තුනටිය ප්‍රදේශයේ ඇතිවෙන වේදනාකාරී සයටිකා රෝගය සුව කරන හෙළ ඔසු 3 ක්

health tips

අද අපි සෑම රෝගයක් සඳහාම බටහිර වෛද්‍ය  ප්‍රතිකාර ලබා ගත්තත් ලාංකීය අපිට මීට වසර ගණනාවක පටන් පැවත ගෙන අපේ මුතුන් මිත්තන්ගෙන් අපිට දායාද වුණු අපූරු වෙද හෙදකම් පවතිනවා. අද වෙද්දි ඒවා ක්‍රමයෙන් අපෙන් ඈත්ව ගියත් සෑම සුළු රෝගයක් සඳහා වගේම සෑම බරපතල රෝග සඳහා පවා  විවිධ වූ සාර්ථක ප්‍රතිකර්ම අපේ වෙදැදුරන් සතු වෙනවා. ආයුර්වේදයට අනුව කටී වාතය ලෙස හඳුනා  ගන්නා බටහිර වෛද්‍ය  ක්‍රමය තුළ සයිටිකා යනුවෙන් හඳුනා ගන්නා රෝග තත්ත්වය බහුතරයක් දෙනා පීඩා විදින රෝගයක්. වයස අවුරුදු 20 ඉක්මවූ ඕනෑම අයෙකුට තරුණ මහලු භේදයකින් තොරව මේ රෝගී තත්ත්වය ඇති වෙන්නට පුළුවන්.

මේ තත්ත්වය ඇති වෙන්නේ කොඳුඇට පෙළ ආශ්‍රිතව. විශේෂයෙන්ම ශරීරයේ පිහිටා තියෙන සයිටික් ස්නායුව තෙරපීමෙන් ඇදීමකට ලක්ව පීඩාවට පත්වීම හේතු කරගෙන මේ සයිටිකා යන තත්ත්වය ඇති වෙනවා.මේ රෝගය බොහෝදුරට ඇති වෙන්නේ එක් පැත්තකටයි. නමුත් කලාතුරකින් දෙපැත්තටම මේ රෝග තත්ත්වය ඇතිවූ අවස්ථා හමුවෙනවා. මේ සයිටික් වේදනාව එකවර ඇතිවෙන්නට පුළුවන්. ඒ වගේම මේ වේදනාව දිනක් හෝ දින කීපයක් හෝ සති කිහිපයක් පවතින්නට පුළුවන්.

 මේ රෝග තත්වය එකදිගට සිට ගෙන සිටීමෙන්, අධික බරක් එසවීමෙන්,කොඳු ඇට ඇදවීම හෝ දිරාපත් වීම, එකම ඉරියව්වෙන් වැඩි වේලාවක් සිටීම නිතර පයින් වැඩි දුරක් ගමන් කිරීම අධික ලෙස ව්‍යායාම්වල නිරත වීම, නිදි වැරීම, තදබල අර්ශස් රෝගය, සීතාධික හෝ උෂ්ණාධික ආහාර නිතර නිතර ගැනීම, සයිටික් ස්නායුව සමීපයේ ඇති මාංශ පේශීයේ ඇතිවන ගැස්ම හෝ ප්‍රදාහ තත්ත්වයන්, කොඳුඇට පෙළේ අස්ථි  හා කාටිලේජ කොටසේ ඇතිවන හානි තත්ත්වය, වයසත් සමඟ කාටිලේජ කොටස් දුර්වලවීම හෝ කාටිලේජ කොටස් අතර ඇති ජෙලි වැනි ද්‍රව්‍ය පිටතට පැමිණ සයිටික් ස්නායුව තෙරපීමට ලක්වීම ආදී විවිධ හේතු මත ඇති වෙන්නට පුළුවන්.

මේ රෝගයේ දී තුනටිය ප්‍රදේශයේ සිට කලවා පාදය දක්වා වේදනාව ගමන් කිරීම, මස්පිඩු පෙරලීම හෝ විදුලියක් ගමන් කිරීම ආදී වශයෙන් වේදනාව ඇතිවීම,  පාදය බිම තැබීම පාදය එසවීම ආදිය අපහසු වීම ආදී ලක්ශණ අත්විදින්නට  සිදු වෙනවා. සැබැවින්ම මේ රෝගය ඉතා වේදනාකාරී තත්ත්වයක්. එය සුව කරගන්නට හැකි අත් බෙහෙත් ඔබට කියන්නට සූදනම්  වෙන්නේ ඒ රෝගයේ ඇති අතිශය වේදනාකාරී ස්වභාවය නිසාමයි.

1.අවශ්‍ය  ද්‍රව්‍ය  

  • නික කොළ 
  • මී  පැණි හෝ එඩරු තෙල් 

සෝදා පිරිසිදු කරගත් නිකකොළ කැබලිවලට කපා වංගෙඩියකට දමා හොඳින් කොටා ගෙන එයින් යුෂ ලබා ගන්න. ඒ යුෂවලට  මී පැණි තේ හැන්දක් ප්‍රමාණයක් එකතු කර පානයට ලබා දෙන්න. පිරිසිදු මී පැණි ලබා ගන්නට හැකියාවක් නැත්නම් ඒ වෙනුවට එඩරු තෙල් තේ හැන්දක් එකතු කර පානය කරන්නට පුළුවන්.මේ පානය උදෑසන ආහාරයට පෙර සහ සවස 6 ට පානය කළ යුතුයි. නමුත් ක්ශණිකව තදබල ලෙස වේදනාවක් ඇත්නම් ඒ ඕනෑම වේලාවක මේ පානය ලබා ගන්නට හැකියාව තියෙනවා.

2. අවශ්‍ය  ද්‍රව්‍ය  

  • නික කොළ 
  • සේපාලිකා කොළ 
  • අත්තන කොළ 
  • වරා කොළ 
  • මුරුංගා කොළ 
  • එඩරු කොළ 
  • විනාකිරි 

මේ කොළ වර්ග සියල්ල එක සමාන ප්‍රමාණවලින් ගෙන  වංගෙඩියක දමා  හොඳින් කොටා ගන්න. පසුව මේ ද්‍රව්‍ය  සියල්ල විනාකිරෙන් අඹරා පොට්ටනි සකස් කරගෙන වණ්ඩුවේ තම්බා ගන්න.මෙසේ තම්බා ගත් පොට්ටනි භාවිතයෙන් වේදනාවට පත් ස්ථානය තවන්න. මේ තැවීම සිදු කිරීමට පෙර නාරායන ආදී තෙල් වර්ගයක් ආලේප කළ හැකිනම් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට හැකියාව ලැබෙනවා.

3. අවශ්‍ය  ද්‍රව්‍ය  

  • අඹ පොතු 
  • ලුණු 

අඹ පොතු ස්වල්පයක් ගෙන හොඳින් කොටා එහි යුෂ ලබා ගන්න. එසේ ලබාගත් යුෂවලට ලුණු  ස්වල්පයක්  දමා කකාරා  වේදනාව දෙන නාලයේ ආලේප කරන්න .එමගින් ඉතා ඉක්මනින් මේ වේදනාව අඩුකර ගන්නට හැකියාව තියෙනවා.

මේ සයිටිකා රෝග වාත රෝගයක් වන නිසාවෙන් කොස්,දෙල් ,  අල, බතල, වම්බටු, මෑ කරල්, මුං ඇට ආදී වාතය හට ගන්නට හේතුවෙන ආහාරවලින් වැළකීම මේ රෝගය ඉක්මනින් සුවපත් කර ගන්නට විශාල උපකාරයක් වෙනවා. ඒ වගේම ඇල් ජලය පානය වගේම ඇල් ජලය ස්නානය කිරීමත් සයිටිකා රෝගයෙන් පෙළෙන අයට අහිතකරයි. එකම ඉරියව්වෙන් වැඩි වේලාවක් නොසිට ඉරියව් මාරු කිරීම, රාත්‍රියට නිදා ගැනීමේදී උඩුබැලි අතට ඉදගන්නා විට දණහිසට යටින් කොට්ටයක් තබා ගැනීම, ඇලයට නිදා ගන්නේ නම් කකුල් දෙක අතරට කොට්ටයක් තබා ගැනීම සහ ක්‍රියාශීලී දිවි පෙවෙතක් ගත කිරීම මේ රෝගයෙන් මිදෙන්නට ඔබට ඉතාම වැදගත් වේවි.