සන්ධි ඉදමුම් සමනය කරන යකිනාරං සතු රෝග සුව කිරීමේ ගුණ 10 ක්

health tips

ආයුර්වේදය තුල බහුලව භාවිතා කරන ඖෂධීය ශාක අතුරින් Rutaceae කුලයට අයත් යකිනාරං  මීටර් දෙකක් පමණ උසට අතු බෙදෙමින් වැඩෙන දේශීය ශාකයකි. එනම් මෙහි අතුවල සහ කඳෙහි කටු දැකගත හැකි අතර ලපටි පත්‍ර කොළ පැහැයෙන් ද මේරූ පත්‍ර තද කොළ පැහැයෙන් ද යුක්තවේ. පුෂ්ප මංජරියේ හටගනු ලබන මල් සුදු පැහැති වේ. ඵලය මාංසල බදරියක් වන අතර ඵල ආවරණය පැඟිරි සහිතවේ.ඵලය තුළ බීජ රාශියක් අඩංගුවේ. එනම් ශාක ව්‍යාප්තිය එම බීජ වලින් සහ මුල් මගින් සිදු කර ගත හැකිය.

මෙය බොහෝ රෝග සමනය කිරීම සඳහා ආයුර්වේදය තුල භාවිතා කරන අතර “උඩුදෙහි” යන නාමයෙන් ද නොයෙක් ප්‍රදේශවල හඳුන්වනු ලබයි. එනම් මෙහි ගෙඩි,කොල ,පොතු ,මුල්… ඖෂධ සඳහා යොදා ගනු ලැබේ. 

ශාකයේ ඖෂධීය භාවිතය. 

අක්මා රෝග සමනය කිරීමට වර්තමානය වන විට බොහෝ දෙනකු අක්මාව ආශ්‍රිතව රෝග වලින් පීඩා විඳිනු ලබයි. එනම් මෙම රෝග තත්ත්වයන්ට ඖෂධයක් ලෙස යකිනාරං කොළ භාවිතා කළ හැකිය. එනම් ඈත අතීතයේ සිටම අක්මාව රෝගී වූ විට යකිනාරං කොළ කැඳ පානය භාවිතා කර තිබේ. එනම් ඉන් සෙංගමාලය,ෆැට්ලීවර් ආදී රෝග තත්ත්වයන් සුව කරගත හැකි බව සඳහන් වේ. 

සෙම්ප්‍රතිශාව සමනය කිරීමට යකිනාරං ශාකය ඖෂධීය වශයෙන් බොහෝ රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගන්නා අතර සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ද මෙය ප්‍රත්‍යක්ෂ  ඖෂධයකි. එනම් යකිනාරං කොළ තම්බා එම වාෂ්ප ආග්‍රහණය කිරීම තුළින් සෙම්ප්‍රතිශ්‍යාව සුව කරගත හැකිය. එමෙන්ම යකිනාරං කොළ හොඳින් කොටා ලබා ගන්නා යුෂ ගෙන එමඟින් සකස් කරන කැඳ පානය භාවිතා කිරීමෙන් ද ශ්වසන රෝග මෙන්ම සෙම්ප්‍රතිශ්‍යාව ද සුව කරගත හැකිය. 

හිසරදය, උණ සමනය කිරීමට වේදනා ගෙන දෙන හිසරදය සහ උණ සමනය කිරීම සඳහා යකිනාරං කොල තම්බා  නැගෙන වාෂ්ප ආග්‍රහණය කිරීම වඩාත් සුදුසුවේ. 

කොලෙස්ටරෝල් පාලනය කිරීමට කොලොස්ට්‍රෝල් පාලනය කිරීම සඳහා යකිනාරං කැද ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් කරපිංචා හීන්බෝවිටියා සමඟ මාරුවෙන් මාරුවට යකිනාරං කැඳ පානය කිරීම මේ සඳහා වඩාත් සුදුසුවේ. 

අර්දිත රෝගය සමනය කිරීමට අර්දිත රෝග තත්ත්වය සමනය කිරීමට යකිනාරං ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා යකිනාරං කොළ අඹරා එම ප්‍රලේපය මුහුණ මත ආලේප කිරීම සිදු කරනු ලැබේ. 

චර්ම රෝග සමනය කිරීමට සමෙහි ඇතිවන නොයෙක් කැසීම් ආසාදනයන් සුවකර ගැනීම සඳහා යකිනාරං කොළ තම්බා එම වතුරෙන් සේදීම යෝග්‍ය වේ. 

උදරගත අජීර්ණ සමනය කිරීමට බොහෝ පීඩා ගෙන දෙන උදරගත අජීර්ණය සමනය කිරීම සඳහා ඖෂධයක් ලෙස යකිනාරං ශාකය භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා ශාකය කොටා යුෂ ගෙන ගිනියම් කළ යකඩයක් ඔබා මී පැණි මුසුකර  ලබා දීම මගින් අජීර්ණ තත්ත්වයන් සුව කරගත හැකි බව පැරණි වෙද පොතෙහි සඳහන් වේ. 

සන්ධි ඉදමුම් සමනය කිරීමට බොහෝ දෙනකුට වේදනා ගෙනදෙන සන්ධි ඉදිමුම් සුවකර ගැනීම සඳහා ඖෂධයක් ලෙස යකිනාරං තෙල් ආලේප කිරීම සිදුකරනු ලබයි. එමෙන්ම එම තෙල් පක්ෂඝාත වැනි රෝග තත්ත්වයන් සඳහා ද භාවිතා කරනු ලැබේ. ඇදුමට, අජීර්ණයට ,උණට, ආහාර අරුචියට, සර්ප විෂට  ප්‍රතිකාර කිරීම සඳහා යකිනාරං ශාකයේ කොළ , පොතු , මුල් , ගෙඩි ආදිය භාවිතා කරයි. 

මීමැසි ,බඹර විෂ නැසීමට ඈත අතීතයේ සිටම මී මැසි හා බඹර විෂ නැසීම සඳහා යකිනාරං ඖෂධයක් ලෙස භාවිතා කර තිබේ. එනම් මේ සඳහා යකිනාරං මුල් දෙහි ඇඹුලෙන් ගලගා දෂ්ට කළ ස්ථානයේ ආලේප කිරීම යෝග්‍යය වේ. 

පණු දද සමනය කිරීමට පණු දද සමනය කිරීම සඳහා ඖෂධයක් ලෙස කොළ ප්‍රලේපය යොදා ගනී.මීට අමතරව පොල් සම්බෝල සකස් කිරීමේදී එය ඇඹුල් රස ගැන්වීම සදහා යකිනාරං ගෙඩිවල යුෂ යොදා ගනු ලැබේ. 

රෝග සඳහා භාවිතා කිරීමට අමතරව නපුරු සිහින දකින විට ඉන් මිදීමට යකිනාරං ශාකයේ අත්තක පඬුරක් ගැට ගසනු ලැබේ.  ඊට අමතරව යකිනාරං ශාකය බලි තොවිල් ගුරුකම් කිරීමට මෙන්ම යාග හෝම ආදියේදී අවශ්‍යවන පස්පැඟිරි එකතුවට දෙහි , දොඩම් , නාරං , නස්නාරං , සිදරං සමග භාවිතයට ගනු ලැබේ. 

එමෙන්ම ඈත අතීතයේ සිටම මදුරුවන් පලවා හැරීමට මදුරුතලා කොළ ගෙන දුම් ඇල්ලීම සිදුකරනු ලැබේ.මේ ආදී වූ බොහෝ රෝග සමනය කිරීමට මෙන්ම නොයෙකුත් ශාන්ති කර්ම ආදීයේද යකිනාරං වඩාත් ප්‍රචලිත ශාකයක් ලෙස හඳුනාගත හැකිය. නමුත් යම් රෝගයකට ප්‍රතිකාරකයක් ලෙස යොදා ගන්නේ නම් ඊට ප්‍රථමව වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන්න.