ශ්වසන ආබාධ සමනය කරන කුරුඳු

health tips

වර්තමාන ලෝකය පුරා වැඩි වටිනාකමක් හිමිකර ගත් කුරුඳු යනු ඖෂධීය ගුණයෙන් අනූන කුළුබඩුවකි. එනම් කුරුඳු පොතු සදහා වාණිජමය වශයෙන් ඉහළ වටිනාකමක් හිමිවන අතර කුරුඳු කොළ සදහා දේශීය මෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවන්හිදී ඉහළ වටිනාකමක් හිමිවේ. ලංකාවේ කුරුඳු සදහා ලෝක වෙළෙඳපොළ තුළ පවතින්නේ ඉහළ ඉල්ලුමකි.මේවායේ ඖෂධීය ගුණ බහුලව පවතී.එමෙන්ම බොහොමයක් පෝෂක සංඝටක ද අන්තර්ගත වේ .

  • කැරොටීන් 
  • ලූටීන්
  • යකඩ 
  • සියාසැන්තීන්
  • විටමින් ඒ
  • පොටෑසියම් 
  • කැල්සියම් 
  • මැන්ගනීස් 
  • තුත්තනාගම්
  • මැග්නීසියම් 
  • පයිරිඩොක්සීන්
  • කැරොටින් 
  • පැන්ටොතෙනික් අම්ලය යනාදී පෝෂ්‍ය පදාර්ථ රැසක් ඒ අතර වේ.

කුරුඳු වල ඖෂධීය ගුණ භාවිතය 

බෝනොවන රෝග පාලනය කරයි.ප්‍රතිඔක්සිකාරක අපට අවශ්‍ය වන්නේ බෝනොවන රෝග පාලනය කිරීම සදහාය. කුරුදු කොළ සහ කුරුඳු පොතු යන ශාක කොටස් ද්විත්වයේම ප්‍රතිඔක්සිකාරක ගුණය පවතී .එමගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන අතර බෝනොවන රෝග ඇතිවීමේ අවදානම සහ එම රෝග පාලනය කිරීමට කුරුඳු සතුව සුවිශේෂී හැකියාවක් පවතී . 

දියවැඩියාව පාලනය කරයි .ශරීරයේ ග්ලූකෝස් වැඩි වීමට හේතූ වන ඇල්ෆා ඇමයිලේස් සහ ඇල්ෆාග්ලූකොසිඩේට් යන එන්සයිම තාවකාලිකව යටපත් කිරීමට කුරුදුවලට හැකිය. එනම් කුරුඳු ආහාරයට ගැනීමෙන් දියවැඩියා රෝගය පාලනය කිරීමට හැකියාව ලැබේ. මෙම එන්සයිම තාවකාලිකව යටපත් කළ හැකි ඕනෑම සංයෝගයකට දියවැඩියාව පාලනය කිරීමේ හැකියාව පවතී. කුරුඳු දියවැඩියාව සදහා අප ඔසුවක් ලෙස භාවිත කරන්නේ නම් ,වෙනත් ඖෂධ භාවිත නොකිරීම ට වගබලා ගත යුතුය .ඊට හේතුව ඖෂධ කිහිපයක් භාවිත කිරීම රුධිරගත ග්ලුකෝස් මට්ටම අසාමාන්‍ය ලෙස පහත බැසීමට හෙතූ විය හැකි වීමයි. 

දියවැඩියාව නිසා ඇති වන අතුරු ආබාධ නැති කරයි.ඇස් නොපෙනීම ,වකුගඩු සම්බන්ධ රෝග ,රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග යනාදී රෝග සදහා හේතූ වන්නේ රුධිරගත ග්ලුකෝස් මට්ටම ඉහළ යාමේදී ඇති වන ප්‍රෝටීන ප්‍රතික්‍රියාවන්ය. කුරුඳු මගින් ග්ලුකෝස් මට්ටම පාලනය කරන නිසා දියවැඩියාවෙන් ඇතිවන අතුරු ආබාධ වළක්වනු ලබන අතර එම හැකියාව ග්ලයිකේෂන් යනුවෙන් හදුන්වනු ලැබේ. 

ආහාර ජීරණය ක්‍රමවත් කරයි .කුරුඳු ආහාර සදහා එක් කරනු ලබන්නේ ආහාර රසවත් කිරීමට පමණක් ම නොවේ. එහි ඇති ඖෂධීය ගුණ අපට නොයෙකුත් රෝග ඇති වීම වළක්වනු ලබයි. අප ශරීරය තුළ අප ලබා ගන්නා ආහාර මනාව ජීරණය කිරීමට කුරුඳු උපකාරී වේ. මස් ,මාළු වැනි බර ආහාර වර්ග පිසින විට කුරුඳු එක් කීරීමේ එක් අරමුණක් වන්නේ ඉන් හොඳින් ආහාර ජීරණය කර ගැනීමට හැකිවීමයි. මෙම ක්‍රියාවලිය සදහා කුරුදු වල ඇති සංයෝග ආමාශයේ යුෂ වල ශ්‍රාවයන් වර්ධනය කර බඩවැල්වල චලනය වැඩි කර ආහාර ජීර්ණය පහසු කරනු ලැබේ . 

ශ්වසන ආබාධ ඇතිවීම වළක්වනු ලබයි .කුරුඳු දිලීර සහ බැක්ටීරියා වලට එරෙහිව ක්‍රියා කරන නිසා ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බැක්ටීරියා ක්‍රියාකාරිත්වයන් වර්ධනය නොවේ. එනම් ඉන් ශ්වසන පද්ධතිය ආශ්‍රිතව රෝග ඇති වලක්වා ගත හැකිය. එමෙන්ම දීලීර නාශකයක් ලෙස කුරුඳු තෙල් ද භාවිත කරනු ලැබේ . 

මොළයේ ක්‍රියාකාරිත්වය නිසි පරිදි පවත්වා ගෙන යාමට උපකාරී වේ .මතක ශක්තිය මැනවින් පවත්වා ගන්නට උපකාරී වන ඖෂධයක් ලෙස කුරුඳු හදුනා ගත හැකිය. කුරුඳු වල පවතින මැන්ගනීස් නම් ප්‍රතිඔක්සිකාරකය මේ සදහා බහුලවම හේතූ වේ. කුරුඳු තේ හැදි හතරක් භාවිතයෙන් අප ශරීරයට අවශ්‍ය සම්පුර්ණ මැන්ගනීස් ප්‍රමාණය ලබා ගැනීමට හැකියාව පවතී . 

මුඛ සෞඛ්‍යය මනාව පවත්වා ගෙන යාමට උපකාරී වේ .දත් දිරා යාම ,මුඛයේ දුගද වැනි මුඛය ආශ්‍රිතව ඇතිවන ගැටලු සදහා කුරුඳු වඩාත් ගුණදායක ඖෂධයක් වේ . බෝහෝමයක් දන්තාලේප වල කුරුදු අන්තර්ගත වේ .කුරුදු විදුරුමස් ශක්තිමත් කරමින් දත් දිරා යාම වළක්වනු ලැබේ .එසේම දත් කැක්කුම සදහා ද කුරුදු ගුණදායක වේ. කුරුදු තෙල් දත් කැක්කුම සදහා භාවිත කරනු ලැබේ . 

සෙම් රෝග සදහා ඖෂධයක්වේ .වා පිත් සෙම් යන තුන්දොස් වලින් වැඩි වශයෙන් කුරුඳු ගුණදායක වන්නේ සෙම් රෝග සදහාය. කැස්ස ,හතිය ,ක්ෂය රෝගය යනාදී රෝග සදහා කුරුදු අතිශයින්ම වැදගත් ඖෂධයක් ලෙස භාවිත කරනු ලැබේ .ශ්වසන පද්ධතියේ ඇති වන අවහිරතා මගහරවා ගැනීමටත් කුරුදු උපකාරී වේ . 

හදවතේ දුර්වලතා සමනය කිරීමට උපකාරී වේ.කුරුඳු වල අඩංගු පොටෑසියම් රුධිර පීඩනය ඇති වීම පාලනය කර ක්‍රමවත්ව හදවතට රුධිරය සැපයීම සිදු කරනු ලබයි. මේ නිසා හදවත් රෝග ඇති වීම පාලනය වනු ලැබේ. 

සම පැහැපත් කරයි .වර්තමානය වන විට බොහොමයක් තරුණ පරපුර තම රූපය පිළිබඳ අවධානය යොමු කිරීමේදී ඔවුන්ට ඇති වන ගැටලු ලෙස සම රැලි වැටීම ,සම අදුරු වීම යනාදිය හදුනා ගත හැකිය .වයස් ගත වීමට හේතූ වන ඉලාස්ටෙස් කොල්ජන් හෝර්මෝනය පාලනය කිරීමට කුරුඳු පොතු වලට හැකියාව පවතී .එමගින් සම පෝෂණය කර පැහැපත් කරනු ලැබේ .මේ සදහා කුරුදු තේ පානය වඩාත් යෝග්‍ය වේ. 

• ශරීරයේ ලිපිඩ තැන්පත් වීම පාලනය කරනු ලබයි .

කුරුඳු පොතු සහ කොළ වල පවතින සංයෝගවලට ලිපිඩ තැන්පත් වීමේ ක්‍රියාවලිය පාලනය කළ හැකිය. ලිපිඩ ජීරණය කරන ලයිපේස් එන්සයිමය පාලනය කිරීමට කුරුදුවලට හැකියාව පවතී .එමෙන්ම ලිපිඩ ශරීරයට උරා ගැනීම ද පාලනය කිරීමේ ගුණය කුරුඳු වල පවතී. 

එසේම ,

• ඉදිමුම් රෝග මර්දනය කිරීමට

• පිළිකා මර්දනය කිරීමට 

• වමනය සහ ඔක්කාරය සුවපත් කිරීමට

• බඩගිනි ඇති කිරීමට 

• අජීර්ණය දුරු කිරීමට 

• අධික ශීතල අවස්ථාවන්හි සහනය ලබා ගැනීමට .

යනාදී අවස්ථාවන්හි ද කුරුඳු ඖෂධයක් ලෙස භාවිත කරනු ලැබේ. මේ අනූව කුරුඳු යනු ඖෂධීය ගුණ රැසක් පිරි ඉතා වටිනා ඖෂධයක් මෙන්ම වාණිජමය වශයෙන් ද වටිනා ශාකයක් වේ. 

නමුත් කුරුඳු නිදන්ගත රෝග සඳහා භාවිතා කරන්නේ නම් ඊට ප්‍රථමව වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන්න.