හිසකෙස් වැටීම වළකන සේපාලිකා

health tips

සුවදින් මුළු පරිසරයම මන් මත් කරවන අපුරු සුදු පැහැති මල් හටගන්නා රාත්‍රි කාලයේ මල් පිපෙන ශාකයක් ලෙස සේපාලිකා හදුනා ගත හැකිය. පුෂ්ප මංජරියක හටගන්නා  මල්වල නටුව තැඹිලි පැහැයක් ගන්නා අතර පෙති සුදු පැහැයක් ගනී. ඉතා සුවදවත් මලක් නිසා බුදුන් පිදීම සදහා ද බහුලව භාවිත කරනු ලැබේ. මීටර් දහයක් පමණ උසට වැඩෙන මෙම ශාකය බහුවාර්ෂික ශාකයක් වේ. Nyctanthaceae නම් ශාක කුලයට අයත් ශාකයක් ලෙස මෙය හදුනා ගත හැකි අතර අග්නිදිග ආසියාතික ප්‍රදේශයට ආවේණික ශාකයක් ලෙස මෙම ශාකය හදුනා ගත හැකිය. තායිලන්තය , නේපාලය , ඉන්දුනීසියාව , පාකිස්තානය යනාදී රටවලද මෙම ශාකය දක්නට ලැබේ. ගෙවතු අලංකරණ ශාකයක් වන මෙය බෝහෝමයක් රෝග සදහා ද භාවිත කරනු ලබන ඖෂධීය ශාකයක් වේ. 

සේපාලිකා ශාකයේ ඖෂධීය ගුණ සේපාලිකා ශාකයේ පොතු ක්ෂුද්‍ර ජීවී නාශක ගුණවලින් සමන්විතවේ. සේපාලිකා මල් සුවදවිලවුන් නිපදවීමට යොදා ගනු ලැබේ. සේපාලිකා මල්වල ඇති ප්‍රබල ප්‍රති ප්‍රදාහක සහ ප්‍රතිඔක්සිකාරක ගුණය පිත් නසන ,මූත්‍රා වර්ධක,දියවැඩියාව නසන ,නිර්වේදනික ගුණයන්ගෙන් සමන්විත වේ.සේපාලිකා කොළ ද බැක්ටීරියා දීලීර නාශක ගුණවලින් සමන්විතවේ. 

  • සේපාලිකා ශාකයේ කොළ ,පොතු ,ඇට, මල් ,කද , යනාදී කොටස් විවිධ රෝග සදහා ඖෂධ නිපදවීමට භාවිත කරනු ලැබේ.
  • බඩපපුව දැවිල්ල සදහා 
  • ඔක්කාරය සදහා 
  • බ්‍රොන්කයිටීස් සදහා 
  • ආතරයිටීස් සදහා 
  • කැස්ස සදහා 
  • පණු කැවිලි සදහා 
  • මලබද්ධය සදහා 
  • චර්ම රෝග සදහා 
  • වාත රෝග සදහා 
  • හිස්හොරි සදහා 
  • පිත් රෝග සදහා 
  • අර්ශස් සදහා 
  • කෘමි රෝග සදහා 
  • ආමවාතය සදහා 
  • ඇදුම සදහා 
  • මාංශපේශී දැඩිබව සදහා 
  • ක්ෂය රෝගය සදහා යනාදී රෝග තත්වයන් සදහා ප්‍රතිකාර කිරීමේදී මෙම ඖෂධීය ශාකය භාවිත කරනු ලැබේ. 

සේපාලිකා ශාකයේ ඖෂධීය භාවිතය 

හිසකෙස් වැටීම, හිස්සොරි සදහා සේපාලිකා ඇට ඇල්දියෙන් අඹරා හිස ගැල්වීමෙන් හිස්සොරි ,හිසකෙස් අකලට පැසීම, වැටීම ආදී රෝගී තත්වයන් සුවපත් කර ගත හැකිය. එමගින් හිසකෙස් මනාව වර්ධනය වීම ද සිදු වේ. එසේම හිසේ උකුණන්ගේ කරදරයෙන් මීදීමට ද මෙම ඖෂධය උපකාරී වේ. 

තුවාල සදහා සේපාලිකා කොළ කුඩුකර ජලය සමග මිශ්‍ර කර උදෑසන සහ සවස කැපුම් නිසා ඇතිවන තුවාල මත ආලේප කිරීමෙන් එම තුවාල සුවපත් කර ගත හැකිය. 

සෙම් රෝග සදහා ක්ෂය රෝගය ආදී රෝගී තත්වයන් සදහා සේපාලිකා ශාක මුලේ පොතු චූර්ණය මදටිය ඇට දෙකක ප්‍රමාණය බුලත් කොළ යුෂයෙන් පානය කිරීම මගින් ඝන වූ සෙම බුරුල් වී පිටවීමෙන් සහනයක් ලබා දෙනු ලබයි. 

කිවිසුම් යාම,උගුරේ අපහසුතා ,සෙම් ගෙඩි ,නාසය බර වීම යනාදී සෙම්ප්‍රතිශ්‍යාව ආශ්‍රිත රෝගී තත්වයන් සදහා ද ,ඇදුම ,බ්‍රොන්කයිටීස් ,කැස්ස වැනි රෝග තත්වයන් සදහා ද සේපාලිකා වියළි කොළ හෝ පොතුවලින් සෑදූ කුඩු බුලත් කොළ යුෂ සමග හොඳින් මිශ්‍ර කර ග්‍රෑම් දෙක තුනක මාත්‍රාවක් ගැනීම ඉතා ගුණදායක වේ. 

චර්ම රෝග සදහා චර්ම රෝග ඇති අවස්ථාවන්හි දී සේපාලිකා පොතු චූර්ණය දෙහි ඇඹුලින් අනා බාහිරව ආලේප කිරීමෙන් ගුණ ලැබේ.විවිධ හේතූ නිසා ( රූපලාවණ්‍යය කටයුතු හා විවිධ රෝග නිසා) සමේ ඇතිවන කුරුලෑ ,දද ,කුෂ්ඨ ,ඉදිමීම් ,රතුවීම්,දැවිල්ල ,කැසිල්ල යනාදි තත්වයන් සදහා සේපාලිකා කොළ අඹරා පේස්ට් එකක් ලෙස සකසා ආලේප කීරීම මගින් වඩාත් යහපත් ප්‍රථිඵල ලබා ගත හැකිය.

පණු කැවිලි තත්වයන්ට ද ඉතා ගුණදායක වේ.  බඩේ රෝග සදහා බඩේ රෝග සදහා සේපාලිකා කොළ යුෂ වලට සීනි ස්වල්පයක් මිශ්‍ර කර පානය කිරීම වඩාත් ගුණදායක වේ. 

සර්ප විෂ සදහා සර්ප විෂ සදහා සේපාලිකා පොතු චූර්ණය අරත්ත අල යුෂයෙන් යෙදීම ගුණදායක වේ. 

පණු රෝග සදහා කිරි පණුවන් සදහා සේපාලිකා කොළ යුෂ මී පැණි සහ ලුණු සමග බීමෙන් වට පණුවන් හා කිරි පණුවන් ඉවත් වේ. එසේම පණු රෝග සදහා සේපාලිකා කොළ තම්බා පානය කිරීම ද සිදු කරනු ලැබේ. 

අර්ශස් සදහා සේපාලිකා ඇට තලා ජලය සමග මිශ්‍ර කර අර්ශස් තුවාල මත ගැල්වීමෙන් ඒවා සුවපත් කරයි. 

ආතරයිටීස් සදහා ආතරයිටීස් රෝග තත්වය නිසා ඇතිවන සන්ධි ඉදිමුම් සදහා සේපාලිකා කොළ අඹරා පැලැස්තර යෙදීම හා කොළ යුෂ මිලි ලීටර් හැටක් පමණ පානය කිරීම සදහා ද ලබා දෙනු ලබයි. එමගින් මෙම රෝගී තත්වය නිසා ඇතිවන වේදනාවන් සමනය කර ගත හැකිය. 

කැස්ස සදහා සේපාලිකා කොළ හොඳින් කොටා ලබා ගන්නා යුෂ වලට මී පැණි මේස හැන්දක් පමණ මිශ්‍ර කර දිනකට තෙවරක් පානය කරන්න.එය කැස්ස සදහා ගුණදායක ඔසුවක් වේ. 

උණ සදහා සේපාලිකා නැවුම් කොළ කිහිපයක් අඹරා පේස්ට් එකක් ලෙස සකසා ගෙන මී පැණි තේ හැදි භාගයක් සමග ආහාරයට ගැනීමෙන් උණ සුවපත් කර සහනය සලසා ගත හැකිය. 

ප්‍රදාහයට නැවුම් සේපාලිකා කොළ යුෂ මිරිකා දිනකට තේ හැදි දෙකක් බැගින් පානය කිරීම ගුණදායක වේ. 

සයටිකා තත්වයට ධ්‍යම ප්‍රමාණයේ සේපාලිකා කොළ තුනක් පමණ ගෙන අඩු ගින්දරේ වතුර වීදුරුවක් දැමූ බදුනක දමා තම්බා පානය කරන්න. 

සේපාලිකා ස්වාභාවික ඖෂධයක් ලෙස රෝගී තත්වයන් සදහා අප භාවිත කීරීමේදී වෛද්‍ය උපදෙස් මත භාවිත කිරීම සිදු කළ යුතුය. ඊට හේතු වන්නේ , 

දියවැඩියා රෝගීන්ගේ සේපාලිකා රුධිරගත සීනි මට්ටම අඩු කීරීමට හේතූ වීම.

සේපාලිකා කොළ යුෂ පානය කිරීම නිසා ඇතැම් අයට වමනය, ඔක්කාරය ඇති වීම. යනාදී තත්වයන් ඇති වීමයි. 

එමෙන්ම සේපාලිකා කොළ සැපීම ද අප සිදු නොකළ යුතුය. 

මේ අනුව සුවදවත් මලින් මුළු පරිසරයම සුවදවත් කරන සේපාලිකා ශාකය මිනිසාගේ නොයෙක් ව්‍යාධීන් නසන ඖෂධීය ගුණ පිරි ඖෂධීය ශාකයක් ද වේ.