තුවාල කැලැල් දුරුකර ගැනීමට ස්වභාවික පිළියම් 8 ක්

health tips

අනතුරකට ලක්වීමෙන් පසු හෝ තුවාලයක් සුවවීමෙන් පසු සමේ කැලැල් ස්වභාවයක් ඉතිරිවෙනවා.මේවා ඇතිවන්නේ අනතුරට ලක්වූ සම ආශ්‍රිත කොලැජන් නිෂ්පාදනය වීම නිසයි.ආසාදන හා දුහුවිලි වලින් සම ආරක්ෂා විමට සලසන ස්වභාවික යාන්ත්‍රණයක් වුවත් දිගු කාලයක් පුරා මේ කැලැල් ඔබේ සමේ ඉතිරිව පැවතිය හැකියි.බොහෝ වෙලාවට අත් පා හා මුහුණේ කැලැල් තිබීම ඔබේ සමේ පෙනුම අවලස්සන කරයි.සමේ කැලැල් ඇතිවීම තුවාල වර්ග හා ඒවා සුවවීමට කොපමණ කාලයක් ගත වේද යන්න මත වෙනස්වෙයි.සමේ ඇතැම් කැලැල් කාලයත් සමඟ ඉබේම අතුරුදහන් වී යයි.නමුත් සමහර කැලැල් දුරුකරගැනීමට නම් ඔබට වෛද්‍ය සහය ලබාගත යුතුවෙනවා.නිවසේදීම ස්වභාවිකව සමේ කැලැල් සුවකරගැනීමට උපකාරී වන පිළියම් කිහිපයක් ගැන දැනගනිමු.මේ පිළියම් කැලැල් දුරුකිරීම විතරක් නොවේ සමේ නීරෝගිබව ද වැඩිකරයි.

ලෙමන් -ලෙමන් විටමින් C බහුල මූලාශ්‍රයක් නිසා සම ප්‍රකෘතිමත් වීමට සහය දෙයි.කැලැල් පටක වෙනුවට නව චර්ම සෛල වර්ධනය කරවයි.සම පැහැපත්කරවයි.ඒ හරහා කැලැල් වල අඳුරුබව අඩුකරයි.ප්‍රතිඔක්සිකාරක ඇති නිසා හානි වූ පටක සුවවීම වේගවත් කරයි.ලෙමන් යුෂ ස්වල්පයක් බඳුනකට දමා ඊට වතුර සුළු ප්‍රමාණයක් එක්කර තනුක කරගන්න.කැලැල් සහිත සම සෝදා පිරිසිදු කරගෙන තෙත මාත්තු කරගන්න.කපු පුළුන් වලින් මෙම යුෂ කැලැල් මත තවරන්න.මිනිත්තු කිහිපයක් තබා සාමාන්‍ය වතුරෙන් සෝදාහරින්න.සිට්‍රික් අම්ල සාන්ද්‍රිත නිසා වතුර මිශ්‍ර කිරීම අනිවාර්යයි.

නෙල්ලි-නෙල්ලි වල ද විටමින් C බහුලයි.ප්‍රතිඔක්සිකාරක මෙන්ම ඇස්කෝර්බික් අම්ල ද ඇති නිසා සම පෝෂණය කරයි.ප්‍රතිශක්ති උත්තේජක ගුණ ඇතිනිසා සමේ නීරෝගි බව වැඩිකරයි.තුවාල සුවවීම වේගවත් කර කැලැල් ඉතිරි නොවීම සලස්වයි.දින කිහිපයක් නෙල්ලි අව්වේ වේලාගන්න.වියළි නෙල්ලි අඹරා කුඩුකරගන්න හුලංනොවදින බඳුනක දමා තබන්න. මින් ස්වල්පයක් වතුර සමඟ මිශ්‍ර කර පිරිසිදුකරගත් කැලැල් සම මත ගල්වන්න.මිනිත්තු කිහිපයකට පසු සම සාමාන්‍ය වතුරෙන් සෝදාහරින්න.නෙල්ලි ආහාරයට ගැනිම ද ගුණදායකයි.

කෝමාරිකා-කෝමාරිකා චර්ම ගැටලු වලට හොඳ සත්කාරයකි.තුවාල සුවවීම,ප්‍රදාහය අඩුකිරීම හා කැලැල් ඇතිවීම වැළැක්වීමට ගුණ දෙයි.ප්‍රතිඔක්සිකාරක ඇති නිසා හානි වූ සම ප්‍රකෘතිමත් කරයි.කැලැල් වල විශාලත්වය අඩුකරවයි.ඒවායේ අඳුරුබව බොහෝදුරට දුරුකරවයි.කෝමාරිකා පත්‍රයක් ගෙන පොත්ත ඉවත්කර මදය සූරාගන්න.ඒවා බ්ලෙන්ඩ් කර හුලං නොවදින බඳුනක අසුරාතබන්න.ඉන් ස්වල්පයක් දිනකට දෙතුන් වරක් පමණ ඔබේ සම මත ගල්වන්න. සාමාන්‍ය වතුරෙන් සෝදාහරින්න.වෙළඳපොලේ ඇති කෝමාරිකා ජෙල් ද මීට සුදුසුයි.

ටී ට්‍රී තෙල්-ටී ට්‍රී තෙල් වල චිකිත්සක ගුණ බහුලයි.ප්‍රතිප්‍රදාහක හා බැක්ටිරියානාශක ගුණ ඇතිනිසා තුවාල හා කැලැල් වලට ගුණදායකයි.කැලැල් ආශ්‍රිත සම ආසාදනය වීම හෝ ඉදිමීම වලකයි.ඔක්සිකාරක හානිවලින් සම ආරක්ෂාකරයි.මෙම තෙල් වලින් ස්වල්පයක් පොල්තෙල් හෝ ඔලිව් තෙල් සමඟ තනුක කරන්න.පුළුන් කැබැල්ලකට ස්වල්පයක් ගෙන කැලැල් මත ආලේප කරන්න.රාත්‍රියේදී හෝ පසුදා උදෑසන සම සෝදා පිරිසිදු කරගන්න.

ලූනු-ලූනු වල අන්තර්ගත ප්‍රතිප්‍රදාහක ගුණ මඟින් සම ඉදිමුම අඩුකර කැලැල් ආශ්‍රිත සමේ කොලැජන් අධි වර්ධනයවීම පාලනය කරයි.මින් කැලැල් ස්වභාවය අඩුවීමට සහය ලබාදෙයි.පොතු ඉවත්කරගත් ලූනු ගෙඩියක් හොඳින් සෝදා කැබලිකරගෙන පේස්ට් එකක් ලෙස අඹරාගන්න. මේවා බඳුනක අසුරාතබාගන්න. යුෂ හෝ පේස්ට් වලින් ස්වල්පයක් කැලැල් මත ගල්වා මද වෙලාවක් තබා වතුරෙන් සෝදා ඉවත්කරගන්න.ගන්ධය සැර අධික බවක් දැනෙන්නේ නම් ඊට ලෙමන් හෝ දොඩම් යුෂ ස්වල්පයක් එක්කරගන්න.

කහ-කහ වල සමට හිතකර චිකිත්සක ගුණ බහුලයි.ප්‍රතිප්‍රදාහක හා ක්ෂුද්‍රජීවීනාශක සංඝටක බහුල නිසා චර්ම ගැටලු ඇතුළු බොහෝ රෝග තත්වයන් හි ලක්ෂණ සමනය කිරීමට ගුණ දේ.තුවාල මත ගැල්වීම ඒවායේ සුවවීම වේගවත් කරයි. හානිකර ආසාදන ඇතිවිම් වළකයි.සම මත කැලැල් හිටීම අඩුකරයි.කහ කුඩු ස්වල්පයක් වතුර සමඟ මිශ්‍ර කර පේස්ට් එකක් සාදාගන්න.කැලැල් සහිත සම සෝදා පිරිසිදු කරගත් පසු මෙය ආලේප කරගන්න. වියලෙන තුරු තබා සාමාන්‍ය වතුරෙන් සෝදාහරින්න.වතුර වෙනුවට එළකිරි එක්කරගැනීම තවත් ඵලදායිය.

පොල්තෙල්-සමට හිතකර තෙල් වර්ග අතරින් පොල් තෙල් වලට ලැබෙන්නේ ඉහළ ස්ථානයකි.සමට පෝෂණයක් මෙන්ම තෙතමනයක් සලසමින් චර්ම ගැටලු වලට පිළියම් කරයි.විටමින් E බහුල ය. ද්‍රාව්‍ය ලිපිඩ ප්‍රතිඔක්සිකාරක වන මේවා මඟින් සමේ කැලැල් ඉතිරිවීම බොහෝ දුරට අවම කරයි.පිලිස්සුම් සිට තුවාල දක්වා සම සුවපත් කරවන සත්කාරයකි.පොල්තෙල් බිංදු කිහිපයක් කැලැල් සහිත සම මත ආලේප කරන්න.නිතිපතා මෙය කිරීම සුදුසුයි.ස්නානය කිරීමෙන් පසු සමේ ගැල්වීම ද හිතකරයි.පිරිසිදු පොල් තෙල් භාවිතයට ගන්න.

ග්‍රීන් ටී-ග්‍රීන් ටී වල ප්‍රතිඔක්සිකාරක බහුලයි.මේවා මඟින් සමේ සෛල ප්‍රකෘතිමත් වීමට හා ප්‍රතිවර්ධනය වීමට දායකත්වය ලබාදෙමින් කැලැල් ස්වභාවය දුරුකරවයි.කැලැල් ආශ්‍රිත ඉදිමුම් අඩුකරයි.සමට තෙතමනයක් ලබාදෙමින් පෝෂණය කරයි.ග්‍රීන් ටී කෝප්පයක් සකසාගන්න.සිසිල් වීමට තබා පිරිසිදුකරගත් සම මත ආලේප කරන්න.ග්‍රීන් ටී ස්වභාවික ටෝනර් එකක් ලෙස මුහුණේ ගැල්විය හැකියි.සමේ සමාන පැහැයක් ඇතිකර කැලැල් පටක අඩුකරවයි.මීට අමතරව ‘කෙමිකල් පීලිං’ හා ‘ලේසර්’ වැනි ක්‍රම හරහා සමේ කැලැල් තත්වය අඩුකරගැනීමට හැකියි.මේ සඳහා චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සේවාව ලබාගත යුතුය.