නයි විෂ පවා ක්ෂණිකව ඉවත් කරන හෙළ වෙදඳුරන් භාවිතා කර නියද ශාකයේ ගුණ 19 ක්

health tips

කැලෑබද ගල් පර්වත ආශ්‍රිතව සුලභව හමුවන දේශීය ශාකයකි. Dracaenaceae උද්භිද ශාක කුලයට නියද ශාකයේ පත්‍ර දිගු පත්‍ර වන අතර සරල පත්‍ර අරීයව සැකසී ඇත. පත්‍රවල ඇතුළු පැත්ත අවතල වන අතර පිට පැත්ත වටකුරු ස්වභාවයක් ගනී. සුදු පැහැති මල් බහු අක්ෂ පුෂ්ප මංජරියේ හටගනු ලැබේ. ඵලය කොළ පැහැති ගෝලාකාර ඵලයක් වන අතර ඉදුණු පසු තද තැඹිලි පැහැයක් ගනී. මීට අමතරව විදේශීය නියද ශාකයක් පවතින අතර එය දේශීය නියද ශාකයේ පත්‍ර වලට වඩා පළලින් යුතු වේ. Sansevieria trifasciata යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මෙම  ශාකය ගෘහ අලංකරණය සදහා බහුලව වගා කරයි. 

උල් නියද ,ගජ දළ, විෂහරණ, යනාදී නම් වලින් හඳුන්වන නියද ශාකයේ පත්‍ර ඇත අතීතයේ නූල්, රෙදි නිශ්පාදනය කිරීම සඳහා යොදා ගෙන තිබේ.වැදි ජනයා ඉනෙහි බදින නූල් සදහාත් පෙරහැර ආදී උත්සව අවස්ථාවන්හි කසය සැකසීම සදහාත් නියද කෙදි භාවිත කර තිබේ. මීට අමතරව මෙම ශාකයේ ඖෂධීය වටිනාකමින් ද අනූන වේ. එනම් බොහෝ රෝග සමනය කිරීමට නියද ඖෂධයක් ලෙස භාවිතා කරනු ලැබේ.

නියද ශාකයේ ඖෂධීය ගුණ 

  • මලමූත්‍රකාරක
  • කුසගිනි වඩවන 
  • ශක්තිජනක 
  • සෙම නසන යනාදී ඖෂධීය ගුණයන්ගෙන් යුක්ත වේ.

නියද ශාකයේ ඖෂධීය ගුණ භාවිතය

  • නයි විෂ සදහා 
  • හෘද රෝග සදහා 
  • උගුරේ සෙම බැදීම සදහා 
  • මහෝදර සදහා 
  • කර්ණ රෝග සදහා 
  • භගන්දර සදහා 
  • මූල රෝග සදහා මෙම රෝග සමනය කිරීම සඳහා නියද ශාකයේ මුල් ,කොළ ඖෂධ ලෙස භාවිතා කරනු ලැබේ. 

නියද යොදා නිපදවන ඖෂධ 

  • කොලශ්ලෙෂ්මා තෛලය 
  • ගරුඩරාජ තෛලය 
  • වලිප්පු කෝල තෛලය 
  • නියද තෛලය 
  • යම දේවරාජ තෛලය 
  • නියද අල මහාකෝල විනා ගුලිය 

නියද ශාකයේ ඖෂධීය භාවිතය

කණ්වල ආබාධ සදහා නියද පත්‍රයේ කදට සම්බන්ධ වන ස්ථානයෙහි ඇති සුදු පැහැති කොටස ගෙන උණු අලු පල්ලේ තම්බා මිරිකා ගන්නා යුෂ ස්වල්පයක් කණට වත් කිරීම. 

සර්ප විෂ සදහා නියද කොළ ස්වල්පයක් ගෙන දෙහි ඇඹුලින් ගලගා දෂ්ඨ කළ ස්ථානය වටා ආලේප කිරීම. මාපිල් විෂ සදහා නියද අල කැද සකසා පානය කිරීමට ලබා දීම.

ගෝනුසු විෂ සදහා නියද අල ,බලුදං කොළ සහ පොතු අමුකහ ලුණු සමග කොටා පොට්ටනි බැද කඩපිම්මේ තම්බා බැඳීමෙන් ගෝනුසු විෂ සහ ගෙමැඩි විෂ ඉවත් කර ගත හැකිය. 

දරු ප්‍රශූතියෙන් පසු ඇතිවන වේදනාවන් සදහා නියද දලු අහුරක් සහ සුදු ලූණු බික් කිහිපයක් ගෙන කඩ පිම්මේ තම්බා ඒවායේ යුෂ මිරිකා කුඹුරු ඇට කලදක් පොඩිකර දමා පෙවීමෙන් දරු ප්‍රශූතියෙන් පසු මව්වරුන්ට ඇතිවන නොයෙකුත් වේදනාවන් සමනය කර ගත හැකිය.

ගෙඩි සදහා නියද අල යුෂ විනාකිරි සමග මිශ්‍ර කර ගෙඩිවලට ආලේප කිරීම. 

වණ ශුද්ධ වීම සදහා නියද කොළ සහ සූදුරු එකට කොටා තල තෙලින් මලවා බැදීමෙන් වණ ශුද්ධ කර ගත හැකිය. 

පිත නිසා හටගන්නා හිසරදය සදහා බැබිල ,නියද අල ,වැල්මී ,සුවද හොට ,මානෙල් අල ,සුදු හදුන්, යනාදී ඖෂධ එළකිරෙන් අඹරා ඝනව හිස ගැල්වීමෙන් එම හිසරදය සමනය කර ගත හැකිය. 

දත් පණුවන් කෑම සදහා.නියද අල යුෂ දත් මුල යෙදීමෙන් දත් පණු රෝග සමනය වේ. අතීතයේ සිටම නියද ශාකය ජනයා විවිධ කාර්යයන් සදහා යොදා ගෙන ඇති අතර එය ඖෂධීය වටිනාකමින් ද අනූන ශාකයක් වේ. ස්වාභාවික පරිසරයේ ඇති මෙවැනි වටිනා ශාක රැක ගැනීම අප සතු යුතුකමකි.

මේ ආදී රෝග සමනය කිරීම සඳහා ඖෂධයක් ලෙස නියද ශාකය භාවිතා කළ හැකිය.