දවසට මිනිත්තු දෙකක් හිස් කබල සම්බාහනය කිරීමෙන් ලැබෙන වාසි 5ක්

health tips

නීරෝගීමත් ජීවිතයක් ගත කරන්නට අපි ආහාර, ව්‍යායාම, නින්ද ආදී කරුණු කාරණා ගැන පමණක් සැලකිලිමත් වීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නිරෝගී ජීවිතයක් ගත කරන්නට ඉතාම වැදගත් වෙන එක්තරා කාරණාවක් ගැන තමයි අද අපි ඔබත් එක්ක කතා කරන්නේ. ඒ තමයි සම්බාහනය.

ලාංකීය සමාජයේ සම්බාහනය පිළිබඳව විවිධ අදහස් මතුවෙලා තියෙන්නේ ඒ පිළිබඳව ජනතාව තුළ තියෙන අවබෝධයේ යම් යම් ගැටලු නිසා. නමුත් සම්බාහනය කියන්නේ දියවැඩියාව සහ කොලෙස්ටරෝල් ආදි රෝගයන්ගෙන් පෙළෙන අයගේ රෝග තත්ත්වය ඉතා හොඳින් සුවපත් කරගන්නට උදව්වෙන කටයුත්තක්. අපේ රටේ එතරම් ජනප්‍රිය නොවුණත් විදේශීය රටවල වඩාත් ජනප්‍රිය දෙයක් තමයි මේ සම්බාහනය. ආයුර්වේදයේ විවිධ රෝගාබාධ සුවපත් කරගන්නට මේ සම්බාහනය යොදා ගන්නා අවස්ථා තියෙනවා. ඉතින් අපි මේ කතා කරන්න සූදානම් වෙන්නේ හිස් කබල සම්බාහනය කිරීමෙන් අපේ ශරීරයට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව.

අද බොහෝ දෙනෙක් හිසකෙස් සම්බන්ධ ගැටළුවලින් පීඩාවට පත්වෙලා  ඉන්නවා නේ. මේ සඳහා ඔබ කොතරම් සත්කාර කළත් කොතරම් නිෂ්පාදන භාවිතා කළත්  නිසි ප්‍රතිඵල ලැබෙන්නේ නැතුව ඇති .හිසකෙස් සම්බන්ධ ගැටළු සඳහා වගේම ශරීරයටත් ඉතා හොඳ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් හොඳම සත්කාරයක් තමයි අද මේ කතා කරන සම්බාහනය. අපි බලමු හිස්කබල සම්බාහනය කිරීමෙන් මොනවද අපිට ලබාගන්නට හැකි ප්‍රතිලාභ කියලා.

ඈත අතීතයේ ඉඳලම උණුසුම් තෙල් වර්ගයක් හිස් කබලට ගල්වා හොඳින් සම්බාහනය කිරීම හිසකෙස්වල වර්ධනයට ඉතාම හොඳ බව ඔබ දන්නවා. ඉතින් අද වන විට ලෝකයේ බොහෝ දෙනෙක් මේ හිසකෙස් සම්බාහනයෙන් ප්‍රතිලාභ ලබමින් ඉන්නවා. රූපලාවණ්‍යාගාරයකදී හිස් කබල සම්බාහනය කර ගන්නට ලාංකීය කාන්තාවන්  බොහොමයක් දෙනා උනන්දු වෙන්නේ වාසි බොහොමයක් එයින් අපිට ලබා ගන්න පුළුවන් නිසා. 

 හිස් කබල සම්භාහනය කිරීමෙන් ලබාගත හැකි ප්‍රතිලාභ

හිසකෙස් නිරෝගී කරනවා.සතිපතා තෙල් වර්ගයක් හිසට එකතු කර හිස්කබල හොඳින් සම්භාහනය කිරීම මගින් හිස් කබලේ වියළි බව නැති වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි හිස් කබලේ මියගිය සමේ සෛල ඉවත් කරන්නත් එය උපකාරී වෙනවා.  වියළි  හිස්කබල හිසකෙස් ගැලවී යාම වේගවත් කරන්නට හේතු වෙනවා.

හිසකෙස් සම්බාහනයේ දී හිසකෙස් අගට සහ දිගට තෙල් ආලේප කරනවා වෙනුවට හිස් කබලට තෙල් ආලේප කිරීම තමයි ඉතාම සුදුසු. හිසට තෙල් ආලේප කිරීමෙන් පසු රවුම් චලිතයකින් ඇඟිලි තුඩුවලින් සෙමෙන් සම්භාහනය කිරීම කළ යුතුයි. විනාඩි පහලවක් විස්සක් පමණ කාලයක් සම්භාහනය කිරීම මගින් ඉතා හොඳ ප්‍රතිඵල ඔබට ලබාගන්න පුළුවන්.

 තෙල් හැරුණාම  ඇපල් සයිඩර් විනාකිරි භාවිතා කරන්නත් පුලුවන්.ඇපල් සයිඩර් විනාකිරි හිසකෙස් සම්බන්ධ ගැටළුවලට ඉතාම හොඳ විසඳුමක්. ඇපල් සයිඩර් විනාකිරි ප්‍රමාණයටම පිරිසුදු ජලය එකතු කර හොඳින් මිශ්‍රකර එය හිස් කබලේ ගල්වා හොඳින් සම්බාහනය කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. 

 එමගින් රුධිර සංසරණය හොඳින් උත්තේජනය කරන නිසා හිසකෙස් වර්ධනය වේගවත් කරනවා. හිසකෙස් තුනීවීම වළක්වා ගන්නත් අත්‍යවශ්‍ය පෝෂණය එමගින් ලබා දෙනවා. නමුත් ඔබ කිසිවිටෙක විනාකිරි පමණක් හිසකෙස් මත ආලේප කරන්නට එපා.

මානසික ආතතිය අඩු කරනවා.අද බොහෝ දෙනෙක් තමන්ගේ කාර්යබහුලත්වයත් එක්ක ආතතියට පත්වීම සුලබ කාරණයක්. මේ මානසික ආතතිය ශරීරයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට දැඩිව බලපානවා. එය විශේෂයෙන්ම ශරීරයේ හෝමෝනවලට බලපෑම් කරනවා. මේ මානසික ආතතියෙන් ක්ෂණිකව මිදෙන්නට ඔබේ දවස කොතරම් කාර්යබහුලව ගත කරත් මිනිත්තු කිහිපයක් හිස්කබල සම්බාහනය සඳහා යොදන්නට පුළුවන් නම් එයින් ඔබට සැහැල්ලුවක් සහ සුවයක් දැනෙනවා.මිනිත්තු කිහිපයක් හිස්කබල සම්බාහනය කිරීමෙන් ශරීරයේ රසායනික සහ ස්නායු සම්ප්‍රේෂකය වන සෙරටොනීන් නිෂ්පාදනය වැඩි වෙනවා. එය අපේ  මනෝභාවය නියාමනයට ඉතා වැදගත්.

 ඉතින් මේ සම්බාහනයේදී උරහිස් සහ බෙල්ල සම්පූර්ණයෙන් ලිහිල් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔබේ මානසික ආතතිය පීඩනය දුරු කරගන්නට මේ හිස්කබල සම්බාහනය ඔබට ඉතාම සැහැල්ලුවක් ගෙන දේවි නිසැකයෙන්ම.

හිස් කබලේ රුධිර  ප්‍රවාහය වැඩිදියුණු කරනවා.හිස් කබල සම්භාහනය කිරීම මගින් මුහුණට වගේම හිසට රුධිරය සංසරණය වීම වැඩි වෙනවා.  විශේෂයෙන්ම හිස්කෙස් මූලයන්ට ඉතා හොඳින්  රුධිරය ගමන් කිරීම නිසා වර්ධනය උත්තේජනය කරනවා. හිසකෙස් වර්ධනය කර ගන්නට උදව් වෙනවා. ඒ විතරක් නෙවෙයි නළල ආශ්‍රිත ප්‍රදේශය සම්බාහනය කිරීම මගින් ආතතිය නැති කර ගන්නත් පුළුවන්.

සුවදායි නින්දක් ලබා දෙනවා.බොහෝ අයට රාත්‍රී නින්දට යාම සම්බන්ධ ගැටලු පවතිනවා. විශේෂයෙන්ම නින්දට පෙර දුරකථනය භාවිතා කිරීම නිසා අපට නිදිමත ඇති කරන හෝමෝනවල වෙනස්වීම් ඇති වෙනවා. ඒ නිසා ඔබට හොඳ සුවදායි නින්දක් ලබා ලබා ගන්නට මේ සම්බාහනය උදව් වෙනවා. රාත්‍රී නින්දට යන්නට පෙර සියලුම උපකරණ ක්‍රියා විරහිත කර විදුලි පහන් නිවා දමන්න. ඉන්පසුව හිස් කබලට තෙල් ස්වල්පයක් ගල්වා හෝ නැතිව මෘදු ලෙස හිස්කබල හොඳින් සම්බාහනය කරන්න. මේ සම්බාහ නය විනාඩි පහළොවක් පමණ ඔබ සිදුකල යුතුයි. එවිට ඔබට  සැහැල්ලු සුවදායි නින්දක් ලබා ගන්නට හැකියාව ලැබෙනවා. 

  • ශරීරයේ විඩාව නැති කරනවා. 
  • ශරීරයෙහි ස්නායු උත්තේජනය කරනවා.

 ගතට වගේම හිතටත් ඉතාම හොඳ ප්‍රතිලාභ ලබාගන්නට හිස්කබල සම්බාහනය කිරීම මගින් අපිට හැකියාව ලැබෙනවා. එමගින් වඩාත් හොඳ ප්‍රතිපල ලබා ගන්නට නම් නිසි ලෙස මේ සම්බාහනය සිදු කර පැය  භාගයකට පමණ පසුව උණුසුම් වතුර වීදුරුවක් හෝ ඖෂධීය පානයක් ගන්නට පුළුවන්.

මෙයින් ශරීරය ක්‍රියාකාරීත්වය තවදුරටත් වර්ධනය කර ගන්නට පුළුවන්. ඉතින් සැබෑවටම සම්බාහනය කියන්නේ කායික වගේම මානසික රෝග බොහෝමයකට සුවයක් ලබා දෙන්නට හැකි ප්‍රතිකාර ක්‍රමයක්.ඒ පිළිබඳව ඔබ තුළ ඇති දැනුවත්භාවය පුළුල් කරගන්න. ඒ විතරක් නෙවෙයි අපි අද කතා කරේ හිස්කබල සම්බාහනය කිරීම පමණක් වුණත් අපේ ශරීරයේ නිරෝගී බව සඳහා පවතින නොයෙක් සම්බාහන ක්‍රම  පිළිබඳව  ඔබ දැනුවත් වීම අත්‍යවශ්‍යයි.