ඇඟිලි පුරුක් කකුල් ඉදිමෙනවනම් මේ රෝගය හැදිලා

health tips

දෑත් නැති වුණොත් හරි වෙනයම් ආබාධයක් නිසා හෝ නිසිපරිදි චලනය කරගන්නට නොහැකි වුණොත් අපි කොතරම් අපහසුතාවයකට පත් වෙනවාද කියල ඔබ දන්නවා. මොකද අපේ එදිනෙදා සෑම කාර්යකටම අත් දෙක අපිට අත්‍යවශ්‍ය වෙන නිසා. විවිධ රෝග තත්ත්වයන් නිසාවෙන් අත් සහ ඇඟිලිවල සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාධා ඇති වෙනවා. එවැනි දුර්වලතා සැලකිල්ලට බඳුන් නොකර සිටීමෙන් පූර්ණකාලීනව අත හෝ ඇඟිලි අකර්මණ්‍යතාවයකට පත් වෙන්නත් පුළුවන්. ඉතින් අපි අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආතරයිටීස් රෝගය හේතුවෙන් අතේ ඇඟිලි අකර්මණ්‍ය වීම පිළිබඳවයි.

වර්තමානය වෙද්දි බහුලවම අසන්නට දකින්නට ලැබෙන සන්ධි ආශ්‍රිත රෝගය තමයි ආතරයිටීස් කියන්නේ. මෙය රූමටොයිඩ් ආතරයිටීස් සහ ඔස්ටියෝ ආතරයිටීස් ලෙස නම් කර තියෙනවා. සාමාන්‍යයෙන් අතේ අල්ල කුඩා අස්ථි 8 කින් සහ ඇඟිලි කුඩා අස්ථි 19 කින් සකස් වෙලා තියෙනවා.මෙහි ඇති කාටිලේජ බිඳීම නිසා ඇඟිලිවල ඉදිමුම වේදනාව වගේම ඇඟිලි ඇදවීම ආතරයිටීස් රෝගය හේතුවෙන් ඇති වෙනවා. බොහෝවිට අතේ ඇඟිලි ආතරයිටීස් රෝගය නිසා ඉදිමුණත් ඇතැම්විට විෂබීජ ආසාදන හේතුවෙන් වුණත් එවැනි ඉදිමුම් ස්වරූපයක් දැක ගන්නට ලැබෙනවා. ආතරයිටීස් රෝගයන් අතුරින් එය කුමන වර්ගයේ ආතරයිටීස් වර්ගය දැයි නිශ්චිතව දැන ගැනීම සඳහා පර්යේෂණ වෙත යොමුවීමට සිදු වෙනවා. ඔස්ටියෝ ආතරයිටීස් සඳහා කිරණ පරීක්ෂාව සිදු කරන අතර රුමැටොයිඩ් ආතරයිටීස් සහ සොරයිසිස් සඳහා සිදු කෙරෙන්නේ රුධිර පරීක්ෂාවන්.

ඔස්ටියෝ ආතරයිටීස් රෝගය 

ඉතා බහුලව දකින්නට ලැබෙන මේ ආතරයිටිස් තත්ත්වය වයස්ගතවීමත් සමඟ බොහෝ විට ඇති වෙන්නක්. ඒ වගේම පිරිමින්ට වඩා කාන්තාවන් මේ රෝගයට ගොදුරු වීම ඉහළයි.මේ රෝගයේදී සිදු වෙන්නේ සන්ධි අතර ඇති කාටිලේජ ගෙවීමට ලක්වීම.එය ඇඟිලිවල මැද පුරුක, ඇඟිලිවල නියපොත්ත ආශ්‍රිත පුරුක ආශ්‍රිතවත් අස්ථි ගැටිති ලෙසත් ඇති වෙනවා. ඒ හැරුණාම උරපත්ත, උකුල, දණහිස වළලුකර සහ කශේරුකා අතර සන්ධිවල බහුලවම මේ රෝගය ඇති වෙනවා. මේ ඔස්ටියෝ ආතරයිටීස් රෝගය වෙනත් ආතරයිටීස් මෙන් ශරීරයේ වෙනත් අවයවවලට හානි කරන්නේ නැහැ.

ඔස්ටියෝ ආතරයිටීස් රෝගය හඳුනා ගත හැකි ලක්ෂණ 

  • ඇඟිලි ඉතා ඉක්මනින් ඉදිමීම 
  • සොලවන විට ශබ්දයක් ඇතිවීම 
  • ඇඟිලි අතර මිරිකීමේදී ඇතිවන වේදනාව 
  • වේදනාව 

ඔස්ටියෝ ආතරයිටීස් රෝගයේ දී මුල් කාලයේදී වේදනාවක් නොදැනුණත් කාලයක් ගත වෙද්දි වේදනාවක් ඇති වෙනවා. විශේෂයෙන්ම උදෑසන නැගිටින විට පැයක පමණ කාලයක් වේදනාව පවතිනවා. වසර ගණනාවකින් පසුව ඇඟිලි පුරුක් ඇල්ලු විට වේදනාවට වඩා තද ස්වභාවයක් දැනෙන්නට ගන්නවා.

  • සන්ධිය සාමාන්‍ය ආකාරයට ක්‍රියාත්මක නොවීම 
  • සන්ධිය අවට පේශී දුර්වල වීම 
  • සන්ධිය අස්ථාවර වීම 

මෙහිදී අතේ ඇඟිලිවල අස්ථි ගැට ඇතිවෙන්නත් පුළුවන්. ඇතැම් රෝගීන්ගේ කුඩා සන්ධි පමණක් හානියට පත් වෙනවා. ඇතැම් රෝගීන්ගේ උකුල, දණහිස පමණක් හෝ  කුඩා සහ විශාල යන සන්ධි දෙවර්ගයම හානියට පවත්වන අවස්ථා ද පවතිනවා.

රූමැටොයිඩ් ආතරයිටීස් රෝගය 

රුමැටෝයිඩ් ආතරයිටීස් රෝගය ස්වයං ප්‍රතිශක්ති රෝගයක් ලෙසයි හඳුනා ගනු ලබන්නේ. මේ රෝගය ලොකු කුඩා බොහෝඅයට ඇති වෙන්නට හැකියාව තියෙනවා. පරම්පරාවෙන් යා හැකි මේ රෝගයට දුම්පානයත් එක් හේතුවක්. මේ රෝගය කාන්තාවන් අතර බහුල අතර ඇතැම් අයෙකුට මෙය එක්වරක් පමණක් වැළදෙනවා. තවත් අයෙක්ට රෝගය නිට්ටාවට සුව වෙන්නේ නැහැ. තවත් අයට රෝගය ඉතා සෙමෙන් උත්සන්න වන අතර තවත් අයෙක්ට මෙය ඉතා ශීඝ්‍ර ලෙස ශාරීරික දුබලතා ඇති කරනවා.මෙහිදි සන්ධි ඉතා විශාල ලෙස විනාශ වීම සහ විකෘති වී යාම සිදු වෙනවා. මේ රුමැටොයිඩ් ආතරයිටීස් දේහයේ සන්ධිවලට සන්ධි ආශ්‍රිත පටකවලට පමණක් නොවෙයි හෘදය හා රුධිරවාහිනී පද්ධතියටත් පෙනහළුවලටත් ආදී දේහයේ වෙනත් අවයවයන්ටත් හානිදායක ලෙස බලපෑම් කරනවා. පෙනහළුවල දියර පිරීම, පෙනහළු නරක් වීම, ආහාර මාර්ග පද්ධතිය,වකුගඩු , මොළය, ෂුෂුම්නාව, ඇස් ආදී ඉන්ද්‍රියන්ට භයානක අතුරු ආබාධ ඇති කරනවා.

රුමැටොයිඩ් ආතරයිටීස් රෝගයේ ලක්ෂණ 

  • ඇඟිලි පුරුක් ආදී ස්ථාන ඉදිමීම 
  • වළලුකර මැණික් කටුව ආදී ස්ථාන ඉදිමීම 
  • දේහයේ උෂ්ණත්වය සහ දහදිය දැමීමේ වෙනස්කම් ඇති කරයි.
  • කෑම අරුචිය 
  • රක්තහීනතාවය 
  • නිතර මහන්සිය 
  • ඉක්මනින් කේන්තියාම 
  • ඇසේ ප්‍රදාහික බව සහ ඇස් වියළි වීම 

මේ තත්ත්වය සඳහා ආයුර්වේදයේ ප්‍රතිකාර බොහොමයක් පවතිනවා. ඒ අතරින් එරබදු කොළ, පොල් සමඟ කොටා මලවා බැඳීම, තිරිඟු පිටි වැල් රුක් අත්තන පොතු එක පමණ ගෙන උණු ජලයෙන් අඹරා පාන්කඩයක ගා වෙළීම ආදියත් සඳහන් වෙනවා. ඒ හැරුණාම එරඩු ඇට, අබ, තල ඇට්ටේරියා කොළ යුෂයෙන් අඹරා ආලේප කිරීම ආදී ප්‍රතිකාර ක්‍රම පවතිනවා. 

ඒ හැරුණාම බටහිර වෛද්‍ය  ක්‍රමය තුළ මේ රෝග සඳහා වේදනානාශක ඖෂධ  සහ ප්‍රදාහ නාශක ඖෂධ  ලබාදීම ව්‍යායාම් ලබාදීම, ශල්‍ය  කර්ම සහ කෘතීම සන්ධි බද්ධ කිරීම ආදීය සිදු කරනු ලබනවා. බොහෝ අයට ඒ රෝගය සඳහා දිගුකාලීනව ප්‍රතිකාර කරන්නටත් සිදු වෙනවා. ඒ වගේම සන්ධි විකෘති වී සම්පූර්ණ අකර්මණ්‍යවීම් ද සිදුවිය හැකි  නිසා  මුල්කාලීනව ඇඟිලි පුරුක් ඇතුළු සන්ධි ඉදිමීමක් ඇතිවිට ප්‍රතිකාර කරා යොමුවීම ඉතා වැදගත්.