ රතු පැහැය තිබිය යුතු වෙනවා. ඒ වගේම සහල් සේදීමේදී සහල් ඇටයේ ඇති පෝෂණ ගුණ විනාශ නොවන අයුරින් සහල් සේදීමටත් වග බලා ගත යුතුයි. වැඩි වාර ගණනක් සේදීමත් ගැරීමත් නිසා ජලයේ දියවන විටමින් සියල්ලම පාහේ විනාශ වී යනවා.ඒ වගේම සහල් තැම්බීමේදී කැඳ උතුරායාමෙන් පවා බතේ පෝෂණ ගුණය හීන වෙනවා.

තම්බන ලද රතු සහල් රතු සහලෙනුත් තම්බන ලද රතු සහල් ගුණයෙන් පෝෂණයෙන් ඉතා ඉහළයි. පිෂ්ඨය හැර ඉතිරි පෝෂක සියල්ලම වාගේ අන්තර්ගත වෙන්නේ වී වල පිට පොත්තේ. ඒ නිසා වී කෙටීමේදී වී පොත්ත ඉවත්වීමෙන් පෝෂක සියල්ලම වාගේ ඉවත්ව ඉතිරි වන්නේ පිෂ්ඨය පමණයි. ඒ නිසා තම්බා වී කෙටීම මගින් පොත්තේ අන්තර්ගත විටමින්, ඛනිජ ලවණ ආදී පෝෂක විනාශ වෙන්නේ නැහැ. ඒවා තම්බන විට වී පොත්තේ සිට ඒ පෝෂක වී ඇටයට උරා ගැනීම නිසා රතු සහල්වලිනුත් තම්බන ලද රතු සහල් ඉහළ පෝෂණ ගුණයෙන් සමන්විතයි.

ඒ විතරක් නෙවෙයි තැම්බූ සහල් සකස් කිරීමේදී සිදු කරන පෙගවීම සහ තැම්බීමේදී කෘමිනාශක ඇතුළු ශේෂයන් හොඳින් ඉවත්ව යනවා. සහල්වල ඇති උෂ්ණ ගතියත් පහව යනවා.ඒ නිසා වෙළදපොලේ ඇති රතු සහල්වලටත් වඩා තම්බන ලද රතු සහල් ගුණයෙන් වගේම සෞඛ්‍යාරක්ෂිත බවින් ඉහළයි.

රතු හාලේ විස්මිත ගුණ 

What is Heart Disease? | Ghiamdasht Medical Polyclinic
  • රතු හාලේ  ඇති මැග්නීසියම් සහ කැල්සියම් අස්ථි ශක්තිමත් කරයි.
  • හෘදයට ඉතාම හිතකරයි.
  • රතු හාලේ ඇති මැංගනීස් සහ පොස්පරස් සිරුරේ ඇති අනවශ්‍ය මේදය ඉවත් කරයි. ශරීරයේ එක්රැස්ව පවතින මේද කොටස් ඉවත් කරයි.
  • ශක්තිය වඩවයි. 
  • නිතර කුසගිනි ඇති නොවෙයි.
  • රතු හාලේ තන්තු ප්‍රමාණය අධික නිසා ජීර්ණ පද්ධතියේ රෝග ඇති අයට ගුණදායකයි. ඒ වගේම මල බද්ධය වළකයි.
  • වකුගඩු රෝගීන්ට ගුණදායකයි.
  • පිත්තාශයේ ඇති ගල් ඉවත් කරයි.
  • දියවැඩියා රෝගීන් වයසට යනවිට බඩවැල්වල ඇතිවන ක්‍රියාකාරිත්වයේ වෙනස්වීම සඳහා සුදුසුයි.
  • දියවැඩියාව පාලනය කරයි. මේ නිවුඩු සහලේ බත් සෙමින් ජීර්ණය වීම නිසා රුධිරයට එකවර විශාල පිශ්ඨය ප්‍රමාණයක් එකතුවීම වළක්වනවා. ඒ නිසා රුධිරයේ සීනි මට්ටම ඉහළයාම එයින් පාලනය කරනු ලබනවා. නමුත් නිවුඩ්ඩ නොමැතිව ආහාරයට ගන්නා රතු හාලේ වුණත් ඉතා ඉක්මනින් ග්ලූකෝස් බවට පත්වීමෙන් දියවැඩියාව ඇතිවිය හැකියි. ඒ නිසා සහල් පොලිෂ් කිරීමේදී සහ සේදීමේදී කුරුට්ට ආරක්ෂා වන පරිදි සකසා ගත යුතුයි. 
  • අධික තරබාරුව මට්ටු කරයි.ඉතා අඩු බත් ප්‍රමාණයකින් කුස පිරවීමට රතු හාල්වලට හැකි නිසා ගනු ලබන පිෂ්ඨය ප්‍රමාණය අඩුවෙනවා. 
  • අධි රුධිර පීඩනය දුරු කරයි.

කැඳ සකස් කිරීමේදීත් වඩාත් සුදුසු ගුණයෙන් ඉහළ සහල් වර්ගය වන්නේ රතු තම්බන ලද දිගටි සහල්.කොළ කැඳ සහල් කැඳ ආදිය සකස් කිරීමේදී මේ රතු හාල් භාවිතා කිරීම උපරිම ගුණයක් ලබාදෙයි.වර්තමානය වෙද්දි සහල් නිෂපාදනයේදී යොදන රසායනික පොහොර නිසා ශරීරයට ආසනික් සහ කැඩ්මියම් වගේ රසායනික සංයෝග වකුගඩු රෝගවලට හේතුවන නිසා නිසි ප්‍රමිතියෙන් යුත් සහල් භාවිතයත් නිවැරදි ප්‍රමාණයෙන් සහල් පරිභෝජනයටත් අවධානය යොමු කළ යුතුයි. නමුත් සහල් සැබැවින්ම ගුණාත්මක බවින් යුත් අත්‍යවශ්‍ය ආහාරයක් සහ ඖෂධයක්.