දියවැඩියාව හැදිලනම් සම ආශ්‍රිතව ඇතිවෙන වෙනස්මකම් 12 ක්

health tips

වර්තමානයේ දියවැඩියාව රෝගයට ගොදුරු වන පුද්ගලයින්ගේ ගණන ශීඝ්‍රයෙන් ඉහළ යන බව පෙනෙන්නට තිබෙනවා.දියවැඩියාව කියා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ තිබිය යුතු සාමාන්‍ය මට්ටමට වඩා අධිකව රුධිර ග්ලූකෝස් (සීනි) මට්ටම ඉහළ ගොස් පවතින තත්වයකි.මෙය හයිපර්ග්ලයිසීමියා (hyperglycemia) තත්වය ලෙස ද හඳුන්වයි.බොහෝ පුද්ගලයින් තමන් දියවැඩියාවෙන් පෙළෙන බව නොදැනුවත්. දියවැඩියා රෝගයේදී රෝග ලක්ෂණ විවිධාකාරයෙන් සිරුරේ පෙන්නුම් කිරීමට පටන්ගනියි.

 උදාහරණයක් ලෙස සිරුර තුළ දියවැඩියා රෝග අවදානමක් පවතින බව පෙන්නුම් කරන ලක්ෂණ ඔබේ සම තුළ ද වර්ධනය විය හැකියි. සිරුරේ රුධිර සීනි මට්ටම් ඉහළ බව පෙන්නුම් කරන සම ආශ්‍රිතව දැකිය හැකි දියවැඩියා රෝගයේ අවදානම් සංඥා කිහිපයක් ගැනයි අද ඔබව දැනුවත්කරන්නේ. මෙවැනි ලක්ෂණ ඔබ තුළ ද දැකිය හැකි නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවී ඔබේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කරගැනීමට සැලකිලිමත්වන්න!

  1. විවිධ පැහැයන් වල පැල්ලම් (patches) සමේ විවිධ වර්ණ වල පැල්ලම් ඇතිවීම සාමාන්‍ය තත්වයක් නොවෙයි.සම සම කහ, රතු හෝ දුඹුරු පැල්ලම් මතුවී තිබේ ද? ,එය බොහෝ දුරට දියවැඩියාවේ ලක්ෂණයක් විය හැකියි.මෙවැනි පැල්ලම් ඇතිවන්නේ necrobiosis lipoitica නම් දියවැඩියා රෝගින් තුළ බහුලව හඳුනාගන්නා තත්වය නිසයි.මේවා මුලින්ම කුඩා කුරුලෑ බිබිලක් ලෙස වර්ධනය වී කාලයත් සමඟ සමේ ඝන කැලැලක් ලෙස ඉතිරි වී ඉදිමුණු ස්වභාවයක් ගනියි.මෙම පැල්ලම් අවට සම ආශ්‍රිත දිලිසෙන බවක් දැකිය හැකිවෙයි.ඇතැම් විට ලේ නහර පවා ඉලිප්පී කැසිල්ල ඇතිවිය හැකියි.කැසීමෙන් මෙම පැල්ලම් තවත් නරක අතර හැරිය හැකියි.
  1. සම දැඩි (ඝනකම්) වීම අත සහ ඇඟිලි ආශ්‍රිත සම ඝනකම් වීම Digital sclerosis නම් පටක දෘඩවීමේ තත්වයයි.අතේ සම ඉටි පෙනුමක් සහ තද ස්වභාවයක් ගනියි.කාලයත් සමඟ ඇඟිලි සෙලවිමටවත් නොහැකි ලෙස දරදඬු වී යයි.ප්‍රතිකාර නොගැනීමෙන් මෙය වඩාත් බරපතල විය හැකියි.මේ තත්වය ඉහළ බාහු,බෙල්ල, උරහ්ස් සහ පිට වැනි සිරුරේ වෙනත් කොටස් දක්වා ද පැතිරිය හැකියි.දණහිස්,වළලුකර  ආශ්‍රිත සම ඝනකම් වීම දුර්ලභය. කෙසේවෙතත් දියවැඩියා තත්වයට නිසි ප්‍රතිකාර නොගැනීමෙන් එම ප්‍රදේශ ආශ්‍රිතව ද මෙම ගැටලුව වර්ධනය වීමේ අවදානම තිබෙයි. සම ඝනකම් වීම නිසා සම මතුපිට දොඩම් පොත්තක ස්වභාවය ගැනීමට පටන්ගනියි.
  1. දිය බිබිලි (blisters) දිය බිබිලි මතුවීම තවත් ලක්ෂණයකි. විශාල බිබිලක් හෝ බිබිලි පොකුරක් එක්වර මතුවිය හැකියි.අත් සහ කකුල් වල මේවා බොහෝවිට මතුවෙයි.මේවා මතුවීම දුර්ලභ වුවත් එසේ මතුවන බිබිලි එකිනෙකට බොහෝ වෙනස්වෙයි.ආසාත්මිකතා හෝ දිලීර ආසාදන නිසා සමේ  මතුවන සැරව බිබිලි තුවාල සමඟ මෙම තත්වය පටලවා නොගත යුතුයි. දියවැඩියාව නිසා ඇතිවන මෙම දිය බිබිලි බොහෝවිට වේදනාවෙන් තොර වන අතර සමේ කැලැල් ඇති නොකරයි.
  1. තද පැල්ලම් වෙල්වට් මෙන් ස්පර්ෂය මෘදු තද පැහැති පැල්ලම් (සම කලුවීම්) කිහිලි, බෙල්ල හෝ ඉකිළි ආශ්‍රිතව දක්නට ලැබේ නම් එය නොසලකා හරින්න එපා.මෙවැනි මෘදු අඳුරු පැල්ලම් මඟින් පෙන්නුම් කරන්නේ ඔබේ රුධිරය තුළ ඉන්සියුලින් අධිකබව විය හැකියි.සමේ මෙලෙස කලු වූ ප්‍රදේශ වල කැසිල්ල ඇතිවිය හැකියි. නමුත් ඒවා කැසීමෙන් වැළකී සිටීම වැදගත්.ඇතැම් විට යම් දුගඳක් ද ඒවා ආශ්‍රිතව හැමිය හැකියි. බෙල්ල අවට කලු වීම දියාවැඩියාවේ මූලික රෝග ලක්ෂණ මතුකිරීමක් විය හැකියි.
  1. සමේ ආසාදන හටගැනීම දියවැඩියාව සමේ ආසාදන ඇතිවීමේ අවදානම වැඩිවීමට හේතුවෙයි.ස්පර්ෂ කිරීමේදි පවා වේදනාකාරී බවක් දැනෙන රත්වූ ඉදිමුණු සම ප්‍රධාන ලක්ෂණයකි.සමේ කසනසුලු කුෂ්ඨ හෝ කුඩා තුවාල බිබිලි, කොරල පිපුණු වියළි සම ද අනෙකුත් රෝග ලක්ෂණ අතර වේ.ආසාදිත සමෙන් සැරව ගැලීමට ඉඩ තිබෙයි.නියපොතු වටා හෝ කකුලේ ඇඟිලි අතර බොහෝ විට මෙම ආසාදන මතුවිය හැකියි. හිස්කබලේ ද ආසාදන තත්වයන් වර්ධනය වීමට ඉඩ තිබෙයි.සමේ ආසාදන වේගයෙන් පැතිරෙයි. එම නිසා නොපමාව ප්‍රතිකාර ලබාගන්න.
  1. විවෘත තුවාල හෝ වණ දියවැඩියාව නිසා සිරුරේ හටගන්නා තුවාල සුවවීමට බොහෝ කල් ගත විය හැකියි.රුධිරයේ සීනි අධික වීම නිසා රුධිර සංසරණයට යම් යම් බාධා ඇතිවීම හේතුවයි.දියවැඩියාව නිසා ස්නායු වලට ද හානිවීම් ඇතිවිය හැකියි.දිගු කලක් තිස්සේ දියවැඩියාවට ප්‍රතිකාර නොගෙන සිටීමෙන් මෙම හානිදායක තත්වය හටගත හැකියි.දියවැඩියාවට ප්‍රතිකාර නොගෙන සිටීමෙන් කකුල් ආශ්‍රිතව වණ පවා වර්ධනය විය හැකියි. මෙය ඉතා අවදානම්ය. බරපතල තත්වයන් වලදී කකුලේ කොටස් කපා ඉවත් කිරීමට වුව සිදුවිය හැකියි. එම නිසා කකුල් ආශ්‍රිතව ඉදිමුණු සහ රතුවුණු තුවාල ඇතිවී ඇත්දැයි මෙන්ම ඒවා සුවවීමට බොහෝ කල් ගත වේදැයි සැලකිලිමත්වන්න.
  1. දණහිසට පහළ සම ආශ්‍රිතව ලප මතුවීම මේවා shin spots ලෙස හඳුන්වයි.ලප හෝ ඇතැම් විට ඉරි ස්වභාවයක් මෙන් මේවා මතුවිය හැකියි.දිගු කලක් තිස්සේ දියවැඩියාවෙන් පෙළෙන්නන් තුළ මේ තත්වය බහුලව හඳුනාගත හැකියි.මෙම තත්වය diabetic dermopathy නම් වේ.මෙම ලප බොහෝ විට දුඹුරු  පැහැයක් ගනියි.කාලයත් සමඟ මේවායේ පැහැය අඩු වී යයි.
  1. රතු පැහැයට හුරු කහ බිබිලි මෙවැනි බිබිලි සමේ මතුවී ඇත්නම් ඔබේ දියවැඩියා තත්වය පරික්ෂා කරගන්න.මෙම බිබිලි වැඩිවීමට දියවැඩියාව ප්‍රධාන හේතුවකි. මේවා පොකුරු ලෙස මතුවෙයි. කුරුලෑ වලට සමාන වුවත් මෙම බිබිලි ඒවාට වඩා වෙනස්ය. ඊට හේතුව කාලයත් සමඟ මෙම බිබිලි කහ වීමයි.තට්ටම් හෝ දණහිස් පි‍ටුපස සමේ මේවා බහුලව හටගනියි.ඇතැම් විට කලවා හෝ වැළමිට ආශ්‍රිතව පවා මතුකරයි.මේවා කැසීමෙන් වළකින්න. ඉන් අධික වේදනාවක් ඇතිවිය හැකියි.
  1. සමේ පැහැයෙන් යුක්ත නෙරීම් (bumps) මෙම නෙරීම් සමටම මුහු වි ඇති බවක් දැකිය හැකි අතර කාලයක් යන විට රතුවීමට පටන්ගනියි.මෙය granuloma සහ alari තත්වයයි.මින් ඔබට දියවැඩියාව ඇතිබව තහවුරු කෙරෙන්නේ නැහැ. නමුත් දියවැඩියා අවදානමක් ඇත්දැකි පරික්ෂා කරගැනීමට මින් සංඥා කරයි.සමේ විශාල ප්‍රදේශයක මේවා පැතිරෙන බව නිරික්ෂණය කළ හැකියි.
  1. අධිකව වියළී ගිය කසන සුලු සම දියවැඩියා රෝගීන්ගේ සම බොහෝ විට අධික වියළි ස්වභාවයක් ගනියි.සම මෙසේ රළු වන්නේ රුධිරයේ අධික සීනි  මට්ටමක් ඇතිනිසයි.මේ තත්වය රුධිර සංසරණයට බාධා ඇතිකරන නිසා සම බොහෝ පීඩාවට ලක්වෙයි.දියවැඩියා තත්වය නිසි ලෙස පාලනය  කරගැනීමෙන් මෙම ගැටලුවට ප්‍රතිකාර කළ හැකියි.නිකම්ම ක්‍රීම් ආලේප කිරීමට වඩා නිසි ප්‍රතිකාර වෙත යොමුවීම වඩාත් සුදුසුයි.
  1. ඇහිපිය උඩ කහ පැහැයට හුරු කොරල පැල්ලම් මතුවීම ඇහිපිය මතුපිට හෝ ඒ අවට පීඩාකාරී පැල්ලම් ඇතිවීම නොසලකා හරින්න එපා.මේවා කහ පැහැයක් ගනියි නම් විශේෂයෙන් ඒ ගැන සැලකිලිමත්වන්න.මෙය xanthelasma නම් තත්වය විය හැකියි.දියවැඩියාවෙන් පෙළෙන අය මෙම තත්වයට ගොදුරුවීමේ අවදානම වැඩියි.මෙය දියවැඩියා තත්වය හොඳින් පාලනය නොවන බව පෙන්නුම් කරන සංඥාවක් බැව්න් ඔබේ රුධිරයේ සීනි මට්ටම් පරික්ෂා කරගැනීමට සැලකිලිමත්වන්න.
  1. ගැටිති (skin tags) සමේ ඇතිවන ගැටිති හානිකර තත්වයක් නම් නොවෙයි. සමේ පටක අධි වර්ධනය වීමෙන් මෙවැනි ගැටිති සෑදෙයි. සම නැමී ඇති ස්ථාන, බෙල්ල, කිහිලි ආශ්‍රිතව මේවා හටගනියි.මේවා පිළිකාකාරක නොවෙයි.මේවා බහුලව වර්ධනය වීම සිරුරේ ඉන්සියුලින් ප්‍රතිරෝධය නිසා හටගන්නට හැකි බව ඇතැම් අධ්‍යයන මඟින් පෙන්වාදෙයි.සමේ අපහසුතා ඇතිකරනවා නම් පමණක් හැර මේවාට විශේෂ ප්‍රතිකාර අවශ්‍ය නැත.මේවා එන්න එන්නම විශාල වන බවක් දැකිය හැකි නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවි ප්‍රතිකාර ගන්න. මේවා සමෙන් ගලවා ඉවත්කරන ප්‍රතිකාර ක්‍රම ද ඇත.