නිතර වද දෙන කැතට පේන කුරුලෑ කැලැල් මකන ස්වභාවික සත්කාර කීපයක්

health tips

කුරුලෑ කොතරම් පීඩාකාරී වේදනාකාරී ගැටලුවක් ද කියල ඔබට මා අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. මුහුණේ,පිටේ, පපුවේ ආදී ඕනෑම ස්ථානයක කුරුලෑ හටගන්නවා.කුරුලෑ ඇති වුණාම එය දින කිහිපයකින් සුව වුණත් ඒ ලප කැළැල් අපේ සමේ ඉතා අසුන්දරව කළු පැහැයෙන්  ඉතුරු වෙනවා. මේ නිසා තරුණ තරුණියන් බොහෝ දෙනෙක් මහත් පීඩාවට පත්වෙලා ඉන්නවා. කළු පැහැ ගැන්වුණු  මේ කුරුලෑ කැලැල් අපේ සුන්දරත්වයට කොතරම් හානියක් කරනවද කියලා ඔයා දන්නවා. මේ ගැටලුවෙන් මිදෙන්නට නිවසේදී සිදු කරන්නට හැකි  පිළියම් අපි කතා කරමු.

රෝස වතුර සත්කාරය

 අපේ සමට පැහැදිලි බවක්, නැවුම් බවක් සහ පැහැපත් බවක් ලබා දෙන්නට විශේෂ හැකියාවක් රෝස වතුර සතු වෙනවා. ඒ නිසා ස්වභාවික ටෝනර් වර්ගයක් විදිහටත් මේ රෝස වතුර බොහෝ දෙනෙක් භාවිතයට ගන්නවා .ඔබට කරන්නට තියෙන්නේ මුහුණ සේදීමෙන් අනතුරුව රෝස වතුර  මුහුණේ සහ බෙල්ලේ ආලේප කිරීම පමණයි. මේ රෝස වතුර ඔබට  නිවසේදී සාදා ගන්නත් පුළුවන්.

  පිරිසිදු කරගත් රෝස පෙති  පිරිසිදු ජලය ස්වල්පයකට දමා මද ගින්දරේ පෙතිවල පැහැය වෙනස් වෙන තුරු තිබෙන්නට හරින්න. නිවුණු පසුව ගබඩා කර භාවිතයට ගන්නට  පුලුවන්. එහෙමත් නැත්නම් ඔබට රෝස වතුර වෙළඳ සැලකින් මිලදී ගන්නටත් පුළුවන්. 

අයිස් කියුබ් 

අයිස් කියුබ් සමේ ඇති ලප කැළැල් ඉවත්කර ගන්නට වගේම කුරුලෑ කරදරයෙන් මිදෙන්නටත් උදව්වෙනවා. ඒ වගේම ice cube අපේ සමේ කුරුලෑ ගෙඩි ආදිය නිසාවෙන් ඇතිවෙන සිදුරු වසා දමන්නටත් සම එල්ලා වැටීමේ ස්වභාවය අඩු කරන්නටත් විශාල දායකත්වයක් ලබා දෙනවා.

මේ සඳහා වඩාත්ම ඔබට සුදුසු වෙන්නේ රෝස වතුර හෝ කෝමාරිකා භාවිතයෙන් ice cube සාදාගෙන භාවිතයට ගැනීම. සෑම රාත්‍රියකදීම අයිස් කැටයක් රෙදි කැබැල්ලක දවටා මුහුණේ ආලේප කිරීමෙන් මේ ලප කැළැල් ඉක්මනින් දුරු කරගන්නට ඔබට පුළුවන්.

මී පැණි

කුරුලෑ නිසා ඇති වුණු  ලප කැලැල් සඳහා  මී පැණි ඉතාම හොඳ පිළියමක්.  ප්‍රබල ප්‍රතිජීවක විෂබීජ නාශක ගුණ  සහිත  මී පැණි රාත්‍රී නින්දට පෙර  කුරුලෑවල තවරා  පසුදින පිරිසුදු වතුරෙන් මුව සෝදා හරින්න.එය ඔබට අපහසු  නම්  මී පැණි තවරා පැය භාගයක පමණ කාලයකින් පසුව සෝදා හරින්න.

  මේ සඳහා ඔබට ලෙමන් යුෂ එකතු කරන්නත් පුළුවන්.  විශේෂයෙන්ම ලෙමන් යුෂවලට විශේෂ හැකියාවක් තියෙනවා සම පැහැපත් කරන්නට වගේම සමෙහි ඇති කුරුලෑ ලප කැළැල් මකා දමන්නට. මී පැණි ස්වල්පයකට ලෙමන් යුෂ ස්වල්පයක් එකතු කර ආලේප කර මද වේලාවකින් සෝදා ඉවත් කිරීමෙන් ඔබට මේ ප්‍රතිලාභය ලබා ගන්න පුළුවන්.

කෝමාරිකා

 ඖෂධීය ගුණ බොහොමයකින් යුක්ත  වටිනා පැළෑටියක් වන කෝමාරිකා හිසකෙස්වලට වගේම සමටත් විශිෂ්ට වූ ප්‍රතිලාභ ලබා දෙනවා. ඒ අතරින් එකක්  තමයි කුරුලෑ කැළැල් සඳහා ඉතාම සාර්ථක පිලියමක් වීම.

 නැවුම් කෝමාරිකා මදය ගෙන කුරුලෑ කැලැල් සහිත සම මත හොඳින් ආලේප කර විනාඩි 10 ක පමණ කාලයක් තිබෙන්නට හැර සෝදා ඉවත් කරන්න. මෙය දවසට දෙවරක් සිදු කරන්නට හැකි නම් ප්‍රතිඵල ඉතා ඉක්මනින් ලබා ගන්න පුළුවන්.

උලුහාල්

 සමේ ඇතිවන ලප කැලැල් නැතිකර සමට සිනිඳු බවක් ලබා ගන්නට මේ උළුහාල් අපට උදව් වෙනවා. පෙරදා පෙඟෙන්නට දැමූ උළුහාල් හෝ තම්බාගත් උලුහාල් හොඳින් අඹරා තලපයක් ලෙස සකසා වතුර මිශ්‍ර කරමින් පැල්ලම් ඇති ස්ථානවල ආලේප කර විනාඩි විස්සක් තබා සෝදා හරින්න. 

ඔලිව් තෙල්

අපි හැමෝම දන්නවා ලප කැලැල් නැති කර ගන්නට ඔලිව් තෙල් සුවිශේෂී බවක් උසුලන බව. මේ සඳහා ඔබට හොඳ තත්ත්වයේ ඔලිව් තෙල් ලබාගැනීම අනිවාර්ය වෙනවා. මුලින්ම මුහුණ හොඳින් සෝදා පිරිසුදු කර ගන්න. ඉන්පසු ඔලිව් තෙල් ඇඟිලි තුඩුවලට ගෙන කැළැල් සහිත සමේ හොඳින් ආලේප කර මෘදු ලෙස සම්බාහනය කරන්න. ඉන්පසු තුවායක් උණු වතුරෙන් පොඟවා මිරිකා මුහුණ මත තබා ගන්න. ඉන්පසු විනාඩි කිහිපයකින් මුහුණ සෝදා ගන්න. නමුත් ඔබට මෙය රාත්‍රී කාලයේදී සිදුකර උදෑසන කාලයේදී සෝදා ඉවත් කරන්නටත්  පුලුවන්. 

තක්කාලි සහ පිපිඤ්ඤා

තක්කාලිවලට වගේම පිපිඤ්ඤාවලට හැකියාව තියෙනවා අපේ සමේ මැරුණු සෛල ඉවත් කර කුරුලෑ ලප කැලැල් නැති කරන්නට. 

තක්කාලි යුෂ පිපිඤ්ඤා යුෂ සහ ලෙමන් යුෂ සමාන ප්‍රමාණවලින් අරගෙන හොඳින් මිශ්‍රකර කැළැල් සහිත සමේ ආලේප කර විනාඩි පහළොවක් පමණ තිබෙන්නට හැර සාමාන්‍ය ජලයෙන් සෝදා ටෝනර් කරන්න. දිනපතා මේ සත්කාරය කරන්නට පුළුවන් නම් ඉතා ඉක්මනින් ඔබේ කැලැල් නැති කරගන්න පුළුවන්. 

සුදු හඳුන්

සමේ ඇති කැළැල් අඩුකර ගන්නට සුදු හඳුන් භාවිතා කරන්න පුළුවන්. හඳුන් කුඩු ස්වල්පයක් අරගෙන එය රෝස වතුර සමඟ හොඳින් මිශ්‍ර කරගන්න. මේ ආලේපනය සමේ රෝග බොහොමයකටම ඉතා සුදුසුයි. මෙය රාත්‍රි කාලයේදී හොඳින් මුහුණේ ආලේප කර පසුදා උදෑසන සෝදා හරින්න. 

මේ සත්කාර කුරුලෑ ලප කැළැල්  නැති කරනවා විතරක් නෙවෙයි ඔබේ සමට හොඳ දීප්තියක්  සහ පැහැපත් බවක් පවා ලබා දෙනවා