අර්ශස් ගෙඩි සමනය කරන වැල් පෙනෙල

health tips

පැරණි වෛද්‍ය ග්‍රන්ථ වල සඳහන් වන වැල්පෙනල යනු විශ්ව ආකර්ශනය දිනා ගත් ඖෂධීය වැල් විශේෂයකි. එනම් කඩතොලු හැඩැති සම්මුඛ පත්‍ර දරන මෙම වැල ආධාරකයක් මත හොඳින් වැඩේ. ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක දැකගත හැකි වැල්පෙනල අප්‍රිකාවේ බහුලව දැක ගත හැකිය. වැල්පෙනල ශාකයෙ මල් ඉතා කුඩා වන අතර ඵලය පිරවූ බැලුමක හැඩය ගනී. එහි පවතින බීජ ඵලය පුපුරා ගිය පසු ශාක ව්‍යාප්තිය සිදු කරනු ලබයි. 

එනම් ඈත අතීතයේ විසූ සෘෂිවරුන් සඳහන් කර ඇත්තේ වැල්පෙනල ශාකය විශ්ව ආකර්ශනය දිනාගත් ශාකයක් බවයි. ඊට හේතුව එය බොහෝ රෝග සුව කිරීමට ඖෂධයක් ලෙස භාවිතා කළ හැකි වීමයි. එමෙන්ම ජෝතිෂ්‍යය වේදීන් පවසන්නේ වැල්පෙනල ශාකය දැකීමෙන් හෝ ස්පර්ශ කිරීමෙන් සිකුරු ග්‍රහයාගේ අපල දුරුකර ගත හැකි බවයි. 

ඊට අමතරව බොහෝ දෙනෙකු වැල් පෙනෙන ශාකය ආහාරයට එකතුකර ගනී. එනම් මැල්ලුමක් ලෙස ,සම්බෝලයක් ලෙස, කොළ කැඳ පානයක් ලෙස බොහෝ ජනී ජනයා අතර ප්‍රචලිතය. එනම් එසේ වැල්පෙනල ආහාරයට ගැනීමෙන් එහි අඩංගු පෝෂ්‍ය පදාර්ථ ශරීරයට එක් කරගත හැකිය. එමෙන්ම එයින් බොහෝ රෝග තත්ත්වයන් සුව කරගත හැකිය. 

වැල්පෙනෙල ශාකයේ අඩංගු රසායනික සංයෝග. Saponin, Quebrachitol and an alkaloida glucoside, resins යන ආදී රසායනික සංයෝගයන් අඩංගු වන අතර ආයුර්වේදයේ නොයෙක් ඖෂධ වර්ග සකස් කිරීම සඳහා වැල් පෙනල වැලෙහි පංචාංගයම භාවිතයට ගනු ලැබේ. සතියකට දෙවතාවක් පමණ වැල් පෙනල කැද සකස් කර භාවිතා කිරීම මගින් බොහෝ රෝග සුව කර ගත හැකිය. ඊට අමතරව වැල් පෙනෙල සම්බෝලය ද ගුණදායකය. 

වැල් පෙනල සම්බෝලය 

  • සෝදා පිරිසිදු කර ගත්  වැල් පෙනල කොළ අවශ්‍ය පමණට 
  • අමුමිරිස්
  • ලූණූ
  • ගම්මිරිස්
  • දෙහි
  • ලුණු
  • පොල් ස්වල්පයක් 

පෙනෙල කොළ සිහින්ව ලියලා ගෙන ඊට සිහින්ව ලියලා ගත් අමුමිරිස්,ලූණූ, පොල්, ගම්මිරිස්,රස පදමට ලුණු සහ අවසානයේ දෙහි යුෂ ස්වල්පයක් එක්කොට හොදින් මිශ්‍ර කර ආහාරයට ගන්න. 

වැල්පෙනල සතු ඖෂධීය ගුණ 

  • මලබද්ධය සඳහා 
  • කාන්තා රෝග සඳහා 
  • අර්ශස් රෝගය සඳහා 
  • ආමවාත සන්ධි ප්‍රදාහයන් සඳහා 
  • සර්ප විෂට, මී විෂට නැසීම සඳහා 
  • ශුක්‍ර ධාතු වර්ධනය සඳහා 
  • හිසකෙස් වර්ධනය සඳහා 
  • පණු රෝග සඳහා 
  • උදර වේදනාව සඳහා 
  • මාන්දම සඳහා 
  • සම පැහැපත් කිරීම සඳහා 
  • චර්ම රෝග  සඳහා 
  • මුත්‍රා රෝග සඳහා 
  • පක්ෂගාත රෝග සඳහා 
  • රක්තාතීසාරය සඳහා 
  • ආදී රෝගයන්ට වැල්පෙනෙල ශාකය ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. 

වැල්පෙනෙල ශාකයේ ඖෂධීය භාවිතය 

සන්ධි ප්‍රදාහය සදහා ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. සන්ධි ප්‍රදාහය සඳහා ඖෂධයක් ලෙස වැල්පෙනෙල භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා  වැල්පෙනෙල ඇට හා කොළ පිරිසුදු පොල්තෙල් සමඟ සිඳුවා එම ස්ථානවල ආලේප කිරීම ගුණදායකය. 

සන්ධි ඉදිමුම්, වේදනා සුව කිරීම සඳහා ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. ආතරයිටීස්, ඔස්ටියෝ පොරෝසිස් වැනි සන්ධි ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන් නිසා ඇතිවන සන්ධි ඉදමුම්, වේදනා සමනය කිරීම සඳහා වැල්පෙනෙල එඬරු තෙල් සමග අඹරා ගෙඩිවල හා සන්ධි ඉදමී ඇති ස්ථානවල ආලේප කිරීමෙන් සුවය සලසා ගත හැකිය. 

අර්ශස් රෝගයට ඔසුවක් වේ. බොහෝ දෙනකු පීඩා විඳින අර්ශස් රෝගය සමනය කිරීම සඳහා ඖෂධයක් ලෙස වැල් පෙනෙල ශාකය භාවිතයට ගත හැකිය. වැල් පෙනල දලු, රතුලූනු, කොහිල දලු,යන සියල්ලෙන් සමව ගෙන කොටා ලබා ගත් යුෂ පානය කිරීම හෝ එම යුෂ වලින් කැද සකස් කර පානය කිරීම මගින් අර්ශස් රෝගය සුව කර ගත හැකිය. 

අර්ශස් ගෙඩි වේදනා ගෙනදෙන අර්ශස් ගෙඩි සමනය කිරීම සඳහා වැල්පෙනල ශාකය ම කොටා එඬරු තෙල් සමග මිශ්‍ර කර අර්ශස් ගෙඩිවල ආලේප කිරීම මගින් එම ගෙඩි සුවපත් කර ගත හැකිය. 

හිසකෙස් සම්බන්ධ රෝග සමනය කිරීම සඳහා. හිසකෙස් ගැලවීයාම, අකලට හිසකෙස් පැලීම, හිස්සොරි හිසකෙස් වර්ධනය නොවීම, වැනි හිසකෙස් සම්බන්ධ රෝග සමනය කිරීම සඳහා 

පෙනෙල කොළ මිටක් පමණ ගෙන රාත්‍රියේ වතුරේ දමා තබා එම දියෙන් ම අඹරා හිස ගල්වා පැයක් පමණ තබා ස්නානය කිරීමෙන් මෙම රෝග සුව කර ගත හැකිය. 

මී විෂ නැසීම සඳහා වැල්පෙනල , රතුලූනු, යුෂ සමග දෙහි ඇඹුල් මිශ්‍රකර පානය කිරීම හා එම ස්ථානවල ආලේප කිරීම මගින් මී විෂ ඉවත් කර ගත හැකිය. මේ ආදී වූ බොහෝ රෝග සමනය කර ගැනීමට වැල් පෙනෙල ආහාරයට ගැනීම මෙන්ම ඖෂධයක් ලෙස ද භාවිතා කළ හැකිය. කෙසේ නමුදු ඖෂධයක් ලෙස භාවිතා කරන්නේ නම් ඊට ප්‍රථමව වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන්න.