දියවැඩියාව පාලනය කරන රණවරා සතු ඖෂධීය ගුණ
දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන්වන පාන වර්ග අතුරින් තවත් එක් ඖෂධීය පානයක් ලෙස රණවරා හැඳින්විය හැකිය. එනම් ශ්‍රී ලංකාවේ වියළි කලාපය තුළ වැඩි වශයෙන් දැක ගත හැකි රණවරා “පීත පුෂ්පා” යනුවෙන් දේශීය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වනු ලබයි. රණවරා ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි.
1.නියම රණවරා
2.අනියම් රණවරා
එනම් මෙම ප්‍රභේද අතර එකිනෙකට වෙනස්කම් කිහිපයක් පවතින අතර නියම රණවරා වල කන්පෙත්තක හැඩයෙන් යුත් කුඩා පත්‍ර දෙකක් පවතී. එමෙන්ම හටගනු ලබන මල්, කොළ ප්‍රමාණයෙන් කුඩාවේ.
අනියම් රණවරා වල කන්පෙත්තක හැඩයෙන් යුත් පත්‍ර නොපවතින අතර නියම රණවරා වලට සාපේක්ෂව මල්, කොළ විශාලවේ.
ආයුර්වේදය තුළ රෝග වලට ප්‍රතිකාර කිරීම සඳහා රණවරා කොළ, මල්, පොතු, ඇට යන පංචාංගයම යොදාගනී.
වයස් භේදයකින් තොරව රණවරා මල් ,ඇට, පොතු පානය බාල, මහලු සියලු දෙනාටම පාහේ භාවිතා කළ හැකි රසවත් පානයකි. ඊට අමතරව රණවරා කොළ මැල්ලුම සකස් කර ආහාරයට එක් කර ගත හැකිය.
රණවරා පානයේ ඖෂධීය භාවිතය

- දියවැඩියාවට
- මුත්‍රා රෝගවලට
- අක්ෂි රෝගයන්ට
- දියවැඩියාවට
- අතීසාරයට
- අර්ශස්වලට
- විසබීජ නාශනයට
- මලබද්ධයට
- ශුක්‍ර වර්ධනයට
- රුධිරය පිරිසුදු කිරීමට
- සම පැහැපත් කිරීමට
- ප්‍රජනන පද්ධතියේ රෝග සුවකිරීමට
- චර්ම රෝග වලට
- මුඛ රෝග වලට
- අතීසාරයට
- උදර වේදනාවට
- ඇදුමට මේ ආදී නොයෙක් රෝග සමනය කිරීමට රණවරා භාවිතා කිරීම ගුණදායකය.

දියවැඩියාව සමනය කරයි.වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙකුට පවතින නිදන්ගත රෝගයක් වන දියවැඩියාව සමනය කිරීම සඳහා රණවරා මල් පානය ගුණදායකය. නමුත් මෙවැනි රෝගීන් දියවැඩියාව සඳහා වෙනත් ඖෂධ භාවිතා කරන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.එමෙන්ම ඒ සමඟම එම රෝගය සමනය කිරීම සඳහා වෙනත් ඖෂධ භාවිතා කිරීමෙන් වැලකිය යුතුය. ඉන් අසාමාන්‍ය ලෙස සීනි මට්ටම පහත බැසිය හැකිය.
මුඛ රෝග සුව කරයි.මුඛය ආශ්‍රිත ඇති වන තුවාල, කට ගඳ ගැසීම, උගුරේ ආබාධ සමනය කිරීම සඳහා රණවරා කොළ තැම්බූ වතුරෙන් කට සේදීම ගුණදායකය. ඊට අමතරව මේ සඳහා රණවරා කොළ කිහිපයක් කටට දමා සැපීම මගින්ද සහනය සලසා ගත හැකිය.
ආහාර ජීර්ණය පහසු කරයි.බොහෝ දෙනෙකුට පවතින ආහාර ජීර්ණය නොවීමේ තත්වය සමනය කර ගැනීමට රණවරා යනු ගුණදායක ඖෂධයකි. එනම් රණවරා මල් පානයක්, කොළ මැල්ලුමක් හෝ කැඳ පානයක් ලෙස භාවිතා කිරීම මගින් ආහාර ජීර්ණය පහසු කිරීම මෙන්ම ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග සමනය කර ගත හැකිය.
ඔසප් වේදනාව සුව කරයි.ආර්තවය හේතුවෙන් බොහෝ කාන්තාවන් පීඩා විඳින අතර එම තත්ත්වය සමනය කිරීම සඳහා
භාවිතා කළ හැකි ගුණදායක පානයක් ලෙස රණවරා මල් පානය හැඳින්විය හැකිය. එනම් දිනපතා රණවරා පානය කිරීමෙන් මෙම සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගත හැකිය.
සම පැහැපත් කරයි.සම පැහැපත් කර ගැනීමට භාවිතා කළ හැකි තවත් ඖෂධීය පානයක් ලෙස රණවරා මල් පානය හැඳින්විය හැකිය. එනම් දිනපතා රණවරා මල් පානයක් ලෙස භාවිතා කරන්නේ නම් ඉන් සමේ ලප කැළැල් සමනය වී සම පැහැපත් කර ගත හැකිය.

මුත්‍රා රෝග සමනය කරයි.බොහෝ දෙනකු පීඩා විඳින රෝග තත්වයක් වන මුත්‍ර පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග එනම්
මුත්‍රා දැවිල්ල ,වරින්වර මුත්‍රා පිට කිරීමට සිදුවීම, මුත්‍රා පිට කිරීමේ අපහසුතාවන් ආදී මුත්‍රා රෝග වලට රණවරා මල් තම්බා පානය කිරීම සුදුසුවේ.
මලබද්ධය,අර්ශස් සමනය කරයි.වයස් භේදයකින් තොරව පවතින මල බද්ධය හෙවත් මලපිට කිරීමට අපහසුවීමේ තත්ත්වය සමනය කිරීම සඳහා රණවරා මල් තම්බා පානය කිරීම මෙන්ම රණවරා කොළ මලවා ආහාරයට ගැනීම සුදුසුවේ. එනම් එමගින් මලබද්ධය අර්ශස් සමනය කරගත හැකිය.
චර්ම රෝග සමනය කරයි.චර්ම රෝග සමනය කිරීම සඳහා එනම් දද, කුෂ්ඨ ආදී චර්ම රෝග සමනය කිරීමට ඖෂධීය ගුණ දෙන ඖෂධයක් ලෙස රණවරා හැඳින්විය හැකිය. රණවරා මල් පානය කිරීමට අමතරව
රණවරා කොළ කොටා ලබා ගත් යුෂ එම ස්ථානවල ආලේප කිරීම මගින් එම චර්ම රෝග සුව කර ගත හැකිය.
ශරීරයේ ඇති තැලුම්, උලුක්කු සුව කරයි.හදිසියේ ඇතිවන ශරීර තැලුම්, උලුක්කු සුව කිරීම සඳහා රණවරා ඈත අතීතයේ සිටම ඖෂධයක් ලෙස භාවිතා කර තිබේ. එනම් මේ සඳහා රණවරා කොළ, සියඹලා කොළ කොටා හෝ අඹරා එම ස්ථානවල ආලේප කිරීම හෙවත් පත්තු බැඳීම මගින් එම තත්ත්වයන් සුව කරගත හැකිය.