ඔබ දැන්ම වෛද්‍යවරයෙක් හමුවිය යුතු බව පෙන්නුම් කරන සිරුරේ වෙනස්කම් 11 ක්

health tips

ඔබේ සිරුරේ ක්‍රියාකාරීත්වයන් නිසි පරිදි සිදුනොවන විට විවිධ සංඥා මඟින් ඒ බව සිරුර ඔබට ඉඟි කරයි.සිරුර ඔබට පැවසීමට උත්සහ කරන දේ වටහාගැනීමට නම් ඔබ එවැනි සංඥා ගැන සුපරික්ෂාකාරීව සිටීම ඉතා වැදගත් වෙයි.සිරුරේ ස්වභාවයන්,පැහැයන් හා සංවේදනා මෙන්ම ඔබේ රුචි අරුචිකම් වල අසාමාන්‍ය වෙනස්කම් ඇතිවී තිබේ දැයි අවධානයෙන් සිටීම ඔබේ සිරුරේ නීරෝගීබව ‍රැකගැනීමට උපකාර කරයි. පහත දැක්වෙන්නේ එවැනි ගැටලු සංඥා කිහිපයකි. ඔබත් යම් කාලයක් තිස්සේ මෙවැනි රෝග ලක්ෂණ වලින් පීඩා විඳින්නේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වීම වඩාත් සුදුසු වේවි.

  1. ඉස්හොරි සහ හිසකෙස් හැලීයාම

හිස්කබලේ කුඩු කුඩු මෙන් මතුව ඇති ඉස් හොරිතත්වයත්  සමඟ හිසකෙස් හැලීයාමේ ලක්ෂණය ද අත්දකින්නේ නම්, ඊට හේතුව බොහෝවිට විටමින් හා වෙනත් පෝෂක ඌනතාවක් විය හැකියි.සිරුරේ සින්ක්,විටමින් B2,B3,B6 සහ B7 මෙන්ම යකඩ පෝෂක මට්ටම් අඩුවීම මෙවැනි ගැටලු මතුවීමට හේතුසාධක විය හැකියි.

  1. අත් සහ ඇඟිලි ‍රැළි වැටී තිබීම

වයස්ගත වීමේදි සම ‍රැළි වැටීම ස්වභාවිකව සිදුවන වෙනස්කමකි. තරුණ වයසේදීම ඔබේ සිරුරේ අනෙක් ප්‍රදේශ වලට වඩා අත් හා ඇඟිලි වල සම ‍රැළි ගැසී, එහි සවිමත් බව දුර්වල වෙමින් පවතියි නම් එය යම් අවදානම් සංඥාවක් විය හැකියි.සාමාන්‍යයෙන් වතුරේ ඇඟිලි පොඟවාගෙන සිටින විට ඇඟිලි වල සම හැකිළෙයි.වතුරට නිරාවරණය නොවීම ඔබේ ඇඟිලි වල සම හැකිළුණු ස්වභාවයක් ගනියි නම් බොහෝ විට ඊට හේතුව විජලනය, රුධිර සංසරණයේ දුර්වලබව හෝ ඔබේ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත යම් ගැටලු තත්වයක් විය හැකියි.

  1. දිවේ සුදු පැල්ලම් මතුවීම

නීරෝගී දිවක පැහැය රෝස පැහැ ගනියි.දිව මතුපිට සුදු පැල්ලම්  මතුවී ඇත්නම් එය උල්ලෝගම් (oral thrush) තත්වයේ පූර්ව සංඥාවකි.මෙය දියවැඩියා රෝගීන් තුළ වඩාත් බහුලව හඳුනාගැනීමට ලැබෙන තත්වයකි.නිසි මුඛ සෞඛ්‍ය සනීපාරක්ෂක පුරුදු අනුගමනය නොකිරීම නිසා ද මෙවැනි පැල්ලම් දිවේ වර්ධනය වීමට පටන්ගත හැකියි.දිනපතා දෙවරක් ඔබේ දත්,විදුරුමස් මෙන්ම ඔබේ දිව ද හොඳින් පිරිසිදු කරගන්න.

  1. සමේ පලු දැමීම (රෑෂ්)

සම රතුවීම හා කසනසුලු ගතිය එක්සිමා නම් දද තත්වයේ රෝග ලක්ෂණයක් විය හැකි අතර ඇතැම් විට යම් කුශ්ඨ රෝගයක් නිසා ද විය හැකියි. ආසාදන හෝ ආසාත්මිකතා බලපෑම් නිසා ද එවැනි පලු මතුවිය හැකියි.මෙවැනි පලු බරපතල ලෙස නොපෙනුණ ද ඒවා ආසාදනය වීමේ ඉඩකඩ වැඩි නිසා නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම ඉතා වැදගත්.

  1. වළලුකර ඉදිමීම

ගැබිනි සමයේදී බොහෝවිට වළලුකර ප්‍රදේශය ඉදිමීම සාමාන්‍යයෙන් ඇතිවෙන තත්වයකි.නමුත් ඔබ එවැනි තත්වයක නොසිටියි නම්, වළලුකර ඉදිමීමට හේතුව ඔබේ සිරුරේ දුර්වල රුධිර සංසරණය විය හැකියි.ඇතැම් විට හෘද ගැටලු හෝ තයිරොයිඩ් ග්‍රන්ථියේ අඩු ක්‍රියාකාරීත්වය නිසා ඇති වන බලපෑම් නිසා විය හැකියි.අධික ලෙස ලුණු පරිභෝජනය කිරීමෙන් සිරුරේ තරල තැන්පත් වීම ඉහළ යන නිසා ද මෙවැනි ඉදිමුම් තත්වයන් කකුලේ ඇතිවිය හැකියි.

  1. ඇස් වල වියළිබව

ඇස් වල අධික වියළි බවක් ඇතිවීමෙන් ඇස් වල දැවිල්ල,ප්‍රදාහය (වේදනාකාරී ඉදිමුම) ඇතිවිය හැකි අතර ඇස් වලට හානිවීමට පවා ඉඩ තිබෙයි.වයසට යාමේදි ඇතිවන අක්ෂි පරිහාණි ගැටලු,ඇතැම් ඖෂධ වර්ග භාවිතය නිසා මෙන්ම sjogren’s syndrome තත්වයේ පූර්ව සංඥාවක් විය හැකියි. කට වියළීම ද තවත් ලක්ෂණයකි.මෙය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිතව මතුවන රෝගාබාධයකි.

  1. බඩ පිපුම

තරමක් විශාල ආහාර වේලක් ගත් පසු බඩ පුරවා දැමීම එතරම් වදවිය යුතු ගැටලුවක් නොවෙයි.පීඩාකාරි ලෙඩ බඩ පිපුම ආහාර සංවේදිතාවක ලක්ෂණයක් විය හැකියි.ඔබ ඒවාට ආසාත්මික බව නොදැන ආහාරයට ගන්නා ඇතැම් ආහාර පාන වර්ග නිසා ආමාශය තුළ අධික ලෙස ගෑස් එකතුවීමට පටන්ගත හැකියි.තිරිඟු හා ග්ලූටන් අඩංගු ආහාර බොහෝවිට මෙවැනි තත්වයක් ඇතිවීමට මූලික විය හැකියි.

  1. පැහැදිලි හේතුවක් නැතිව සමේ මතුවන තුවාල

අනතුරක් නොවුවද සිරුරේ තැනින් තැන තුවාල මතුවී ඇත්නම් එය බලාසිටීමට සුදුසු තත්වයක් නොවෙයි. වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.අහඹු ලෙස සමේ තැනින් තැන තුවාල මතුවී තිබීම හෝ සම පහසුවෙන් තුවාල වීම සරලව යම් විටමින් ඌනතාවක ලක්ෂණ පෙන්නුම් කිරීමක් විය හැකියි. ඇතැම් විට රුධිර කැටිගැසීම වැනි බරපතල රෝග තත්වයක් නිසා ද එවැනි තත්වයක් මතුවිය හැකියි.

  1. නිතරම පිපාසය දැනීම

නිතිපතා හොඳින් වතුර පානය කර සිරුරේ සජලතාව ‍රැකගැනීම ඔබේ නීරෝගී බවට ඉතා වැදගත්.නිතරම අධික පිපාසයක් දැනීම පූර්ව දියවැඩියා රෝගයේ ලක්ෂණයක් විය හැකියි.මෙය රුධිර සීනි මට්ටම් සාමාන්‍ය මට්ටම ඉක්මවීමෙන් ඇතිවන සෞඛ්‍ය ගැටලු තත්වයකි.තෙහෙට්‍ටුව හා අධික පිපාසයට වතුර පානය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නිතර මූත්‍රා පිටකිරීමට අවශ්‍ය වීම තවත් බහුල රෝග ලක්ෂණ දෙකකි.

  1. අහඹු ලෙස පේශී ඇඹරීයාමට පටන්ගැනීම

කායික ක්‍රියාශීලිත්වය,ආතතිය,විජලනය හා ප්‍රමාණවත් හොඳ නින්දක් නොලැබීම වැනි හේතු මාංශ පේශී ඇඹරීයාමට තුඬු දෙයි.වඩාත් බරපතල ගැටලු ලෙස ස්නායු රෝගයක් හෝ යම් වකුගඩු රෝගාබාධයක් නිසා ද මෙවැනි තත්වයක් සිරුරේ හටගත හැකියි.

  1. නින්දෙන් ගෙරවීම
Overweight Woman Asleep In Bed Snoring

අසල නිදන කෙනාට කරදරය වුවත් ගෙරවීම ඔබේ සිරුරට හානිකර තත්වයක් නොවෙයි.තදබල නොවන නින්දෙන් ගෙරවීමේ තත්වය obstructive sleep apnea ලෙස හඳුන්වන නිද්‍රා ඇප්නියා රෝගයේ ලක්ෂණයක් විය හැකියි. මෙය නින්දේදී ශ්වසනය අපහසුවීමෙන් නින්දට බාධාකාරී වන රෝග තත්වයකි.මෙය වෛද්‍ය අවධානය ලැබිය යුතු තත්වයකි.ඔබේ තත්වය පරික්ෂා කිරීමෙන් පසු රාත්‍රි නින්දේදි ඔබේ නින්ද බාධාකාරි නොවන පරිදි ශ්වසනය ක්‍රමවත්ව සිදුවීම සඳහා යම් වෛද්‍ය ආධාරක උපාංගයක් පැලඳීමට වෛද්‍යවරයා ඔබට නිර්දේශ කරනු ඇත.