අහු ශාකය පිළිබඳව බොහෝදෙනා අසා ඇති. දැක ඇති. නමුත් අහු ගසක් හෝ නිවසක වවා ගන්නට කිසිවෙක් කැමති නැහැ. මොකද බොහෝදෙනා මේ අහු ශාකයට දක්වන බිය නිසා. එයට ප්‍රධාන හේතුව තමයි බලි තොවිල් ආදියට නිතර මේ අහු ගෙඩි භාවිතා කිරීම. ඒ විතරක් නෙවෙයි අහු සතු ගුණ සමුදාය පවා මේ බලි තොවිල්වලට භාවිතා කිරීම කියන හේතුව නිසාම අමතක කරදාලා. ඒ නිසාම පිදේනි තටුවලට භාවිතා කිරීම හැර අහු සතු ගුණ පිළිබඳව බොහෝ අය දැනුවත් නැහැ. නමුත් එදා අතීතයට වඩා මේ ශාකයේ ඇති ඖෂධීය වටිනාකම පිළිබඳව ක්‍රමයෙන් ජනතාව යම් අවබෝධයක් ලබාගනිමින් සිටිනවා. ඉතින් මේ කියන්නට සූදානම් වෙන්නේ බොහෝ අය නොදන්නා වටිනා අහු ගස පිළිබඳව.
Rubiacae කුලයට අයත් අහු ශාකය “නෝනි” යන නමින් හඳුන්වනවා. අපේ රටේ බොහෝදෙනා මේ ශාකයේ වටිනාකම හරිහැටි දැන නොගත්තත් එයින් නිසි ඵල ලබා නොගත්තත් බොහෝ විදේශීය රටවල මේ ශාකයෙන් උපරිම ඵල ප්‍රයෝජන ලබා ගන්නවා.ඒ අනුව මේ ශාකය ඉන්දියාව,මලයාව, ඔස්ට්‍රේලියාව,පිලිපීනය හා පැසිෆික් කලාපීය රටවලත් හවායි දූපත් ආශ්‍රිතවත් බහුලව දකින්නට ලැබෙනවා. ආයුර්වේදයේ “අච්ඡුක ” යන නමින් හඳුන්වන මේ අහු ගස් ලදු කැලෑවල වගේම පාළු ඉඩම්වල වගේම ගෙඋයන්වලත් දැකගන්නට පුළුවන්.
මේ ශාකය මීටර 9 ක් තරම් උසට වර්ධනය වන අතර මේ ශාකයේ පත්‍ර දිගින් අගල් 7-8 ක් වනවා. මේ පත්‍ර තල දෙකම සිනිඳු අතර අග්‍රය තීව්‍රයි.අහු ශාකයේ මල සුදු පැහැයක් ගන්නා අතර පසුව අණ්ඩාකාර ඵල දැක ගන්නට ලැබෙනවා. විශාල ඵලය මාංසල අතර විශ්කම්භය සෙන්ටිමීටර් 3-10 පමණ වෙනවා.මේ ගෙඩි ඉදුණු පසු වහනය වන අප්‍රසන්න සුවඳ නිසා සතුන් පවා මේ ගෙඩි ආහාරයට ගන්නට මැලිකමක් දක්වනු ලබනවා. එය ශාකයේ ප්‍රචාරණයට යම් බාධාවක් වුණත් එක ගෙඩියකින් පමණක් පැළ 50-70 ක් තරම් ප්‍රමාණයක් හටගනු ලබනවා.

නමුත් ඉදුණු අහු ගෙඩි ඉහළ පෝෂණ ගුණයකින් සමන්විතයි. අහු ශාකයේ ගෙඩි පමණක් නොවෙයි කොළ, දළු නැටි වගේම මුල් පවා විවිධ ඖෂධ සඳහා භාවිතයට ගනු ලබනවා. මේවා වියළා ගැනීමෙන් තොරව අමු ඖෂධ ලෙසයි භාවිතයට ගනු ලබන්නේ.මේ අහු සතුව පොටැසියම්, කැල්සියම්, සෝඩියම්, අයන් විටමින් A,B, C E යනාදී පෝෂක සංඝටකත් අන්තර්ගත වෙනවා. ඒ වගේම ප්‍රතිබැක්ටීරියා නාශක ගුණයෙන් හා විරේක ගුණයෙන් ද ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ද සමන්විතයි.
මේ අහු ගෙඩි අමුවෙන් බැද ලුණු සමඟ ආහාරයට ගන්නට හැකි අතර පලතුරක් ලෙසත් ආහාරයට ගන්නට පුළුවන්. ඒ වගේම අහු ගෙඩිවලින් යුෂ ලබාගෙන වෛද්‍ය උපදෙස් අනුව ලබා ගැනීමත් නීරෝගී ජීවිතයකට ඉතා වැදගත් වෙනවා. මේ අහු ගෙඩියේ යුෂ පළමු මාසය තුළ උදේ සහ රාත්‍රී ආහාරයට පැය 2 කට පෙර තේ හැදි 2 බැගින් ද, පසු මාසවලදී උදේ දවල් හා රාත්‍රී තේ හැදි 2 බැගින් ද වෛද්‍ය උපදෙස් අනුවයි ලබාගත යුතු වන්නේ.ඒ හැරුණාම කෘමි විකර්ශකයක් ලෙසටත්,ඩයි වර්ග සෑදීම සඳහාත් භාවිතයට ගන්නා අතර ගුප්ත විද්‍යා කටයුතු සඳහා වගේම ආගමික උත්සව සඳහාත් භාවිතයට ගනු ලබනවා.
අහු යුෂ සාදා ගන්නා ආකාරය

- ඉදුණු අහු ගෙඩි කිහිපයක් ගෙන හොඳින් සෝදා කුඩා කැබලිවලට කපා ගන්න.
- ග්‍රේට් කරගත් ඉඟුරු කැබැල්ලක් හා කපාගත් අහු කැබලි එකතු කර බ්ලෙන්ඩර් කර ගන්න.
- පසුව පෙරනයකින් අහු යුෂ පෙරා ගෙන එයට මී පැණි සීනි ඔබ කැමති ප්‍රමාණයකින් එකතු කර පානය කරන්න.
අහු ශාකයේ ඖෂධීය ගුණ
- ප්‍රාථමික පිළිකා සෛල නිශේධනය කරයි.(පෙනහළු පිළිකා,අක්මා පිළිකා,වකුගඩු පිළිකා )
- හෘද රෝග ඇතිවීම වළක්වයි.
- රක්තවාතය සඳහා ගුණදායකයි.
- ආමාශගත රෝග සඳහා සුව ගෙනදෙයි.
- අග්න්‍යාශයේ ක්‍රියාකාරිත්වය විධිමත් කරයි.
- සිරුරට අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි.
- ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කරයි.
- ස්නායු ආබාධ සමනය කරයි.
- මතකය වර්ධනය කර තෙහෙට්ටුවට සහනය සලසයි.
- අධි රුධිර පීඩනය පහත හෙළයි.
- ශරීරයේ වේදනාවන් දුරු කරයි.
- මුඛ රෝග සුව කරයි.
- ආතරයිටීස් රෝගය සඳහා ගුණදායකයි.
- අක්මා රෝග ඇතිවීම වළකයි.
- දියවැඩියා රෝගයට ගුණදායකයි.
- තුවාල හා ගෙඩි සුවපත් කරයි.
- කැඩුම් බිදුම් හා සර්ප විෂට සුදුසුයි.
අහු ශාකයේ ඖෂධීය භාවිතයන්

පිළිකා සඳහා පිළිකා මර්දනය සඳහා ලබාදෙන රසායනික චිකිත්සාව වන්නේ කීමෝ තෙරපි. නමුත් කීමෝ තෙරපි මගින් ලැබෙන සුවයට වඩා වැඩි සහනයක් අහු පත්‍ර මගින් සලසා ගත හැකි බව අධ්‍යයනය මගින් තහවුරු කරගෙන තියෙනවා. ඒ වගේම කිමෝ තෙරපි මගින් ඇතිවන මාරාන්තික අතුරු ආබාධවලින් පවා වැළකී සිටින්නට මේ අහු ශාකය භාවිතා කරන්නට පුළුවන්.
විදුරුමස් ශක්තිමත් කිරීම සඳහා අහු ගෙඩි පුළුස්සා ගත් අළු ලුණු කුඩු සමඟ මිශ්‍රකර විදුරුමස්වල ආලේප කළ යුතුයි.
සර්ප විෂ සඳහා අහු කොළ සහ අමු කහ එකට අඹරා දෂ්ට මුඛයේ ආලේප කිරීම ඒ විෂ නැසීමට උපකා වෙනවා.
වණ හා ගෙඩි සඳහා අහු දලු ස්වල්පයක් ගෙන එයට රතුළූණු එකතු කර පොල් කිරෙන් අඹරා තුවාලයේ හෝ ගෙඩියේ බැඳීම සුදුසුයි.
සැලකිලිමත් විය යුතුයි.
- අක්මා රෝගීන් , වකුගඩු ආබාධ ඇති පුද්ගලයන් අහු ආහාරයට ගැනීමෙන් වළකින්න.
- ගබ්සා විය හැකි නිසාවෙන් ගර්භනී කාන්තාවන් අහු භාවිතයෙන් වළකින්න.
- අධි රුධිර පීඩනය ඖෂධ ලබා ගන්නා පුද්ගලයන් අහු ආහාරයට එකතු කර ගැනීමෙන් වළකින්න.
- විවිධ රෝග සඳහා ඖෂධ ලබා ගන්නා අයෙක් නම් වෛද්‍ය උපදෙස්වලට අනුව අහු පරිභෝජනය කළ යුතු අතර ඖෂධ සඳහා ආදේශකයක් ලෙස භාවිතයට ගැනීමෙන් වළකින්න.