රාජ කුමාරවරුන්ට පවා හෙළ වෙදැදුරු ලබා දුන්න දරුවන්ගේ ඕනෑම ලෙඩක් සුව කරන රත කල්කය

health tips

ඉස්සර හෙළ දරුවන් නිදුක් නිරෝගිව වර්ධනය වුණත් අද බිලිදාගේ පටන් වැඩිවිය පැමිණෙන දරුවකු දක්වා සියලු දෙනාම විවිධ ලෙඩරෝගවලට නිරන්තරයෙන්ම ගොදුරු වෙනවා. නමුත් එදා අපේ දරුවන්ට සෞඛ්‍ය සම්පන්නව ළමා කාලය සතුටින් ගෙවන්නට අපූරු ඔසුවක් උදව් වුණා. ඒ තමයි රත කල්කය හෙවත් දෙසඳුන් කල්කය කියලා කියන්නේ. නැත්නම් කොත්තමල්ලි කල්කය  කියන්නේ.

අපේ හෙළ වෙදකමේ වඩා වැදගත් තැනක් මේ රත කල්කයට හිමි වෙනවා. ඉස්සර සෑම දරුවෙකුටම මේ රත කල්කය ලබා දුන්නා. ඒ වගේම තමයි රත කල්කය පානය කරපු පරම්පරාව තමන්ගේ දරුවන්ටත් ඒක ලබාදීම ගැන වැඩියෙන් හිතනවා. තවත් විශේෂ කාරණාවක් තමයි කුඩා කාලයේ රත කල්කය ලබාගත් පුද්ගලයන්ට කොරෝනා වෛරසයෙන් පවා හොඳ ආරක්ෂාවක් ලැබෙන බව. 

නමුත් හෙළ වෙදකම අප අතරින් ගිලිහිලා යමින් තියෙන නිසාම මෙවැනි ඔසු ගැන අද ජනතාව තුළ  සතුටු විය හැකි ආකාරයේ දැනුමක් දකින්නට නැහැ. ඒ නිසාම අද වැඩි දෙනෙක් මේවා බැහැර කරන්නට තමයි උත්සාහ ගන්නෙ. මොකද දරුවෙකු පැදිලා මාස හයක් ගතවෙන තුරු දරුවාට මව්කිරි හැර වෙනත් කිසිවක් ලබා දෙන්න එපා කියලා තමයි වෛද්‍යවරුන් නිර්දේශ කර තියෙන්නේ.

 නමුත් ඈත අතීතයේ ඉඳලම දේශීය වෙදකම තුළ මේ වයස්වල දරුවන්ට අනිවාර්යෙන්ම මේ රත කල්කය දීම සිදු කළා. ඉතින් අපි අද කතා කරන්නේ අද බොහෝ දෙනෙක් අතරින් ගිලිහිලා යන වැඩිහිටි ඔබත් අමතක කර  දාලා තියෙන මේ රතකල්කය දරුවන්ගේ නිරෝගි බවට කොහොමද වැදගත් වෙන්නේ කියන කාරණාව පිළිබඳව. 

අපි හැමෝම වගේ දන්නවා මේ රත කල්කය ලබාදෙන්නේ රතගාය කියන රෝග තත්ත්වයක් ඇති වුණාට පස්සේ. ඉතින් ඒ නිසා මුලින්ම ඒ පිළිබඳව දැනුවත් වීම වඩා වැදගත්.

 රතගාය ඇති වෙන්නේ කොහොමද මව් කිරි ලබාදෙන කාලය තුළ රක්ත සහ පිත දූෂණය වීමට ලක් වෙනවා. ඒ වගේම ආහාර පාන ගැනීමෙන් මවුකිරි බොන දරුවාට මවගේ රක්තය දූෂණය වීමෙන් රතගාය ඇති වෙන්න පුළුවන්. මාස 6 දරුවන්ට දෙන අමතර ආහාර මගින් දරුවාගේ රක්තය දූෂණය වීමට ඉවහල් වුණොත් එය රතගාය ඇති වෙන්නට හේතුවක් වෙනවා. 

සාමාන්‍යයෙන් රතගාය රෝගය බිළිඳාට වැළඳෙන්නට හේතු වෙන්නේ මවුකුස තුළ දීමයි. ඒ නිසා ගැබිනි මවක් මාස හයක් වුණු දා පටන් අධික ලෙස තෙල් ආහාර, තක්කාලි, ආච්චාරු, බල මාළු, හුරුල්ලන්  වගේ රක්තය දූෂණය වෙන ආහාරපානවලින් වැළකීම වැදගත්. ඒ වගේම එළකිරි පානය, පලා වර්ග, දිනපතා ඉදුණු ගස්ලබු  ආදිය ආහාරයට ගැනීම, ස්නානය, අව්වේ ගමන් බිමන් යාමෙන් වැළකීම  කියන කරුණු අනුගමනයෙන්  මේ රෝගයෙන්  වැළකීමට පුළුවන්.

 රෝග ලක්ෂණ 

  • බිලින්දාගේ ශරීරය රතුපැහැ ගැන්වීම
  • අතීසාරය හෝ මල බද්ධය
  • දරුවා නිතර කෙඳිරි ගෑම
  • දිව රත් පැහැවීම
  • දිවේ මැලියම් බැඳීම
  • සැරව සහිත බිබිලි ඇතිවීම
  • නිතර නිතර දිව එලියට දැමීම
  • මලපහවල ලේ තිබීම
  • දරුවා ඉතා උණුසුම්ව තද පාටින් මුත්‍රා කිරීම
  • හිසේ තද රස්නය
  • දහදිය දැමීම
  • බඩ පුරවා දැමීම
  • කිරි උරා බීමට කැමැත්තක් නොදැක්වීම 

රත කල්කයේ අඩංගු වෙන අමුද්‍රව්‍ය 

මේ රත කල්කය දරුවන්ට වගේම මවටත් ඉතාම ගුණදායක ඔසුවක් වෙන්නේ ඒ සඳහා භාවිතා කරන වටිනා කියන ඖෂධ නිසා. මොකද ඒවා අතිශයින්ම ගුණාත්මක දේශීය ඔසු.

  • කොල්ලු   – ශරීර වර්ධනයට හේතු වෙයි.
  • සවිඳ ලුණු –  බඩ බුරුල් කිරීමට හේතු වෙයි.
  • වදක කහ –  පණු රෝග, වමනය, මලමුත්‍ර ගැටළු, බඩේ කැක්කුම, ඉදිමුම්, අපස්මාරය, සෙම ආදී රෝග තත්ත්වයන් වළක්වාලයි. ශරීරයට ශක්තිය ලබාදෙයි. උගුරට හිතකරයි. අමනුෂ්‍ය දෝෂ සහ වාතය නැති කරයි. 
  • මී පැණි  – දීර්ඝායුෂ ලබා දෙන ප්‍රබල ඔසුවක්. 
  • වැල්මී – (මදක් කබලෙන් බැද කුඩු කර ගත යුතුයි)
  • රත්හදුන්  –  වාතය පිත සෙම කැස්ස දුරුකර පණු රෝග ආදිය සුව කරයි. මේ රත් හඳුන් නොමැති අවස්ථාවල ඒ වෙනුවට සැවැන්න මුල් ගැනීම සුදුසු බව සඳහන්. 
  • සුදු හදුන් –  හිස කරකැවිල්ල, උණ, වමනය, පිපාසාව, ලේ දොස් සහ වියලීම්, මුඛ රෝග , පණු රෝග සහ දාහය ආදිය නසයි.
  • දෙහි – ගුල්ම රෝග, ආමවාත නැතිකර සෙම වමනය ආදිය දුරු කරයි. ඇසට හිතකරයි. ඉදුණු ගෙඩි මේ සඳහා ඉතා සුදුසුයි. 

 මේ වැල් මී,රත් හදුන් , සුදු හදුන්, කොල්ලු ආදී ඖෂධ සමාන ප්‍රමාණවලින් ගෙන එයට සවිඳ ලුණු  එකතු කර දෙහි යුෂෙන් එකතු කර අඹරා ගැනීමෙන්  මේ රත කල්කය සකසා ගන්නවා. ඇතැම් ප්‍රදේශවල මේ සඳහා තවත් ඖෂධ  එකතු කරන අවස්ථාත් තියෙනවා. මේවා  ඉතාමත් පිරිසිදුව ලබා ගැනීම වගේම ඒවා හුලං නොවදින භාජනයක ගබඩා කර තැබීමෙන් කල්තබා ගන්නත් පුළුවන්. 

රත කල්කයේ  ප්‍රයෝජන

  • ආහාර ජීර්ණය හොඳින් සිදු කරනවා.
  • ශරීරයේ ලේ පිරිසිදු කරනවා.
  • සමේ රෝගවලින් ආරක්ෂාව සලසනවා. 
  • බඩඑළිය යාම හෝ අජීර්ණ තත්ත්වයන් වළක්වනවා.
  • මළ මුත්‍රා හොඳින් පිට කරන්නට උදව් වෙනවා.
  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා.
  • බඩ පිපීම සදහා සහනය සලසා දෙනවා.
  • සෙම් පිත් රෝග සමනය කරනවා.
  • දාහය දුරු කරනවා.
  • කුසගින්න වර්ධනය කරනවා.
  • අස්ථි වර්ධනය කරනවා.
  • මොළය වර්ධනය කරනවා.
  • හෘදයට හිතකරයි.
  • ස්වසන රෝග දුරුකරනවා.
  • දැවිල්ල සහ උණුසුම අඩු කරනවා.
  • කුඩා දරුවන්ගේ දිවේ බැඳෙන මැලියම් ඉවත් කරනවා. 

රත කල්කය ලබාදීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

සාමාන්‍යයෙන් මේ රත කල්කය දරුවන්ට ලබා දෙන්නේ  දරුවන්ගේ වයස බර ආදිය පිළිබඳව සැලකිලිමත් වෙමින්. ඒ සඳහා  වෛද්‍ය  උපදෙස් ලබා ගැනීම අනිවාර්යෙන්ම කළ යුතු බවත් මතකයේ තබා ගන්න. 

විශේෂයෙන්ම මේ රත කල්කය උදේ වරුවේදී ලබාදිය යුතුයි. විශේෂයෙන්ම දරුවන් නහවා ඉන්පසු ලබාදීම සුදුසු වෙනවා.

දවසකට වරක් දෙවරක් සතියක් හෝ දෙකක් දිගටම ලබාදීම  ප්‍රමාණවත් වෙනවා. මෙය දරුවාට විතරක් නෙමෙයි මවටත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. 

 වයස අවුරුදු 1ට වැඩි දරුවෙක් සඳහා

  • කොත්තමල්ලි ඇට ස්වල්පයක් කබලෙන් බැද තම්බා ගෙන ඒ වතුරට රත් මල් තම්බාගත් වතුර එකතු කරන්න. මේ රත කල්කයෙන් කොත්තමල්ලි ඇටයක පමණ ප්‍රමාණයක් එයට එකතු කර දියකර දරුවාට ලබා දෙන්න.
  • මී පැණි ස්වල්පයකට රත කල්කයෙන් කොත්තමල්ලි ඇටයක පමණ ප්‍රමාණයක් කලවම් කර දරුවාට ලබා දෙන්න. දරුවාට කිරි පිටි ලබා දෙනවා නම් එයට රත කල්කයෙන් ස්වල්පයක් එකතු කර කලවම් කර ලබා දෙන්නත් පුළුවන්.
  • නමුත් වයස අවුරුදු 1 ට වඩා අඩු දරුවන්ට මී පැණි ලබාදීම  සුදුසු නොවන බව මතක තබා ගන්න.

සැලකිය යුතුයි මාස හයකට අඩු ළදරුවන්ට මව්කිරි හැර වෙනත් කිසිවක් ලබා නොදීමට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු නිර්දේශ කරන නිසා අලුත් උපන් බිලිඳුන්ට රතකල්කය ලබාදීම නිර්දේශ කළ නොහැකියි.

ඒ වගේම එය ඔබේ දරුවාට ලබා දෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස්වලට අනුව ක්‍රියා කළ යුතුමයි. මොකද ඇතැම් විට මේවායේ අඩංගු ඖෂධ දරුවාට ආසාත්මික වෙන්නටත් ඉඩකඩ තියෙන නිසා.

අද වෙද්දී මේ ඖෂධය පිළිබඳව වැඩිහිටියන් දැනුවත් නොවීම සහ සකස් කරන ආකාරය නොදැන සිටීමත්, පිරිසුදු බවින් අඩු යැයි සිතීමත් මාස 6ට අඩු දරුවන්ට ලබාදීමට දක්වන බිය කියන හේතු කාරණා නිසාත්  දෙමව්පියන් දරුවන්ට මේ ඔසුව  ලබා දෙන්න එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. නමුත් එදා සෑම නිවසකම තිබුණ මේ ඔසුව කාලයත් එක්කම අපෙන් ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. නමුත් නිරෝගිමත් දරු පරපුරක් රටට දායාද කරන්නට නම් හෙළ වෙදකමින් අපට දායාද කර දීපු මේ වගේ වටිනා කියන ඔසු භාවිතා කරන්නට නැවත අපේ අවධානය යොමු විය යුතුමයි.