එකදිගට සිටගෙන සිටීමෙන් ඇතිවන සයිටිකා රෝගය

health tips

ඔබටත් කොන්දේ සිට එන වේදනාව පාදය දිගේ විහිදීයාමක් ඇතිවෙලා ඇති. ඒ වගේම පාදයේ දුර්වල බවක් හෝ මස්පිඩු පෙරළීමක් වැනි වේදනා සහගත තත්ත්වයකට මුහුණ දීලා ඇති. මෙවැනි තත්ත්වයක් ඔබ  අත් නොවින්දත් ඔබේ පවුලේ වැඩිහිටි අයෙක් මේ තත්ත්වය නිසා පීඩා විදිනවා ඔබ දැක ඇති. නමුත් බොහෝදෙනා මේ තත්ත්වයේදී කුමක් හෝ තෙල් වර්ගයක් ආලේප කරනු විනා වැඩිදුර ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයෙකු හමුවෙන්නට උනන්දුවක් දක්වන්නේ නැහැ. බොහෝ අය මේ සම්බන්ධව අඩු සැලකිල්ලක් දැක්වුවත් මේ තත්ත්වය ස්නායු පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝගයක්. ඒ නිසා මේ රෝගී තත්ත්වය කුමක්ද යන්න බොහෝදෙනෙක් නොදන්නවා ඇති. ඉතින් අද අපි ඔබට කියන්නට යන්නේ මේ රෝග ලක්ෂණ ඇති කරන රෝගය පිළිබඳවයි. රෝගයක් ඇතිවෙන්නට පෙර එවැනි රෝග ගැන දැන සිටීම එයින් වැළකෙන්නට මහත් පිටිවහලක් නේ.ඒ නිසාවෙන් ඔබටත් මේ කාරණා බෙහෙවින්ම වැදගත් වනු ඇතැයි සිතනවා.

මේ රෝගය ගෘද්‍රසි හෙවත් සයිටිකා යන නමින් හඳුන්වන අතිශයින්ම වේදනාකාරී රෝගයක්. මේ තත්ත්වය ඇති වෙන්නේ කොඳුඇට පෙළ ආශ්‍රිතව. විශේෂයෙන්ම ශරීරයේ පිහිටා තියෙන සයිටික් ස්නායුව තෙරපීමෙන් ඇදීමකට ලක්ව පීඩාවට පත්වීම හේතු කරගෙන මේ සයිටිකා යන තත්ත්වය ඇති වෙනවා.මේ රෝගය බොහෝදුරට ඇති වෙන්නේ එක් පැත්තකටයි. නමුත් කලාතුරකින් දෙපැත්තටම මේ රෝග තත්ත්වය ඇතිවූ අවස්ථා හමුවෙනවා. මේ සයිටික් වේදනාව එකවර ඇතිවෙන්නට පුළුවන්. ඒ වගේම මේ වේදනාව දිනක් හෝ දින කීපයක් හෝ සති කිහිපයක් පවතින්නට පුළුවන්.

මේ රෝගය රෝගයක් ලෙස බොහෝදෙනා දැනුවත් නොවුණත් වැඩිහිටි ප්‍රජාව අතර වැඩිදෙනෙක් මේ රෝගයෙන් පීඩා විදිනවා. කාන්තා පුරුෂ භේදයකින් තොරව සෑම අයෙකුටම මේ රෝගය ඇතිවෙන්නට හැකි වුණත් කාන්තාවන්ට මේ තත්ත්වය ඇතිවීමේ වැඩි ඉඩකඩමක් පවතිනවා. මේ තත්ත්වය ගර්භණී සමයේදී ගර්භාෂය වර්ධනයේදී සයිටික් ස්නායුව වෙත පීඩනයක් ඇතිවීම හේතුකරගෙනත් ඇති වෙනවා.

සයිටිකා රෝගය ඇති වෙන්නට බලපාන හේතු 

  • සයිටික් ස්නායුව සමීපයේ ඇති මාංශ පේශීයේ ඇතිවන ගැස්ම හෝ ප්‍රදාහ තත්ත්වයන් 
  • කොඳුඇට පෙළේ අස්ථි  හා කාටිලේජ කොටසේ ඇතිවන හානි තත්ත්වය 
  • වයසත් සමඟ කාටිලේජ කොටස් දුර්වලවීම හෝ කාටිලේජ කොටස් අතර ඇති ජෙලි වැනි ද්‍රව්‍ය පිටතට පැමිණ සයිටික් ස්නායුව තෙරපීමට ලක්වීම
  • සුසුම්නාවේ හෝ සයිටිස් ස්නායුව මත ඇතිවන ගෙඩි මගින් ඇතිවන තෙරපීම 
  • වැරදි ඉරියව් 
  • වැඩි වේලාවක් සිටගෙන සිටීම 
  • ඉසිලිය නොහැකි තරමේ විශාල බරක් එසවීම 
  • කකුළ් පෙරළීම 
  • සීතල සුළං වැදීම 
  • කොඳු ඇට ඇදවීම 
  • කොඳු ඇට දිරායාම 
  • අනතුරු නිසා ඇතිවන තෙරපීම 
  • මල මුත්‍රා  අඩිස්සිය 
  • තදබල අර්ශස් රෝගය 
  • බාහිර ආඝාතය 
  • සීතාධික හෝ උෂ්ණාධික ආහාර නිතර නිතර ගැනීම 
  • පිටුපස සාක්කුවේ මුදල් පසුම්බිය  නිතර දැමීම නිසා ඇතිවන තෙරපීම 
  • එකම ඉරියව්වෙන් වැඩි වේලාවක් සිටීම 
  • නිතර පයින් වැඩි දුරක් ගමන් කිරීම 
  • අධික ලෙස ව්‍යායාම්වල නිරත වීම 
  • නිදි වැරීම 

සයිටිකා රෝගයේ රෝග ලක්ෂණ 

  • කොඳු නාරටිය අවසාන ප්‍රදේශයේ සිට තුනටිය, කලවා, පස්සේ පාදය දක්වා ගමන් කරන වේදනාව සහ හිරිවැටීම හා තදවීම 
  • පාදය දිගේ විදුලියක් යාම වැනි වේදනාවක් ඇතිවීම 
  • මස් පිඩු පෙරලීම වැනි වේදනාවක් හට ගැනීම 
  • පාදයේ පොපියන ස්වභාවය 
  • පාදයේ දුර්වල වීම 
  • පටක ඉරීම 
  • ඇවිදින විට, වාඩිවන විට, කැස්ස කිවිසුම් යන විට රෝගය තීව්‍ර  වීම 
  • පාදය බිම තැබීමට අපහසුවීම 
  • පාද ඉහළට එසවීම අපහසුවීම 
  • කාලයක් ගත වෙත්ම ඇවිදීම අපහසුවීම 
  • ඉදිකටුවලින් අනින්නා බදු වේදනාව 
  • දණහිස කලවා ආදියේ තදවීම හා පිම්බීම 
  • ආහාර අරුචිය 

නිවසේදී කළ හැකි ප්‍රතිකාර 

  • සම්බාහනය කරන්න. 
  • වේදනාව ඇති ස්ථානය උණු ජලයෙන් තවන්න.

මේ රෝගය සඳහා රාත්‍රියට නිදා ගන්නට පෙර උණු ජලයෙන් ස්නානය කළ හැකි නම් එය වඩාත් සුදුසුයි.

  • වේදනාව ඇති ස්ථානය අයිස් කැට මගින් තවන්න.මෙසේ අයිස්වලිඋන් තැවීම පැය 2 ට වරක් විනාඩි 20 ක් පමණ කළ යුතුයි. එයින් වේදනාව තරමක් දුරට අඩුකර ගන්නට පුළුවන්.
  • සුදුළූණු තම්බා ගත් ජලය දවස් 3 ක් පමණ පානය කරන්න. සුදු ළූණු ටිකත් ආහාරයට ගන්න.
  • නික කොළ, සේපාලිකා කොළ, වරා කොළ, අත්තන කොළ, මුරුංගා කොළ, එඩරු කොළ කොටා විනාකිරෙන් අඹරා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා තවන්න. තැවීමට පෙර නාරායන, වාත විදුරංග ආදි තෙල් වර්ගයක් ආලේප කරන්න.
  • ශාරීරික ව්‍යායාම්වල නිරත වන්න. විශේෂයෙන්ම ශරීරය ඇදීමේ ව්‍යායාම සයිටිකා සුවකර ගන්නට උපකාරී වෙනවා. නමුත් මේ ව්‍යායාම වෛද්‍ය උපදෙස් මත පමණක් සිදු කරන්නට වගබලා ගන්න.
  • ක්‍රියාශීලි දිවි පෙවෙතක් ගත කරන්න.
  • ඉඳගැනීමේ දී ඇවිදීමේදී බර ඉසිලීම වැනි අවස්ථාවලදී නිවැරදි ඉරියව් භාවිතා කරන්න.
  • එකම ඉරියව්වෙන් වැඩි වේලාවක් නොසිට ඉරියව් මාරු කරන්න.
  • රාත්‍රියට නිදා ගැනීමේදී උඩුබැලි අතට ඉදගන්නා විට දණහිසට යටින් කොට්ටයක් තබා ගන්න. ඇලයට නිදා ගන්නේ නම් කකුල් දෙක අතරට කොට්ටයක් තබා ගන්න.

සයිටික් තත්ත්වය ඇතිවිටෙක එය සමනය කරගන්නත් ඒ රෝගය ඇතිවීම වළක්වා ගන්නත් ආයුර්වේදයේ වගේම බටහිර වෛද්‍ය විද්‍යාව තුළත් ප්‍රතිකාර පවතිනවා. ඒ හැරුණාම රෝගියා විසින් තමන්ගේ ඉරියව් පිළිබඳව  වඩාත් සැලකිලිමත්වීමත් අතිශයින්ම වැදගත්.