අකලට හිසකෙස් සුදුවීම වළකන සේපාලිකා මල් සතු ගුණ 21 ක්

health tips

මිහිරි සුවඳක් ඇති සේපාලික මල් සවසට පිපී උදෑසන පරවී වැටෙනවා. බුදුන් වහන්සේට පූජා කරන සේපාලිකා මල් අපට නීරෝගීව ජීවත් වෙන්නටත් උපකාර කර ගන්නට හැකි වටිනා ඖෂධීය ගුණයෙන් සමන්විත බව ඔබ ඇතැම්විටෙක නොදන්නවා ඇති. මේ සේපාලිකා ශාකයේ පොතු, කොළ, ඇට කඳ කොටස් පවා ඖෂධීය වටිනාකමින් ඉතා ඉහළයි. ඒ අතුරින් පුංචි සේපාලිකා මල් කිහිපයකින් බොහෝ රෝග සුවපත් කර ගන්නට හැකි බව විවිධ පර්යේෂණ මගින් මේ වන විට සොයාගෙන තියෙනවා. ඔබේ නිවසේ හෝ අවට ඇති සේපාලිකා ශාකය ඔන්න ඔබටත් බොහෝ ලෙඩ රෝගවලට ඔසුවක් විදියට භාවිතා කරන්නට හැකියාව පවතිනවා. සේපාලිකා තේ පානය මගින් වගේම බාහිරව ආලේපය මගින් බොහෝ ප්‍රයෝජනයන් අපට ලබා ගන්නට හැකියාව පවතිනවා. ඉතින් අපි බලමු මොනවද මේ සේපාලිකා ශාකය සතු විස්මිත ගුණයන් කියලා.

සේපාලිකා මල් බොහෝ රටවල සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා භාවිතා කරනු ලබනවා.ඒ හැරුණාම සේපාලිකා කොළ, පොතු, ඇට සහ මුල් පවා රෝග බොහොමයකටත් අතිශයින්ම ගුණදායක වෙනවා. සේපාලිකා ප්‍රති ඔක්සිකාරක ගුණයෙන් සහ ප්‍රබල ප්‍රතිප්‍රදාහක ගුණයගෙන් ද සමන්විතයි.

සේපාලිකා මල් පානය කිරීමෙන් ලැබිය හැකි සෞඛ්‍යයමය වාසි 

  • දියවැඩියා රෝගය පාලනයට ප්‍රත්‍යක්ෂ ඖෂධයක්.අද වෙද්දි ලොකු කුඩා සෑම දෙනෙක්ම පීඩා විදින දියවැඩියා රෝගය සාර්ථකව පාලනය කරන්නට මේ සේපාලිකා මල්වලට හැකියාව ලැබිලා තියෙනවා.නටුව රතු පැහැයෙන් දිස්වන සුදුපාට කුඩා මල්පෙති 5 න් සමන්විත සේපාලිකා මල් 10 ක් 15 ක් එකතු කර ඒවා හොඳින් සෝදා පිරිසිදු කර වියළා ගන්න.පසුව ඒ මල් මද උණුසුම් ජලය මිලි ලීටර් 200 කට දමා විනාඩි 10 ක් තම්බා පෙරා ලබාගත් ජලය උදෑසන හිස් බඩ පානය කරන්න. මේ පානය කහට රසයෙන් වගේම තිත්ත රසයක් ඇති නිසා ඇතැම් අය පානයට මැලි වන්නට පුළුවන්. නමුත් අපහසුවෙන් හෝ සතියකට දින 3 ක් මේ පානය ලබාගත්තොත් දියවැඩියාව ඉතාම හොඳින් පාලනය කර ගන්නට හැකියාව ලැබෙනවා.
  • රුධිරයේ ඇති අහිතකර කොලෙස්ට්රෝල් මට්ටම පහළ හෙළයි.
  • සේපාලිකා මල් කෂාය ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා ගුණදායකයි.  
  • රාත්‍රි  නින්ද නොයාමේ රෝගයට ඉතාම ගුණදෙයි. මද පවනේ වියළාගත් සේපාලිකා මල් වියළා කුඩු කරගෙන නින්දට පෙර තේ මෙන් සකසා පානය කිරීමෙන් මේ ගැටළුවට විසඳුම් ලබා ගන්නට පුළුවන්.

සේපාලිකා කොළ භාවිතයෙන් ලබාගත හැකි සෞඛ්‍යයමය ප්‍රතිලාභ 

  • චර්ම රෝග සඳහා ඉතාම හොඳ ඔසුවක්. සමේ කැසීම්, දද, හොරි ආදීයේ සේපාලිකා කොළ කොටා එහි යුෂ ගෙන තල තෙල් සමඟ රත්කර මඳක් නිවෙන්නට තබා ඒ ස්ථානවල උදේ සවස ආලේප කිරීමෙන් ඔබට සුවයක් ලබා ගන්නට හැකියි.
  • ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා ගුණදායකයි. කල්පවතින කැස්ස, ඇදුම ආදී රෝග තත්ත්වයන්වලදී සේපාලිකා කොළ යුෂ තේ හැන්දකට මී පැණි දමා දිනපතා උදෑසන පානය කිරීම සුදුසුයි.
  • ආතරයිටීස් රෝගීන්ගේ වේදනාව සමනය කරයි. මේ සඳහා අඹරාගත් සේපාලිකා කොළ වේදනාවට ඉදිමීමට ලක් වූ ප්‍රදේශයේ පැලැස්තරයක් ලෙස යොදනු ලබනවා. එසේත් නැත්නම් තලපයක් ලෙස ආලේප කරනු ලබනවා.ඒ විතරක් නෙවෙයි සේපාලිකා කොළ 7ක් පමණ පොඩිකර වතුර වීදුරුවකට දමා බාගයක් පමණ ජලය හිදෙන තුරු තම්බා රාත්‍රියක් පුරා තිබෙන්නට හැර උදෑසන හිස්බඩ පෙරා පානය කිරීමත් ආතරයිටීස් රෝගය සඳහා ගුණදායකයි.
  • සන්ධි ආශ්‍රිත වේදනාවන් සමනයට උපකාරී වෙයි. සන්ධි වේදනාවන්, කොන්දේ කැක්කුම් ආදිය සඳහා සේපාලිකා කොළ යුෂ තල තෙල් සමඟ සිදුවා  ගෙන තබාගෙන ආලේප කරනු ලබනවා.
  • අජීර්ණ ඇතුළු උදරාබාධ සඳහා සුවය සලසයි. මේ සඳහා සේපාලිකා කොළ යුෂ ස්වල්පයක් මී පැණි සමඟ මිශ්‍රකර පානය සඳහා ලබාදෙනවා.
  • පණු රෝග සඳහා ඉතාම සුදුසුයි. කිරි පණු, වට පණු ආදී පණු රෝගවලදී මේ කොළ යුෂවලට සහිද ලුණු, මී පැණි එකතු කර පානයට ලබා දෙනවා.
  • උණ, පාචනය සහ ඔක්කාරය ආදී රෝග සුව කරයි.
  • ආමාශයේ අජීර්ණ, දැවිල්ල, උගුරට ඒම සුව කරයි. මේ තත්ත්වයන් සමනය සඳහා සේපාලිකා කොළ යුෂවලට සීනි ස්වල්පයක් මිශ්‍රකර පානය කරනු ලබනවා.
  • තුවාල සුවවීම ඉක්මන් කරයි. වියළි සේපාලිකා කොළ කුඩු ජලය සමඟ මිශ්‍රකර  උදේ සවස කැපුම් තුවාල මත ගැල්වීමෙන් ඉක්මනින් තුවාල සුවපත් වෙනවා.  
  • මී මැසි බඹර විෂ නසයි. 

සේපාලිකා ඇට භාවිතයෙන් ලැබිය හැකි සෞඛ්‍යයමය වාසි

  • පීඩාකාරී හිස්සොරි නැති කරයි. 
  • උකුණු වදයට කදිමයි. 
  • හිසකෙස් ගැලවී යාම වළකා නීරෝගී කෙස් කළඹක් සඳහා ගුණදායකයි. 

හිසකෙස් ආශ්‍රිත ගැටළු සඳහා සේපාලිකා ඇට ජලයෙන් අඹරා හිසේ ගැල්වීම සුදුසු අතර සේපාලිකා ඇට තම්බන ලද ජලයෙන් හිස සේදීමත් ඉතා හොඳ පිළියමක්.

  • අකලට හිසකෙස් සුදුවීම වළකයි. මේ සඳහා සේපාලිකා ඇට පොල්තෙල් සමඟ මිශ්‍රකර පේස්ට් එකක් මෙන් සාදා හිස් කබලේ ගල්වන්න.
  • සම නීරෝගී කරයි.  සේපාලිකා ඇට  තම්බන ලද ජලයෙන් ස්නානයෙන් සම නීරෝගී කර ගන්නටත් හැකියාව ලැබෙනවා.
  • අඹරාගත් සේපාලිකා ඇට දිනකට දෙවරක් අර්ශස් ගෙඩිවල ගැල්වීම සුදුසුයි. 

සේපාලිකා මුල් භාවිතයෙන් ලැබිය හැකි සෞඛ්‍යයමය වාසි

  • නාසයෙන් ලේ ගැලීම් සුව කරයි. සේපාලිකා මුල් කොටාගත් යුෂ නස්න කිරීමේ ඖෂධයක් ලෙස එහිදී භාවිතා කරනු ලබනවා.ඒ හැරුණාම සේපාලිකා කඳ කොටස් නාග දෂ්ට කිරීම්වල දී ප්‍රතිකාර සඳහා භාවිතා කෙරෙන බව සඳහන් වෙනවා. සේපාලිකා ගසේ පොතු හා මුලේ පොතු සෙම ඉවත් කිරීම ඇතුළු විවිධ රෝග සඳහා කෂාය සකස් කිරීමේදීත් බහුලවම භාවිතා කෙරෙනවා.

සැලකිලිමත් විය යුතු කරුණු වෛද්‍ය උපදේශයකින් තොරව  සේපාලිකා කොළ යුෂ තේ හැන්දකට වඩා පානය සුදුසු නොවෙයි.සේපාලිකා පානය රුධිරයේ සීනි මට්ටම අඩු කරන නිසා දියවැඩියාව සඳහා  ඖෂධ  ලබා ගන්නා පුද්ගලයන් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.කොළ සැපීම නොකරන්න.මේ ප්‍රතිකර්ම කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට අමතක නොකරන්න.