දණහිස් වේදනාවට ස්වභාවික ප්‍රතිකාර 8ක්

health tips

දනහිස කියන්නේ  අපේ ශරීරයේ පිහිටා තියෙන්  වඩාත්ම සංකීර්ණ සන්ධියක්. මේ දණහිස මාංශපේශීන් සහ අස්ථී බන්ධනියන් කිහිපයක් එකතු වී නිර්මාණය වෙලා තියෙනවා. ශරීරයේ දීර්ඝතම යාන්ත්‍රික ලීවර දෙක වන  කලවා සහ පහළ පාදය සම්බන්ධ කරන දණහිස සන්ධිය මත සෑමවිටම බලය ක්‍රියාත්මක වෙනවා.විශාල කලවා පේශීන් මගින් දණහිසට ශක්තිය වගේම  චලන හැකියාවත් ලබාදෙනවා.  ඒ වගේම ශරීරයේ ඉහළ කොටසේ බර දරා සිටින්නෙත් මේ දණහිස් දෙක මගින්. ඇවිදින විට දුවන විට ඇතිවන ගැස්සීම් අවශෝෂණය කරන්නෙත් දණහිස් මගින්. දණහිස අපේ ශරීරයේ පැවැත්මට විශාල මෙහෙයක් සිදු කරන අවයවයක්.සන්ධි ආශ්‍රිතව ඇතිවන වේදනා කැක්කුම් නිසා නිතර ඔබත් පීඩාවට පත්වෙලාඇති.ඒ නිසා දණහිස් වේදනාව කියන්නේ බොහෝ සුලබ තත්ත්වයක්. මේ දණහිස් වේදනාවන් සුවකර ගන්නට කළ හැකි ස්වභාවික ප්‍රතිකර්ම පිළිබඳව  දැනුවත්ව සිටීම ඉතා වැදගත්.ඒ සඳහා සුදුසුම ප්‍රතිකර්ම පිළිබඳවයි අද අපි කතා කරන්නට සූදානම් වෙන්නේ.

  • ව්‍යායාම් කිරීම දණහිස් වේදනාවක් ඇතිවිට අපහසුවෙන් වුණත් ඒ සඳහා ව්‍යායාම් සිදු කිරීම දණහිස්වල ක්‍රියාශීලිත්වය ඇති කරගන්නට බෙහෙවින් වැදගත් වෙනවා. දණහිසේ වේදනාවේ ස්වභාවය අනුව කල යුතු ව්‍යායාම වෙනස් වෙනවා. කොන්ද කෙළින් තබා ගෙන පුටුවක සිට ගැනීම හා ඉඳ ගැනීම විනාඩියක් පමණ කාලයක් සිදු කිරීම,  සිටගෙන පිටුපසට පහරදීම , කලවා  නහර ඇදීම,පිහිනීම, බයිසිකල් පැදීම, යෝගා ව්‍යායාම ආදියත් ඒ සඳහා සුදුසු වෙනවා. නමුත් අධික ලෙස දණහිස් වේදනාවක් ඇත්නම් වේගයෙන් බයිසිකල් පැදීම, දිවීම පැනීම ආදී  කටයුතුවල නිරත වීම සුදුසු නැහැ. එවැනි අවස්ථාවක වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වෙනවා.
  • උසට සරිලන බර පවත්වා ගැනීම දණහිස් ආශ්‍රිතව ඇතිවන වේදනාව සමනය කර ගන්නට හැකි සුදුසුම ක්‍රමවේදයක් තමයි බර පාලනය කිරීම. මේ සඳහා ආහාර පාලනය හෝ ව්‍යායාම් භාවිතා කරන්නට පුළුවන්. සීනි කාබෝහයිට්රේඩ් පිෂ්ඨය අධික ආහාර ගැනීම අඩු කිරීම මගින් සිරුරේ බර අඩු කර ගැනීම දණහිස් ආශ්‍රිත වේදනාවන් සමනය කරගන්නට බෙහෙවින් උපකාරී වෙනවා. ඒ අතරේ කාබනික එළවලු පලතුරු සහ පලා වර්ග වගේම මාළු වර්ගත් ආහාරයට එකතු කරගත යුතු වෙනවා.
  • උණුසුම් හා සිසිල් ප්‍රතිකර්මය දණහිස් ආශ්‍රිත වේදනාව සහ ඉදිමීම අඩුකර ගැනීමට රෙදි කැබැල්ලක ඔතන ලද අයිස් කැට භාවිතා කරන්නට පුළුවන්. ඒ වගේම සන්ධිවල දැඩි බව අඩුකර ගන්නට  උණුසුම් පැක් එකක් භාවිතා කරන්නට පුළුවන්. දණහිස් ආබාධයක් ඇතිවී පැය 24 ක් ඇතුළත මේ ආකාරයට උණුසුම් හා සිසිල්  ප්‍රතිකර්මය මාරුවෙන් මාරුවට  සිදු කිරීම මගින් ඉතාම  ඉක්මනින් සහනය සලසා ගන්නට  හැකියාව ලැබෙනවා.
  • ඉඟුරු සිරුරේ ඉදිමුම් තත්ත්වයන්ට වේදනාවන්ට අනාදිමත් කාලයක සිට ඉඟුරු භාවිතා කළා. මේ සම්බන්ධව මී යැමි සරසවිය අපූරු පරීක්ෂණයක් සිදුකළා. දණහිස් වේදනාවෙන් පෙලෙන රෝගීන්  247 දෙනෙක්ට  බරහිර ඖෂධ වෙනුවට  අධි සාන්ද්‍ර ඉඟුරු පානයට ලබාදී තියෙනවා. එහිදී පුදුම සහගත ලෙස  සමීක්ෂණයට එක් වූ අයගෙන්  40% ගේ පමණ  සන්ධිවල වේදනාව සහ දැඩි බව  අවම කර ගන්නට හැකියාව ලැබී තියෙනවා. 
  • සම්බාහනය සම්බාහනය මගින් දණහිස් වේදනාව  ඉතා පහසුවෙන් සුවකර ගන්නට හැකියාව පවතිනවා. පාද බිම තබා දණහිස් ඉදිරියට ඉලක්ක කරගෙන ඉදගෙන අත් දෙක මිට මොලවා ඉහළ පහළ සහ මැද කලවා වලට 10 වරක් තට්ටු කරන්න. මෙය 3 වරක් නැවත නැවත සිදු කරන්න. ඒ වගේම පාද බිම තබා තම අතේ පතුල කලවා දිගේ දණහිස දක්වා පහළට ගෙන යන්න.මෙය කලවා ඇතුල් පැත්තේ සහ පිට පැත්තේ පස්වරක් බැගින් නැවත නැවත සිදු කරන්න. ඇඟිලි  හතරකින් දණහිස් පටකය තෙරපා  5 වතාවක් ඉහළ පහළ රැගෙන යන්න .මේ  ආකාරයේ ස්වයං සම්බාහන විධි මගින් දණහිස් වේදනාව පහසුවෙන් සමනය කර ගන්නට හැකියාව ලැබෙනවා.
  • දෙහි ආලේපය දෙහි හෝ ලෙමන් ගෙඩියක් ගෙන කුඩාවට පෙති වශයෙන් කපාගෙන කුඩා රෙදි කෑල්ලකින් ඔතා තල තෙල් ස්වල්පයක ගල්වන ලද දණහිස් විනාඩි 15  ක් පමණ තවන්න. දිනකට දෙවරක් මේ සත්කාරය කිරීම මගින් දණහිස් වේදනාව සුවකර ගන්නට පුළුවන්.
  • කැරට් චීන වෛද්‍යවරුන්ගේ මතයට අනුව දණහිස් වේදනාවෙන් ඇතිවන අපහසුතාවයන් අඩු කරන්නට කැරට්වලට හැකියාව පවතිනවා. දණහිස්වල ඇති බන්ධනීය ශක්තිමත් කරන්නටත් හානි වී ඇති අස්ථි හෝ මාංශපේශී යථා  තත්ත්වයට පත් කරන්නටත් කැරට්වලට අපූරු හැකියාවක් පවතිනවා.මේ සඳහා කැරට් ස්වල්පයක් හොඳින් ගාගෙන එයට දෙහි ස්වල්පයක් එකතු කර  ආහාරයට ගන්නටත් පුළුවන්. ඒ හැරුණාම කැරට් යුෂ දිනපතා ආහාරයට ගන්නටත් පුළුවන්.
  • අමු කහ දණහිස් කැක්කුම මුළුමනින්ම වගේ  සුව කළ හැකි සංයෝග  අමු  කහවල අඩංගු වෙනවා. අමු කහ කැබැල්ලක් ගෙන එය හොඳින් අඹරා  දණහිසේ ආලේප කරන්නට පුළුවන්. ඒ වගේම නිවසේදි අමු කහ පානයක් සකසා ගන්නේ නම් එයත් ඉතාම වැදගත් වෙනවා. උණු වතුරට අමුකහ කුඩු ස්වල්පයක් එකතු කර සතියක් පමණ දිනපතා පානය කිරීමෙන් මේ දණහිස් වේදනාව ඉතා පහසුවෙන් සුවපත්භාවයට පත් කරගන්නට හැකියාව ලැබෙනවා.

සුලබ තත්ත්වයක් වන මේ  දණහිස් වේදනාව සඳහා නිවසේදී මේ ප්‍රතිකර්ම ඔබට අත්හදා බලන්නට පුළුවන්. එය වඩාත් දරුණු ආකාරයේ වේදනාවක් නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නට කටයුතු කරන්න.