නිදිකුම්බා ශාකය භාවිතා කර සුව කරගත හැකි රෝග 11 ක්

health tips

චංගේරි කුලයට අයත් කුඩා පැළෑටි විශේෂයක් වන නිදිකුම්බා රත් පැහැති කඳකින් සමන්විත වන ශාකයකි. එනම් එහි සියුම් කටු සහ පත්‍ර පවතින අතර එහි ප්‍රභේද කිහිපයක් පවතී.ඒ අනුව

  • හීන් නිදිකුම්බා
  • මහ නිදිකුම්බා
  • බිං නිදිකුම්බා
  • ගස් නිදිකුම්බා

ආදී වශයෙන් එම ප්‍රභේද හඳුනාගත හැකිය. ඖෂධීය වටිනාකම අතින් ඉහළින්ම පවතින මෙම නිදිකුම්බා අලංකාර පුෂ්පයකින් සමන්විත වේ. එම පුෂ්ප රෝස පැහැයෙන්, කහ පැහැයෙන් මෙන්ම සුදු පැහැයෙන් ද දැකගත හැකිය.

නිදිකුම්බා ශාකය වැවෙන ප්‍රදේශ පිළිබඳ විමසා බැලීමේදී දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද ව්‍යාප්තිය හඳුනාගත හැකිය. ඒ අනුව විදේශීය වශයෙන් ඉන්දියාව, චීනය, බෙංගාලය ආදී ඝර්ම කලාපීය රටවල් වල හඳුනාගත හැකිය.

දේශීය වශයෙන් ගත් කල ශ්‍රී ලංකාවේ ඕනෑම දේශගුණික පාරිසරික මට්ටමක ඉතා පහසුවෙන් වැඩේ. ඒ අනුව අතහැර දැමූ ඉඩම් වල මෙන්ම මග දෙපස පවා ඉතා පහසුවෙන් මෙම පැළෑටිය හඳුනාගත හැකිය.

නිදිකුම්බා ශාකයේ ඖෂධීය ගුණ කර්ම කිහිපයකි. ඒ අනුව නිදිකුම්බා ශාකය රසයෙන් ගත් කල කටුක තිත්ත රසයෙන් යුක්ත වේ. ත්‍රිදෝෂයන්ගෙන් වාතය හා සෙම නසයි. එමෙන්ම ගුණය අතින් ලඝු රුක්ෂ වේ. තවද උෂ්ණ වීර්යයෙන් හා කටුක විපාකයෙන් ද නිදිකුම්බා සමන්විත වේ.

නිදිකුම්බා ශාකය හෙළ වෙදකමට මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ ද ඉතා බහුලව භාවිතා කරන ඔසුවකි. ඒ අනුව වේදනාවන් සමනයට, වාත සහ සෙම සහනයට, අතීසාරය රෝගයේ සුවයට, රුධිර වහනය වීම් නවතාලීමට, අර්ශස් රෝගය සුවයට, ග්‍රහණි රෝග සුවයට, ස්වේත සහ රක්ත ප්‍රදර රෝග සුවයට, සමේ රෝග සුවයට, අධි රුධිර පීඩන පාලනයට ආදී වශයෙන් ශරීරයේ ඇතිවන බොහෝ ලෙඩ රෝග සඳහා මෙම නිදිකුම්බා පැළෑටිය භාවිතා කරයි.

නිදිකුම්බා ශාකයේ ඖෂධීය භාවිතය

අතීසාරය සුව කරයි.පැරැණි ආයුර්වේද ග්‍රන්ථවල පවා අතීසාරයේ සුවයට නිදිකුම්බා ශාකය භාවිතා කරන බව දක්වා තිබේ. හීන් නිදිකුම්බා සම්පූර්ණ ශාකය, ඉරමුසු මල්, මලිත මල් සහ ලොත් පොතු ආදි ඔසු කලං එකහමාර බැගින් ගෙන එයට වතුර පත හතරක් එකතු කොට පත භාගයට සිඳ ගත යුතුය. එම කෂාය නිවා පෙරා ගත යුතු අතර ඊට මී පැණි එක්කර දිනකට වාර 4 බැගින් සති කිහිපයක් පානය කිරීම මගින් ළදරු අතීසාරය මෙන්ම වැඩිහිටියන්ට වැළඳෙන අතීසාරය ද සුවකර ගත හැකිය.

කැඩුම් බිඳුම් සඳහා යෝග්‍ය වෙයි.කැඩුම් බිදුම් තුවාල වලට වඩාත් යෝග්‍ය වන්නේ නිදිකුම්බා වේ. මේ සඳහා නිදිකුම්බා ඇට අඹරා කැඩුම් බිදුම් පවතින ස්ථානයේ ආලේප කිරීම සුවයට හේතු වේ.

ගොනෝරියාවට යෝග්‍යවේ.මේ සඳහා හීන් නිදිකුම්බා ශාකයේ මුල් හොඳින් පිරිසුදු කර ජලය යොදා තම්බා ගත යුතු අතර එම කසාය මෙම රෝගයේ සුවයට හේතු වේ.

ගෙඩි පුපුරවා හැරීම සඳහා සුදුසු වේ.ලේ පිරී ඇති ගෙඩි හෝ සැරව පිරී ඇති ගෙඩි පුපුරවා ඒවා පිරිසිදු කර ගැනීම සඳහා නිදිකුම්බා යෝග්‍ය වෙයි. ඒ සඳහා නිදිකුම්බා ශාකයේ බීජ චූර්ණය බටර් සමග එක් කොට එම ගෙඩිවල ආලේප කළ යුතුය. එවිට පහසුවෙන් එම ගෙඩි පිපිරී අපද්‍රව්‍ය ඉවත් වන අතර වඩාත් පිරිසුදු කර ගැනීම සඳහා නිදිකුම්බා තැම්බූ ජලයෙන් සෝදා හැරීම වඩාත් යෝග්‍ය වේ.

හොඳින් මුත්‍රා පිට කිරීමට සහාය වේ.මුත්‍රා අඩස්සිය සහ මුත්‍රා දැවිල්ල පවතින විට හොඳින් මුත්‍රා පිට කිරීමට අපහසුවේ. මෙම අපහසුතා දුරු කරමින් හොඳින් මුත්‍රා පිට කිරීමේ පහසුව සලසා ගැනීම සඳහා නිදිකුම්බා කොළ ස්වරසය ඇල් ජලයට මිශ්‍රකර පෙරා පානය කිරීම වඩාත් යෝග්‍ය වේ.

පීනස් රෝගය සුව කරයි.මේ සඳහා නිදිකුම්බා ශාකය කැපූ විට ගලන ශ්‍රාවය නස්න කිරීම වඩාත් සුදුසු වේ.

කස රෝගයට යෝග්‍ය වේ.කස රෝගයෙන් පීඩා විඳින පුද්ගලයින් බොහෝ ස්ථානවල දී  දැඩි අපහසුතාවයට පත් වේ. ඒ අනුව එම රෝගය සුවකර ගැනීම සඳහා නිදිකුම්බා දායක කරගත හැකිය. නිදිකුම්බා ශාකයේ යුෂ වලට තිප්පිලි කුඩු මිශ්‍රකර පානය කිරිම  වඩාත් යෝග්‍ය වේ.

සමේ රෝග සුව කරයි.සමේ රෝග සුවතාවය සදහා වඩාත් යෝග්‍ය ඔසුවක් ලෙස නිදිකුම්බා හදුනාගත හැකි ය. ඒ අනුව මෙම සම්පූර්ණ පැලෑටියම හෝ මුල් තම්බා එම ජලයෙන් සමේ ආසාදන තත්ත්වයන් පවතින ස්ථාන සේදීම වඩාත් යෝග්‍ය වේ.

අධි රුධිර පීඩනය පාලනය කරයි.මේ සදහා නිදිකුම්බා කසාය වඩාත් සුදුසු වන අතර සම්පුර්ණ නිදිකුම්බා ශාකය සෝදා වියලාගෙන එය තම්බා කසාය කර පානය කිරීම මගින් අධි රුධිර පීඩනය පාලනය කරගත හැකි ය.

සර්ප විෂ නසයි.විශේෂයෙන් පොළොං විසට නිදිකුම්බා මුල් අඹරා හාල් පාණු ජලයෙන් පෙවීම මගින් පොලොන් විස නසා ගත හැකිය. මීට අමතරව සර්පයින්ව ඇල්ලීමේදී ද  නිදිකුම්බා මුලක් අතට ගෙන හෝ නිදිකුම්බා මුල් අඹරා අත්ලේ තවරා ගැනීම වඩාත් යෝග්‍ය වේ.

අවි ආයුධවලින් ඇතිවන කැපුම් තුවාල සුව කරයි.මේ සඳහා අමු නිදිකුම්බා ශාක කොටා වෙන් කරගන්නා යුෂවලින් සිඳ ගනු ලබන තෙල් ආලේප කිරීම ඉක්මන් සුවයක් ලබා ගත හැකිය.

මේ අනුව පැහැදිලි වන්නේ නිදිකුම්බා යනු ඖෂධිය වටිනාකම අතින් ඉතා ඉහළ පැලෑටි විශේෂයක් බවයි. නමුත් නොයෙක් රෝග සමනය කිරීම සඳහා අත් බෙහෙත් භාවිතා කරන්නේ නම් ඊට ප්‍රථමව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුවේ.