සති දෙකෙන් ගෑස්ට්‍රයිටීස් පාලනය කරන සව් කැඳ සතු ගුණ 10 ක්

health tips

සව් කියන්නේ අපේ ඇඟ සිසිල් කරන රසවත් පානයක්. ඕනෑම වෙළදසැලකින් පහසු මිලකට ලබා ගන්නටත් ඉතා පහසුවෙන් සකසා ගන්නටත් හැකි නිසා දිනපතාම නැතත් සතියකට දින කිහිපයක්  හෝ සව් කැඳ ටිකක් සාදා ගෙන පානය කරන්නට අපිට  බැරි  නැහැ නේ. නමුත් බොහෝදෙනෙක් මේ සව් ආහාරයට ගන්නට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් ඔබ නොදන්නා සව් සතු අපූරු ගුණ බොහොමයක් තියෙනවා. එමගින් අපේ දේහයට වටිනා ප්‍රතිලාභ බොහොමයක්ම ලබා දෙනවා. ඉතින් අපි අද කතා කරමු සව් ආහාරයට ගැනීම කොතරම් අපේ දේහයට වැදගත් ද කියලා.

සව් නිපදවෙන්නේ සැගෝ ෆාම් ලෙස හඳුන්වන ශාකයක කඳ උපයෝගී කරගෙන. ඉන්දුනීසියාව, මැලේසියාව , පැපුවා නිව්ගිනියාව සහ පිලිපීනය  ආදී රටවල  සව් බහුල වශයෙන්ම නිෂ්පාදනය වෙනවා. ඒ රටවල සව් ප්‍රධාන ආහාරයක් ලෙසටත් භාවිතයට ගන්නවා.

මේ සව්වල බහුලව අඩංගු වෙන්නේ පිෂ්ඨය. සව් ග්‍රෑම් 100 ක කාබෝහයිඩ්රේට්  ග්‍රෑම් 83 ට වඩා  වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. මෙහි ප්‍රෝටීන් සහ තන්තු අන්තර්ගත වෙන්නේ ග්‍රෑම් 1 ට වඩා අඩු ප්‍රමාණයක්. ප්‍රධාන වශයෙන් සින්ක් මූලද්‍රව්‍ය මෙහි අඩංගු වෙනවා. ඒ හැරුණාම අනෙකුත් ඛනිජ  සහ විටමින් අන්තර්ගත වෙන්නේ ඉතා සුළු ප්‍රමාණවලින්. නමුත් සව් තුළ ටැනීන් , ෆ්ලෙවනොයිඩ ආදී ප්‍රබල ප්‍රතිඔක්සිකාරක බොහොමයක්ම අඩංගු වෙනවා.කොහොමනමුත්  මෙය ශක්තිජනක ආහාරයක් ලෙසට සලකන්නට පුළුවන්.

සව්  කැඳ  ආහාරයට ගැනීමෙන් දේහයට ලැබෙන  සෞඛ්‍යමය ප්‍රතිලාභ 

  • ආහාර අජීර්ණ තත්ත්ව අවම කරනවා.සව්වල ඇමයිලෝස් සහ ඇමයිලෝපෙක්ටීන් කියන් කාබෝහයිඩ්රේට් දෙකේ සංයුතියක් අඩංගු වෙන නිසා  ආහාර නිසි ලෙස ජීර්ණය නොවීමෙන් ඇතිවන අජීර්ණ තත්වයන් ඇතිවීම අවම කරනවා. මොකද සව්වල ඇති මේ  කාබෝහයිඩ්රේට් ජීර්ණය සිදු වෙන්නේ ඉතා සෙමෙන්. නිතර සව් බීමට ගැනීමෙන් කාබෝහයිඩ්රේට් නිවැරදිව ජීර්ණයට ආමාශය හුරු කරනු ලබනවා. එවිට පිටි අධික කොත්තු වගේ ආහාර  ගැනීමෙන් ඇතිවන අජීර්ණ තත්ත්වයන් ඇතිවීම අවම වෙනවා.
  • කොලෙස්ටරෝල් පාලනය කරනවා.වැඩිහිටියන් අතර බහුලව දකින්නට ලැබෙන  කොලෙස්ටරෝල් අධික වීම පාලනයට සව් ඉතා හොඳ පානයක්. සව් මගින් කොලෙස්ටරෝල් දහනය කරවන හෝර්මෝන උත්තේජනය කිරීමත් එහි ඉහළ ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයක් අඩංගු වෙන නිසා එය රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාමත් පාලනය කරනවා.
  • මුක්ත ඛණ්ඩකවලින් දේහයට සිදුවන හානිය පිළිසකර කරනවා.මුක්ත ඛණ්ඩක කියන්නේ අපේ ශරීරයට ආහාර සමඟ දේහයට ඇතුල් වෙන ප්‍රතික්‍රීයක වර්ග. මේවා මගින් අපේ දේහයේ සෛල ඔක්සිකරණය කරලා  ඒවායේ අනවශ්‍ය වෙනස්කම් සිදු කරනවා. මේ කාර්ය යම්තාක් දුරකට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට පිළිසකර කළ හැකි වුණත් ගැඹුරු තෙලේ බදින ලද ආහාර,ට්රාන්ස් මේදය ඉහළ මස් වර්ග හා කෘතීම ආහාර වර්ග ආදී  මුක්ත ඛන්ඩක වැඩි ආහාර නිතර ගැනීමෙන් ශරීරයට ඒවා පිළිසකර කරන්නට නොහැකි වීමෙන් පිළිකා පවා හට ගන්නට ඉඩකඩ පවතිනවා. මේ සව්වල ප්‍රබල ප්‍රතිඔක්සිකාරක අඩංගු නිසා මුක්ත ඛණ්ඩකවලින් දේහයට සිදු වෙන හානිය  පිළිසකර කරන්නට දේහයට උදව් කරනවා.
  • සමේ නීරෝගී බව ආරක්ෂා කරනවා.මෙහි තයමීන්, ඇස්කොබික් අම්ලය, ඇතුළු විටමින් වර්ග, පොටෑසියම්, පොස්පරස් සින්ක් කැල්සියම් ආදී ඛනිජ වර්ග කැරොටින් ආදිය අන්තර්ගත වෙන නිසා ඒවා සමේ නීරෝගී බව ඉහළ නංවා ගන්නට  අවශ්‍ය වන හෝර්මෝන සහ  එන්සයිම මුදා හැරීම උත්තේජනය කරනවා. මෙහිදී සව් පානය කිරීම වගේම පිටතින් ආලේප කිරීමත් ඉතා සුදුසුයි. සම්පූර්ණයෙන් දියවන තුරු සකස් කරගත් සව් නිවුණු පසුව මුහුණේ ආලේප කර හොඳින් සම්බාහනයෙන් සමට ඉතා ඉක්මන් සත්කාරයක් සිදු කර ගන්නට පුළුවන්. එයින් සමේ ඇති අනවශ්‍ය තෙල් පවා ඉවත් කරනු ලබනවා.
  • ගර්භනී සමයේදී කළලය හොඳින් වර්ධනය කරන්නට දායක වෙනවා.ගර්භනී මවකට අවශ්‍ය ශක්තිය වගේම ගැබිණි සමයේදී මවට ඇතිවන වෙහෙස මහන්සිය කෑම අරුචිය  පවා දුරුකර ගන්නට මේ සව් උපකාරී වෙනවා. සව්වල අඩංගු වෙන B කාණ්ඩයේ විටමින් වර්ග සහ ෆෝලික් අම්ලය කුසේ වැඩෙන දරුවාගේ පෝෂණයටත් අතිශයින්ම වැදගත් වෙනවා. ඒ නිසා ගැබ් ගෙන මුල් මාස කිහිපයේදී සව් නිතර ආහාරයට ගැනීමෙන් දරුවාගේ අවයව වර්ධනය ගැටලුකාරී නොවී පවත්වා ගන්නට උදව් වෙනවා. 
  • ගෑස්ට්‍රයිටීස් පාලනය කරනවා.ජීර්ණය කරන්නට ප්‍රමාණවත් ආහාර නැතිවීමෙන් අම්ල සාන්ද්‍රණය ඉහළ යාමෙන් ඇතිවන ගෑස්ට්‍රයිටීස් කියන්නේ අද බොහෝදෙනෙක් විදවන රෝගයක්. ආහාරවලින් පරෙස්සම් වීමෙන් සුවතාවයට පත් කරගන්නට හැකි වුණත් කට පරෙස්සම් නැතිකම නිසාම බොහෝදෙනෙක් ජීවිත කාලය පුරාම විදවන රෝගයක්. නිතර සව් කැඳ ආහාරයට ගැනීමෙන් මේ රෝගය ඉතා හොඳින් පාලනය කර ගන්නට හැකියාව ලැබෙනවා.
  • දේහයේ ශක්තිය  වැඩි වේලාවක් රඳවා පවත්වා ගන්නවා.විශේෂයෙන්ම දිගු දුර දිවීම, බයිසිකල් පැදීම ආදී ක්‍රීඩා කටයුතුවලට පෙර භාවිතා කළ හැකි ශක්තිජනක ආහාරයක් ලෙසත් සව් වැදගත්  වෙනවා. 
  • මාංශ පේශී වර්ධනය කරනවා.
  • පුරුෂයන්ගේ ලිංගික ශක්තිය වර්ධනය කරනවා.
  • මහත් වෙන්නට උනන්දු වෙන අයට  කදිම ආහාරයක්.

කාබෝහයිඩ්රේට් බහුල සව්වල අනෙකුත් පෝෂක අඩු මට්ටමින් අන්තර්ගත වුණත් එය සකසා ගැනීමට ඒවාට එකතු කරගත හැකි අනෙක් දේවල් මගින් සව් කැඳවල පෝෂණිය බව වැඩි කර ගන්නට පුළුවන්. සව් කැඳ සකසා ගැනීමේදී එයට මුං ඇට, රට ඉදි වගේම වියළි මිදි,  කරදමුංගු වගේ වෙනත් පලතුරු වර්ගත් එකතු කරන්නට පුළුවන්. ඉතින් ඔබටත් නිතර සව් කැඳ පානය කලොත් ඔබේ දේහයට මහඟු වාසි බොහොමයක්ම ලබා ගන්නට හැකියාව ලැබෙනවා.