සපත්තුවල දුගඳ නැතිකර ගන්න සරල ක්‍රම

health tips

අපි අපේ ශරීරය පිරිසිදුව තියාගන්නවා වගේම අපි අඳින ඇඳුම් පැළඳුම් පවා පිරිසිදුව තියාගන්නා එක තවත් අයෙකුට අප්‍රසන්න බවක් ඇති නොවෙන්න හේතුවක්. ඒත් ඇඳුම් කොතරම් පිරිසිදුව තිබුණත් ඔබ කොතරම් පිරිසිදුව සිටියත්  ඔබ පළඳින පාවහන් යුගලයෙන්  දුර්ගන්ධයක් හමනවා නම් එය ඔබේ පෞරුෂත්වයටත් හානියක් අවට සිටින අයටත් එය හරිම අපහසුවක්. 

අපි අපේ ශරීරයේ දහඩිය දුගඳ නැති කරගන්න ඩියෝඩ්‍රන්ට් එකක් භාවිතා කරනවා වගේම පාදවල දහදිය නිසා සපත්තුවල වගේම පාදයෙන් හමන දුගඳ වළක්වා ගන්නත්  කුමන හෝ විසඳුමක් සොයා ගන්නට අපිට  සිද්ධ වෙනවා.  පාදයට දහදිය දැමීම, ඒ මත ක්‍රියා කරන බැක්ටීරියා, පාදවල ඇතිවන තුවාල ආදිය නිසා සපත්තුවල දුර්ගන්ධය ඇතිවෙන්නට පුළුවන්. කාන්තාවන්ට මෙය එතරම් ගැටළුවක් නොවුණත් සම්පූර්ණ පාදයම ආවරණය වන ලෙස පාවහන් පළඳින පාසල් දරුවන් සහ පුරුෂ පාර්ශවයට මේ ගැටලුව ඉතාම තදබල ලෙස බලපානවා.   ඉතින් මේ සපත්තුවල දුගඳ නැති කරන්නට ඔයාට නිවසේදීම කළ හැකි අපූරු විසඳුම් ගැනයි මේ කියන්නේ. 

  • තේ බෑග් 

සපත්තු වලින් හමන  දුර්ගන්ධය නැති කරගන්නට ඉතා පහසුම පිළියමක් තමයි තේ බෑග් භාවිතා කරන එක. උදේට භාවිතා කරන තේ බෑග් සපත්තුවල දුගඳ නැති කර ගන්නට භාවිතයට ගන්නට පුළුවන්. මේ තේ බෑග්  සපත්තු දෙක ඇතුලට දාලා රාත්‍රී කාලය පුරාවට තියලා උදේට ඉවත් කරන්න.මෙයින්  ඔබේ  සපත්තුවල ඇති දරාගත නොහැකි  දුර්ගන්ධය පහසුවෙන් දුරු කරගන්න පුළුවන් .

  • කෝපි 

තේ බෑග්  වගේම කෝපි භාවිතයෙන් ද සපත්තුවල දුගඳ නැතිකර ගන්නට පුළුවන්.  අපි පානයට ගන්නා කෝපිවල ඉතාම හොඳ සුවඳක් තියෙනවා. පරණ  මේස් දෙකකට  කෝපි කුඩු මේස හැන්ද බැගින් දාලා  මේස් 2  රැයක් පුරාවට සපත්තු දෙක ඇතුළෙ දාලා තියන්න. මේස් වෙනුවට රෙදි කැබලි දෙකක් ආධාරයෙන් පොට්ටනි 2ක් සක්සා ගන්නත් පුළුවන්.  මෙය සපත්තුවල දුර්ගන්ධය නැති කර ගන්න ඉතාම පහසු ක්‍රමයක්.

  • ලුණු

 ඔබ භාවිතා කරන්නේ කැන්වස් සපත්තු නම් ඒවායේ ඇති දුර්ගන්ධය නැති කරගන්නට ලුණු ඔබට භාවිතා කරන්නට පුළුවන්.  සපත්තු  තුළට ලුණු ස්වල්පයක් ඉසීමෙන් දුර්ගන්ධය නැති වෙනවා වගේම අනවශ්‍ය තෙතමනයත් ඉවත් කරගන්නට පුළුවන්.

  • බේකින් සෝඩා

 සපත්තුවල ඇතිවන දුර්ගන්ධය නැති කර ගන්නට බේකින් සෝඩා අපට භාවිත කරන්නට පුළුවන්. බේකින් සෝඩා මේස හැන්දකට කෝපි මේස හැදි දෙකක් එකතු කරලා හොඳින් කලවම් කරන්න. මේ මිශ්‍රණයත් පොට්ටනි දෙකක් වගේ සකස් කරලා සපත්තු ඇතුළෙ  දාල තියන්න. මේ බේකින් සෝඩාවලින් පාදවල ඇතිවන බිබිලි සහ   කැසීම් ආදීය පවා වළක්වා ගන්නත් පුළුවන්. මේ මිශ්‍රණය මාසයක පමණ කාලයක් වුණ්ත් භාවිතා කරන්නට පුළුවන්,  මේ සඳහා බේකින් සෝඩා පමණක් භාවිතා කරන්නත් පුළුවන්. 

  • ඇල්කොහොල් 

විශේෂයෙන්ම ඇල්කොහොල්වල විෂබීජහරන ගුණයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි සපත්තුවල දුර්ගන්ධය නැති කරන්නටත් මේ ඇල්කොහොල් දියර අපිට භාවිතා කරන්නට පුළුවන්. සපත්තුව තුළට ඇල්කොහොල් දියර ස්වල්පයක්  දැමීමෙන් මේ දුර්ගන්ධය  නැති කරගන්නට හැකියාව ලැබෙනවා.

  • බේබි පවුඩර් 

ඔබට  සපත්තු දෙකේ ඇති දුර්ගන්ධය ක්ෂණිකවකම නැති කරගන්නට අවශ්‍ය නම් ඒ සඳහා  කළ හැකි හොඳම පිළියමක් තමයි baby powder භාවිතා කිරීම.  සපත්තුවල හොඳින් baby powder ආලේප කර  එය පැළදීමෙන් එහි ඇති ගඳ නැතිකර ගන්නට පුළුවන්. 

  • සගන්ධ තෙල් වර්ග

 සපත්තුවල ඇතිවන දුර්ගන්ධය නැතිකර ගන්නට වගේම නැවුම් සුවඳක් ලබාගන්නටත් මේ සගන්ධ තෙල් භාවිතා කරන්නට පුළුවන්. මේ සගන්ධ තෙල්වලින් බිංදු කිහිපයක් සපත්තු තුළට ඉසීමෙන් මේ  ප්‍රතිලාභ ඔයාට ලබාගන්න  පුළුවන්. ඒ සඳහා කරාබු නැටි  තෙල්, ටී  ට්‍රී ඔයිල් වගේම  යුකැලිප්ටස් තෙල් භාවිතා කරන්නත් පුලුවන්. මේ තෙල් කඩදාසි කැබැල්ලකට හෝ ටිෂු එකට දමා රාත්‍රිය පුරාවට සපත්තු තුළට දමා තබා තැබීමෙනුත් මේ  දුගඳ නැති කරගන්නට පුළුවන්. 

  • හොඳින්  සේදීම සහ වියළීම

දවස පුරාම පාදයට දමන දහදියත් ඒ නිසා හට ගන්නා බැක්ටීරියා ආදියත් හේතුකරගෙන ඇතිවන දුගඳ නැති කර ගන්නට සපත්තු හොඳින් සෝදා වියළා ගැනීමත් අනිවාර්‍ය කාරණාවක්. සපත්තු අපිරිසිදු නම් ඇතැම්විට  සපත්තුවල දුර්ගන්ධය කරගන්නට ඉහත සඳහන් කළ  පිළියම් භාවිතා කලත් ඒවා සාර්ථක නොවෙන්නට  ඉඩ කඩ තියෙනවා. ඒ නිසා ඔබට පාවහන්වලට හානි නොවන සේදුම් දියරයක් භාවිතා කරලා පාවහන් හොඳින් පිරිසිදු කර මද අව්වේ වේලා ගැනීමෙන් මේ ගැටලුව නිරාකරණය කරගන්නට පුළුවන්. 

සපත්තු මිලට  ගැනීමේදී පාදයට ගැළපෙන ප්‍රමාණයේ ඒවා තෝරා ගැනීමත්, එක් සපත්තු කුට්ටමක් පමණක් දිනපතා භාවිතා නොකිරීමත් මේ ගැටළුවෙන් මිදෙන්නට  වැදගත් වෙන කාරණාවන්. ඒ වගේම  පාදය හොඳ  විෂබීජනාශක සබන් වර්ගයක් භාවිතයෙන් පිරිසිදු කර වියළා ගැනීමත්, මේස් යුගලය පැළදීමට පෙර බේබි පුයර පාදවල  ආලේප කිරීමත් සපත්තුවල දුර්ගන්දය නැති කර ගන්නට උදව් වෙනවා.