පනාවෙන් හිස පීරන විට කෙස් ගැලවී යනවනම් අදම සිදු කරයුතු දේවල් 6 ක්

health tips

හිස පීරන විට හිසකෙස් අහුරු පිටින් ගැලවී යාම නිසා ඇතැම් අය මනසින් ගොඩක් වදවෙනවා.නීරෝගී කෙස්කලඹක් හිමිකරගැනීම ඕනෑම තරුණියකගේ හීනයක්.හිසකෙස් ගැලවී යාම පාලනය කර නැවත අලුතින් හිසකෙස් වර්ධනය කරගැනීමට උදවු වෙන රූපලාවණ්‍ය උපක්‍රම කිහිපයක් ගැනයි අද අප ඔබට තොරතුරු ගෙන එන්නේ.ඔබත් හිසකෙස් ගැලවී යාමෙන් වදවිඳින කෙනෙක් නම් මේ ක්‍රම වලින් ඔබට හොඳ ප්‍රතිඵලයක් ලබාගත හැකි වේවි.

  1. ග්‍රීන් ටී වලින් හිසට සත්කාරයක්

ග්‍රීන් ටී වල බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ අඩංගුවෙනවා. ඊට අමතරව රූපලාවණ්‍ය සම්බන්ධයෙන් ද ග්‍රීන් ටී වලින් හොඳ ප්‍රතිඵල අත්කරගන්නට පුළුවන්. නීරෝගී කෙස්කලඹක් ලබාගැනීම සඳහා මෙම ග්‍රීන් ටී සත්කාරය ඉතා ප්‍රයෝජනවත්.ග්‍රීන් ටී වල අඩංගු කැටෂින් සංඝටක හිස්කබලේ රෝම කූප හකුළුවාලන හෝර්මෝන මට්ටම් අඩුකරමින් හිසකෙස් හැලීයාම පාලනය කරයි.ග්‍රීන් ටී වතුරෙන් හිස සේදීම මඟින් හිසකෙස් හැලීයාම පාලනය කරගත හැකියි වගේම හිස්කබලේ වියළිබව වළක්වාගැනීමට ද හැකියි.

  1. ඉස්හොරි දුරුකරගැනීම වැදගත්

ඉස්හොරි නිසා තද පාට ඇඳුමක්වත් අඳින්න බැරි අය ඉන්නවා. ඉස්හොරි හෙවත් සුදු පාට කුඩු වැනි මෙම ද්‍රව්‍ය ඔබේ උරහිස් හා නළල මතට වැටීම ඔබේ පෙනුමට ඇත්තෙන්ම බාධාවක්.හිස්කබලේ කැසිල්ල ඇතිවීම, අධික වියළිබවක් දැනීමට අමතරව ඉස් හොරි බලපෑමින් හිසකෙස් හැලීයාමට වුව පටන්ගත හැකියි.හිස්කබලේ ඉස් හොරි එකතුවීමෙන් කැසිල්ල හා එහි සම ආශ්‍රිතව ප්‍රදාහය වැඩිවී ක්‍රම ක්‍රමයෙන් අධිකව හිසකෙස් ගැලවී යාමට පටන්ගනියි. ඉස්හොරි දුරුකරන හොඳ ෂැම්පු වර්ගයක්, ස්වභාවික සත්කාර ක්‍රම අනුගමනය කරන්න.

  1. කෝපි කුඩු වලින් සත්කාරයක්

කෝපි සැකසීමට භාවිත කළ කෝපි කුඩු ඉවත නොදා එකතු කරගන්න.ඒවා ඔබේ හිස්කබලේ ගල්වා අතුල්ලන්න.කැෆේන් මඟින් හිසකෙස් වර්ධනය වීම උත්තේජනය කරයි.හිසකෙස් හැලීයාම වළක්වයි. 

  1. හිස්කබල හොඳින් සම්බාහනය කරන්න

දිනපතාම දවස අවසානයේ ඔබේ හිස හොඳින් සම්බාහනය කිරීමට පුරුදු වෙන්න.මින් ඔබට හොඳ සැහැල්ලුවක් දැනෙයි.ආතතිය සමනය වී යයි.ඊට අමතරව හිස්කබල සම්බාහනයෙන් එහි රුධිර ගමනාගමනය වැඩිදියුණු වී ඝනකම් හා පිරිපුන් කෙස්ගස් වර්ධනය වීම වේගවත් වෙයි.මුළින්ම හිසකෙස් වලට සුදුසු හොඳ තෙල් වර්ගයක් හිස්කබලේ ගල්වන්න. ඉන් වැඩි ප්‍රතිලාභයක් ලබාගත හැකියි.නැත්නම් හිසකෙස් වර්ධනය වේගවත් කරවන මාස්ක් සත්කාරයක් භාවිත කරන්න.ඇඟිලි තුඬු වලින් සියුම්ව හිස සම්බාහනය කරන්න.

  1. කපු කොට්ට උර වෙනස් කරන්න

තෙත කොණ්ඩය පිටින් නින්දට යාම ඉතාම නරක පුරුද්දක්, තෙත කොණ්ඩය දුර්වල බවින් වැඩි නිසා නින්දේදී හිසකෙස් ගැලවීයාමේ ප්‍රවණතාව ඉතා වැඩියි.එමෙන්ම ඔබ හිස තබන කොට්ට උරයේ ස්වභාවය ද ඔබේ හිසකෙස් වර්ධන වේගය කෙරෙහි බලපාන්න පුළුවන්.උදාහරණයක් ලෙස කපු කොට්ට උර ඔබේ කෙස්කලඹේ ඇති ස්වභාවික තෙල් ස්වභාවය උරාගනියි;ඉන් කෙස් ගස් පහසුවෙන් වියළී ගොස් කැඩී යාමට බලයි.සිල්ක් උර මීට වඩා හිතකර වන්නේ ඒ නිසයි.හිස හා කොට්ටය අතර ඝර්ෂණය (ඇතිල්ලුම) අඩුකරන නිසා කෙස්කලඹ ගැට ගැසීයාම හා අවුල් වීම අඩුයි.හිසකෙස් වල තෙතමනය ඉවත් වීමට නොදෙයි.හිසකෙස් වේගයෙන් වර්ධනය කරගැනීමට අවශ්‍ය නම් හොඳ සිල්ක් රෙද්දකින් මැසූ කොට්ට උරයකට මාරුවෙන්න.

  1. නින්දේදී ෂවර් කැප් එකක් පැලඳගෙන ඉන්න

මේ ක්‍රමය ටිකක් අමුතු වුණත් එය ඔබේ හිසකෙස් වේගයෙන් නැවත වර්ධනය කරගැනීමට උදවු විය හැකියි.ෂවර් කැප් එකකින් හිස ආවරණය කරගෙන නින්දට යාමෙන් කෙස්කලඹේ තෙතමනය ඉවත් නොවී එලෙසින්ම ‍රැඳී තිබෙයි.කෙස්කලඹේ නීරෝගී වර්ධනය සඳහා අවශ්‍ය ස්නේහන ද්‍රව්‍ය (තෙල්) ස්‍රාවය වැඩිකරවයි.මෙම ස්නේහ ද්‍රව්‍ය දීප්තිමත් දිගු කෙස්කලඹක් ලබාගැනීම සඳහා ඉතා වැදගත්ය.