ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව අම්ලපිත්ත රෝගය ලෙස හඳුන්වනු ලබන ගැස්ට්‍රයිටීස් රෝගය උදරයේ පවතින අධික දැවිල්ල නිසාවෙන් ඇතිවන රෝගී තත්ත්වයකි. මෙම රෝගය උත්සන්න වූ විට එය සමස්ත ආහාර ජීරණ පද්ධතියට ම බලපානු ලබයි.
අප ගන්නා ආහාර ජීර්ණය වීම සඳහා ආමාශයික යුෂ ඉතා වැදගත් වේ. එම යුෂවල අම්ල ප්‍රමාණයක් අන්තර්ගත වන අතර එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. යම් පුද්ගලයෙකු වැඩි කාලයක් නිරාහාරව සිටීමෙන් නිකුත්වන ආමාශයික යුෂ ප්‍රමාණය අධික වේ. එහිදී ආමාශයේ ශ්ලේෂ්මල පටල පිළිස්සී යන අතර එවිට දැවිල්ලක් ඇති වේ. මේ ආකාරයට නිතර නිරාහාරව සිටීමෙන් එම දැවිල්ල ඉහළ යන අතරම එය ගැස්ට්‍රයිටිස් රෝගය ලෙස හඳුන්වනු ලබයි.
ආහාර වේල් මග හැරීමක් හෝ නිසි වේලාවට ආහාර නොගැනීම නිසා මෙම රෝගී තත්ත්වය ප්‍රධාන වශයෙන්ම ඇති වේ. එබැවින් ඕනෑම පුද්ගලයෙකු තමන්ගේ දෛනික ආහාර වේල් පිළිබඳව පූර්ණ සැලකිල්ලෙන් සිටීම ඉතා වැදගත් වේ. මෙම රෝගයෙන් අත්මිදීම සඳහා පෝෂණීය ආහාර දිනපතා නිසි වේලාවට ලබා ගැනීම මෙන්ම උචිත ආහාර පාන වර්ග පමණක් ලබා ගැනීම සිදුකළ යුතුය. එසේ භාවිතා කළ හැකි ආහාර පාන වර්ග ලෙස

පලතුරු අම්ල පිත්ත රෝගයෙන් පීඩා විඳින පුද්ගලයින් වැඩි වශයෙන් පලතුරු ආහාරයට එක් කර ගැනීම වඩාත් සුදුසුයි. බොහෝ පලතුරු වල විටමින් වර්ග, ඛනිජ ලවණ, තන්තු සහිත ස්වභාවය, ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්ත වීම යනාදි ගුණයන්ගෙන් යුක්ත වේ. එමෙන්ම උෂ්ණාධික පලතුරු භාවිත නොකළ යුතු අතර සිසිල් ගුණයෙන් යුක්ත පලතුරු ආහාරයට එක් කරගත යුතුය.
එළවළු පිරිසිදු නැවුම් එළවළු ආහාරයට එක්කර ගැනීම ද ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා වඩාත් යෝග්‍ය වේ. මෙහිදී සිසිල් ගුණයෙන් යුක්ත නැවුම් එළවළු කෝප්පයක් පමණ දිනකට ආහාරයට එක්කර ගැනීම කළ යුතුය. එමෙන්ම කොළ පැහැයෙන් යුක්ත සලාද ආහාරයට ගැනීමද අම්ල පිත්ත රෝගයෙන් අත්මිදීම සඳහා යෝග්‍ය වේ. විශේෂයෙන් එළවළු පිසීමේදී මිරිස් සහ කුළුබඩු අවම ප්‍රමාණයන්ගෙන් භාවිතා කිරීම අනිවාර්ය වේ. මුරුංගා, පතෝල, වැටකොළු, පිපිඤ්ඤා, කොහිල අල සහ දළු, නෙළුම් අල, කෙකටිය ආදී එළවළු වර්ග යෝග්‍ය වේ. මේ ආකාරයට සිසිල් ගුණයෙන් සහ නැවුම් බවින් යුක්ත එළවළු ආහාරයට එක්කර ගැනීම ගෑස්ට්‍රයිටීස් රෝගය සුවපත් කර ගැනීම සඳහා වඩාත් යෝග්‍ය වේ.
කිරි සහ කිරි මිශ්‍ර ආහාර කැල්සියම් හා විටමින් ඩී බහුල ආහාර කිරි හෝ කිරි මිශ්‍රිත ආහාර වල අඩංගු වේ. ඒ අනුව ශරීරයේ ඇතිවන බොහෝ ලෙඩ රෝග සඳහා මෙම කිරි ආහාර භාවිතය වඩාත් සුදුසු වේ. විශේෂයෙන් මෙහිදී නැවුම් කිරි වීදුරු තුනක් දිනකට වේල් තුනකදී ලබා ගැනීම, අතුරුපස වශයෙන් මුදවපු කිරි, යෝගට්, අයිස් ක්‍රීම් වැනි කිරි මිශ්‍රිත අතුරුපස පරිභෝජනය කිරීම වැනි ඒවා හරහා අම්ල පිත්ත රෝගය පාලනය කරගත හැකිය. විශේෂයෙන් මෙහිදී මේදය අඩු කිරි නිෂ්පාදනයන් භාවිතා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය.
මස් සහ මාළු මස් මාලු වර්ග ආහාරයට ගැනීමේදී උෂ්ණාධික බවෙන් අඩු ඒවා භාවිතයට යොමු වීම ඉතා වැදගත්ය. එනම් මස් ,මාළු වර්ග පිසීමේදී තුන පහ ඇතුළු කුළුබඩු වර්ග භාවිතය අඩු කළ යුතුය. ඉහත ඒවාට අමතරව ප්‍රධාන ආහාර වේල් මග හැරුණු අවස්ථා වලදී පැස්ටා, ඊස්ට් මීල් හා ක්‍රැකර් වර්ග, කුරහන් තලප, බිස්කට් වැනි දෑ ආහාරයට ගැනීමට පුරුදු වන්නේ නම් එය ගැස්ට්‍රයිටීස් තත්ත්වය පාලනය කර ගැනීම සඳහා වඩාත් යෝග්‍ය වේ.
ජලය ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පීඩාවිඳින පුද්ගලයින් සඳහා ජලය යනු දිව්‍ය ඖෂධයකි. ජලය වැඩි වශයෙන් භාවිතා කිරීමෙන් ගැස්ට්‍රයිටිස් රෝගය පමණක් නොව වෙනත් රෝගාබාධ වලට ද ගුණ ගෙනදේ. ඒ අනුව දිනකට හැකි උපරිම ජලය පානය කිරීම මෙහිදී වැදගත්වේ.

ශීතාධික ආහාර වැඩි වශයෙන් පරිභෝජනය කිරීම මගින් ද ගැස්ට්‍රයිටීස් රෝගය සුවපත් කරගත හැකිය. ඒ අනුව එළකිරි පානය කිරීම, කැහිපිත්තන් කොල හොඳින් කොටා සීනි මිශ්‍රකර දිනක් තිබෙන්නට හැර ජෙලි මෙන් ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වේ.
තවද කොළ කැඳ පානය කිරීම මගින් ද අම්ල පිත්ත රෝගය සුවපත් කරගත හැකිය. විශේෂයෙන් මෙම කැඳ සකස් කිරීමේදී යොදා ගන්නා මුකුනුවැන්න, හාතවාරිය, ගොටුකොළ, පෙනෙල වැල්, ඉරමුසු, පොල් පලා ආදි කොළ වර්ග වල ආමාශය ඇතුළු සිරුර සිසිල් කිරීමේ ගුණය පවතින නිසාවෙන් ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා කොළ කැඳ ගුණ දායක වේ.
ශීත ගුණය මෙන්ම හොඳින් ආහාර ජීර්ණය සිදු කරන බැවින් කොළ කැඳ පානය නිසා රූපශ්‍රීය පවා වඩවා දෙනු ලබයි. උදරයට සිසිලස ලබා දෙමින් ආහාර හොඳින් ජීර්ණය කිරීම ගැස්ට්‍රයිටීස් රෝගයට ඉතා යෝග්‍ය දෙයකි. එළකිරි ගැස්ට්‍රයිටීස් රෝගයට සුදුසු තත්ත්වයෙන් පැවතුණද එයට මිශ්‍ර කරන ලද මෝල්ට් වර්ග කිරි වශයෙන් ගැනීම අනුමත නොකරයි. මෝල්ට් අඩංගු පිටිකිරි අද වෙළඳපලේ ඕනෑතරම්. නමුත් ඒවා රෝග කාරක වන බැවින් ආහාරය සඳහා නොවටිනේය. පලතුරු අතරින් ගස්ලබු, සීනි කෙසෙල්, කොමඩු, ඇපල්, පෙයාර්ස් සුදුසු වේ. වඩාත් ම සිසිලස ලබාදෙන ආහාරයක් ලෙස කිතුල් පිටි කැඳ ගැස්ට්‍රයිටීස් රෝගයට ගුණ දෙන බව සඳහන්ය.
කිතුල් පිටි කැඳ, කිතුල් පිටි තලප, දොදොල් කිතුල්පිටිවලින් සාදාගත හැකි ආහාර වර්ග ආදිය ද අම්ලපිත්ත රෝගය සදහා යෝග්‍ය වේ. මෙම ආහාර මගින් ශරීරය නිරන්තරයෙන් සිසිල් කර ගත හැකිය. එමෙන්ම මුං ඇට, කවුපි ඇට, කඩල, ඕට්ස් ආදී ධාන්‍ය වර්ග ද ගෑස්ට්‍රයිටීස් රෝග සුවපත් කර ගැනීම සඳහා යෝග්‍ය වේ.
ඉහත ආහාරපාන ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා ගුණදායක වන අතර මෙම රෝගයට අගුණ කාරක වන හේතු සාධක ද නැතුවාම නොවේ. ඒ අනුව
අධික කුළුබඩු භාවිතය සිදු නොකළ යුතුය. අමු මිරිස්, බිලිං හා තක්කාලි වැනි උෂ්ණාධික ආහාර පාන භාවිතය අවම කළ යුතුය.
ඇඹරැල්ලා, අඹ, උගුරැස්ස, අන්නාසි, ලොවි, නාරං, දෙහි වැනි දැඩි ඇඹුල් රසයෙන් යුතු ආහාරපාන භාවිතය සිදු නොකළ යුතුය.
හුරුල්ලෝ, ඉස්සෝ, දැල්ලෝ, පොකිරිස්සෝ, බලයා, කෙලවල්ලා වැනි මාළු වර්ග මෙන්ම ගෝනමස්, හරක් මස් වැනි උෂ්ණාධික මස් මාංශ ආහාරයට එක්කර නොගත යුතුය.
ගඩුගුඩා, නමිනං, රඹුටන්, ජම්බු, සෝස් වර්ග, ලුණු දෙහි, බිලිං අච්චාරු වර්ග, විනාකිරිවලින් සෑදූ නොයෙකුත් ආහාර වර්ග, චට්නි වර්ග, කෝපි, මත්පැන් ආදිය භාවිතයෙන් තොරවිය යුතුය.
ඉහත දක්වා ඇති කරුණු කාරණා කෙරෙහි අවධානය යොමු කරමින් ආහාර පාන භාවිතයේ යෙදීමෙන් සහ ආහාර වේල් මග නොහැර සිටීමෙන් ගැස්ට්‍රයිටිස් රෝගයෙන් අත් මිඳීමට හැකියාව ලැබේ