ආතරයිටිස් කියන්නේ අද බොහෝ දෙනෙක් පීඩා විඳින රෝගී තත්ත්වයක්. අපේ ශරීරයේ තිබෙන සන්ධිවල වටේ සහ ඇතුළත ඇති සියුම් පටකවල ඉදිමුම තමයි මේ ආතරයිටීස් ලෙස හඳුනා ගන්නේ. ඉතාම වේදනාකාරී ජීවිතයක් ගත කරන්නට සිද්ධ වෙන නිසාම මේ තත්ත්වයෙන් වැළකී ඉන්නට උත්සාහ කරන එක තමයි ඉතාම සුදුසු. ඒ නිසා මේ රුමැටොයිඩ් ආතරයිටීස් රෝග තත්ත්වයට ගොදුරු නොවෙන්නට අපි වග බලා ගන්නට ඕන. රුමැටොයිඩ් ආතරයිටීස් රෝගය සඳහා වැඩි අවදානමක් ඇත්තේ කාහට ද යන්න අපි දැනුවත් වුණොත් එයින් ආරක්ෂා වෙන්නට අපිට හැකියාවක් ලැබෙනවා. කොහොමවුණත් අවාසනාවට මේ රෝගයේ ගොදුරක් වුණොත් අපිට එය ඖෂධවලට අමතරව පාලනය කරන්නට ගත හැකි ක්‍රියාමාර්ග ගැනත් දැනුවත් වී සිටීම හරිම වැදගත්. ඔන්න ඒ නිසා අපි හිතුවා මෙන්න මේ කාරණා පිළිබඳව ඔබත් සමඟ ටිකක් කතා කරන්නට.
ආතරයිටිස් වර්ග බොහොමයක්ම තියෙනවා. අද අපි කතා කරන රුමැටොයිඩ් ආතරයිටීස් කියන්නේ එයින් එක් වර්ගයක්. අපේ ශරීරයේ සන්ධි වැඩි ප්‍රමාණයකට බලපාන ආතරයිටීස් වර්ගය වෙන්නෙත් මෙයයි. මෙය සන්ධි එකක් දෙකක් නෙවෙයි සන්ධි 10 කට 15 කට වගේ බලපාන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ රුමැටොයිඩ් ආතරයිටීස් තත්ත්වය වැළඳුණොත් එය වසර ගණනාවක් දිගුකාලීනව සුව නොවී තිබීමේ හැකියාවත් තියෙනවා. ඒ නිසාම මේ සඳහා නිසි ලෙස ප්‍රතිකාර කිරීම ඉතාම වැදගත්. එසේ නොවුණොත් සන්ධි ඇදවීම පවා ඇතිවෙන්නට පුළුවන්.
මේ තත්ත්වය ඇති වෙන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිතව. මෙහිදී සිදු වෙන්නෙ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිරෝගී සෛල වලට වැරදීමකින් පහරදීම. මේ තත්ත්වය සන්දිවල සිදුවන ආතරයිටීස් වර්ගයක් විදිහටයි හඳුනා ගන්නවා. නමුත් මෙහිදී සන්ධිවලට පමණක් නෙවෙයි අපේ ශරීරයේ අනිකුත් ඉන්ද්‍රියන්වලටත් වඩාත් දැඩි ලෙස බලපෑම් ඇති වෙන්නට හැකියාව තියෙනවා.
විශේෂයෙන්ම වකුගඩුවලට, පෙනහලුවලට සහ අක්මාවට මේ රුමැටොයිට් ආතරයිටිස් තත්වයන් නිසා බරපතල ගැටලු ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා මෙය සුළුකොට තැකිය යුතු තත්ත්වයක් නෙවෙයි. මේ රෝගී තත්ත්වය ඇතිවෙන්නට විශේෂ වයස් මට්ටමක් නැහැ. නමුත් වැඩි වශයෙන් මැදි වයසේ අයට සහ කාන්තාවන්ට ඇති වීමේ වැඩි ඉඩකඩක් තියෙනවා මේ රුමැටොයිඩ් ආතරයිටීස් තත්ත්වය ඇති වෙන්නේ රූමැටික් උණ සමග. මේ අවස්ථාවේදී රෝගියා නිරන්තරයෙන්ම අපහසුතාවයෙන් පසු වෙනවා. කුඩා කුඩා සන්ධි අකර්මණ්‍ය කරන මේ රෝග තත්වය වැලදීම නිසා

- ඇල් ජලය අගුණ වීම
- උණ ගතිය ඇතිවීම
- වැසි කාලවලදී රෝගය වඩාත් වර්ධනය වීම
- කුඩා කුඩා සන්ධි ඉදිමීම
- ඇවිදීමට අපහසු වීම සහ කොරවීම
- හිරිවැටීම
- සන්ධි නැවීමේදී සහ දිග හැරීමේදී වේදනාව සමඟ ශබ්ද ඇතිවීම
- වරින් වර පපුවේ වේදනාව ඇතිවීම
- හුස්ම ගැනීමේ දී තද වේදනාවක් ඇතිවීම
- ශරීරයේ තැන් තැන්වල පොඩි ගැටිති ඇතිවීම
- ඇස්වල කැසිල්ල වගේ ලක්ෂණ දකින්නට ලැබෙන්නට පුළුවන්.
රුමැටොයිඩ් ආතරයිටීස් රෝගයට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇත්තේ කාටද
- ආතරයිටීස් රෝගියෙක් පවුලේ සිටින පුද්ගලයන්
- කාන්තාවන්
- මැදිවයසේ පසුවන වැඩිහිටි පුද්ගලයන්
- දරුවන් නොලැබුණු කාන්තාවන්
ආතරයිටිස් රෝගය සුවකර ගැනීමට අනුගමනය කළ යුතු උපදෙස්
- රෝගය පිළිබඳව දැනුවත් වීම
- නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම
- ශාරීරික ව්‍යායාම්වල නිරතවීම
මේ සඳහා වැඩිහිටියකුට සතියකට විනාඩි 150 ශාරීරික ව්‍යායාම්වල නිරත විය යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කරනවා. එහිදී ශරීරය අධික ලෙස වෙහෙසට පත්වන ආකාරයේ ව්‍යායාම්වල නිරත නොවීමට ඔබ වග බලා ගන්න. ඒ සඳහා ඔබේ වෛද්‍ය වෛද්‍යවරයාගෙන් ඔබ උපදෙස් ලබාගත යුතු වෙනවා.
විශේෂයෙන්ම ආතරයිටීස් රෝගී තත්වයන්ට අනුකූල ව්‍යායාම් තියෙනවා. රෝහල්වල ඇති භෞතික චිකිත්සක අංශ මගින් ඔවුනට ව්‍යායාම් ක්‍රම පුහුණු කරනවා. එමගින් මේ රෝග තත්ත්වය සුව කරගන්නට විශාල පිටිවහලක් ලැබෙනවා.

- ලුණු අධික පරිභෝජනයෙන් වැළකීම
- තෙල් සහ අධික පිටි ආහාර පරිභෝජනය සීමා කිරීම
- ඔමේගා 3 මේද අම්ල බහුල ආහාර පරිභෝජනයට ගැනීම
- අධික තෙල් සහිත සහ ගැඹුරු තෙලේ බැදගත් ආහාරවලින් වැළකීම
- ආතතියෙන් තොරව කාලය ගත කිරීම.
- ආතරයිතරයිටීස් රෝගය සඳහා ලබාදෙන ඖෂධ කලට වේලාවට නිසි මාත්‍රාවෙන් ලබාගැනීම
ආතරයිටිස් රෝගය මාරාන්තික තත්ත්වයක් නොවුණත් රෝගියාගේ නොසැලකිලිමත්කම සහ අනවබෝධය නිසා එය මාරාන්තික වෙන්නට පුළුවන්. එවැනි රෝගීන්ට හෘදයාබාධ ඇතිවීමේ අවදානම ඉහළ බවයි පර්යේෂණවලින් සොයාගෙන තිබෙන්නේ.
මේ රෝග තත්ත්වය පිළිබඳව හොඳ අවබෝධයකින් යුක්ත වුණොත් ඔබට එය සුවපත් කරගන්නට අපහසුවක් නැහැ. කොඳුඇට පෙළේ ආබාධ, හෘදයේ තුවාල සෑදීම, අතපය කපා ඉවත් කිරීමට් සිදුවීම ආදී බරපතළ තත්ත්වයන්ට පත්වෙන්නට සිද්ධ වෙන්නේ රෝගය සඳහා නිසි ප්‍රතිකාර නිසි අවස්ථාවේ ලබා නොගෙන සිටීම. ඒ නිසා මේ රෝග තත්ත්වය මුල් රෝග ලක්ෂණ කිහිපය පහළ වෙද්දිම ප්‍රතිකාර කරා යොමු විය යුතු රෝග තත්ත්වයක් බව මතකයේ තබා ගන්න.