අංශබාගය හැදීගෙන එන විට මුල් කාලයේ සිරුරේ ඇතිවෙන වෙනස්කම් 5 ක්

health tips

ස්ට්‍රෝක් (stroke) හෙවත් ආඝාතය යනු හදිසියේ ඇතිවන රෝග තත්වයක්. මෙය අංශබාගය ලෙසත් හඳුන්වනවා. සිරුරේ යාන්ත්‍රික ක්‍රියාකාරීත්වය එසේත්නැතිනම් මාංශ පේෂීන්ගේ ක්‍රියාකාරීත්වය පාලනය කරන මොළයට සැපයෙන රුධිර සැපයුම අඩාල වීම හේතුවෙන් (විශේෂයෙන්ම ධමනි වලට හානිවීම නිසා)මෙය ඇතිවන අතර එමඟින් එම ප්‍රදේශයට අවශ්‍ය ඔක්සිජන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ නොලැබීයාම නිසා ඒ ආශ්‍රිත ස්නායු සෛල මියයාමට පටන්ගනියි.ආඝාතය හදිසි මරණයට හේතුවන ප්‍රධාන රෝග තත්වයක් ලෙස ද හැඳින්වෙයි. ආඝාත තත්වයකදී මූලිකව ඇතිවන ලක්ෂණ වන්නේ සිරුර හිරිවැටීම සහ අප්‍රාණිකබවයි. සිරුරේ අංශයක් අක්‍රීය වීම හෝ බරපතල තත්වයක් නම් ඇතැම් විට මරණය පවා සිදුවිය හැකියි. එහි බලපෑමින් පුද්ගලයෙකු තාවකාලිකව හෝ ස්ථීර ලෙස ආබාධිත වීමට පවා ඉඩ තිබෙනවා .

ආඝාතය ඇතිවන්නේ පෙර සඳහන් කල පරිදි මොළයේ ඇතැම් කොටස් වල ක්‍රියාකාරීත්වයට බාධා එල්ලවීම නිසා සාමාන්‍යය පරිදි ක්‍රියාත්මක වීමට අපොහොසත්වීමත් සමඟයි. සාමාන්‍ය පරිදි ක්‍රියාකාරී වීමට අවශ්‍ය ඔක්සිජන් සැපයුම අඩාල නොවී අඛණ්ඩව ලැබීමට නම් මොළයේ බලපෑමට ලක්වූ ප්‍රදේශ වලට ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ.

ආඝාත තත්වයේ පූර්ව රෝග ලක්ෂණ වර්ධනය වන්නේ වේගයෙන් හා ඉතා නිහඬවයි. ඒ නිසා සිරුරේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි නොවන බව පුද්ගලයාට තේරුම් යාමට පැය ගණනාවක් හෝ දින ගණනාවක් පමණ හෝ ගත විය හැකියි. පහත සඳහන් ලක්ෂණ ඔබ කෙරෙන් හඳුනාගැනීමට හැකි වුවත් ඇතැම් විට ඒවා බරපතල ලක්ෂණ නොවන නිසා ඔබ ඒ ගැන වැඩි තැකීමක් නොදක්වනවා ඇති.නමුත්, මේ ලක්ෂණ ඔබට ආඝාත තත්වයක් ඇතිවිය හැකි බව පෙන්නුම් කරන ලක්ෂණ වන නිසා එවන් අවස්ථාවක් නොසලකා නොහැර නිසි වෛද්‍ය  ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් ඉදිරියේදී ඇතිවිය හැකි වඩා අවදානම් ආඝාත තත්වයකින් මිදීමට ඔබට හැකියාව ලැබෙනු ඇති බව අපි ඔබට මතක් කරන්නෙමු.

ආඝාතය ප්‍රධාන වශයෙන් හේතු දෙකක් නිසා ඇති වේ. ඉන් ප්‍රධාන හේතුව වන්නේ රුධිර නාළ අවහිර වීමයි. එනම් ලේ කැටියක් හිරවිමයි.නාළ අවහිර වීම හෝ ප‍ටු වීමෙන් රුධිර සැපයුම අඩාල වීමෙන් මොළයේ පටක හානිවීම සිදුවෙයි. මෙහිදී ක්ෂණයෙන් මොළයේ සෛල මියයයි.මෙය සුලු ආඝාතය හෙවත් ischemic stroke නම් වේ.අනෙක් තත්වය වන්නේ මොළය තුල ලේ නහරයක් පුපුරා යාමෙන් ඇතිවන ලේ ගැලීමය. ඉන් ඉදිමුම හා පීඩනය හටගනියි.මෙසේ ඇතිවන ආඝාත තත්ව hemorrhagic stroke ලෙසින් හැඳින්වේ. මීට අමතරව mini stroke/ transient ischemic attacks (TIA) හෙවත් තීව්‍රතාවයෙන් අඩු ආඝාත තත්වයක් ද වෙන්කර හඳුනාගන්නවා.මොළය, සුෂුම්නාව හෝ දෘෂ්ටිවිතානයට රුධිරය සපයන රුධිර නාළ තුළ  තාවකාලිකව ලේ කැටිත්තක් අවහිර විමෙන් ඇතිවන තත්වයයි.

මෙවැනි ආඝාත තත්වයක් හදිසියේ ඇතිවීමකදී හිරිවැටීම, කතා කිරීමේ අපහසුව වගේ අංශබාග ලක්ෂණ ඔබ තුළ මතුකිරීමට ඉඩ තිබෙනවා.නමුත් වැඩි කාලයක් මෙය නොපවතින නිසා ඔබ යථා තත්වයට පත්වෙනවා. මේ ආඝාත තත්වයේදී මොළයට ඇතිවන බලපෑම කෙටිකාලීන නිසා රෝගියා යථා තත්වයට පත්වීමේ හැකියාව පවතිනවා. කෙසේවුවත් මෙම mini stroke තත්වයන් බරපතල ගණයේ ආඝාත තත්වයක පූර්ව ලක්ෂණ පෙන්නුම් කිරීමක් ලෙස සැලකිය යුතුවෙනවා. mini stroke එකක් ඇතිවූ පසු පැය 48ක් පමණ බරපතල ආඝාත තත්වයක් ඇතිවීමේ ඉහළ අවදානමක් තිබෙනවා. එම නිසා ඔබ අත්දකින මෙවැනි රෝග ලක්ෂණ සුලුකොට තකන්න එපා.

අංශබාග තත්වයක් ගැන අනතුරු හඟවන පූර්ව සංඥා මොනවද?

  • ක්ෂණික හිරිවැටීම- ඔබේ මුහුණ, කකුල් සහ බාහු ආශ්‍රිතව මෙය ඇතිවෙයි.බොහෝවිට සිරුරේ එක් අංශයක මේ තත්වය ඇතිවීම තවත් විශේෂත්වයක්.
  • ව්‍යාකූල බවක් දැනීම- එක්වරම ඔබේ අවට සිදුවෙන දේවල් තේරුම්ගැනීම අපහසු වීමට පටන්ගනියි.ඔබට කතා කිරීමට අපහසු බවක් දැනිය හැකියි. මේ නිසා අන් අයට ද ඔබව තේරුම්ගැනීමේදි යම් යම් ගැටලු ඇතිවිය හැකියි.
  • ඉස කරකැවිල්ල- ආඝාත තත්වයකින් පෙළෙමින් ඉන්න පුද්ගලයෙකුට නිසි ලෙස ඇවිදීම අපහසුවෙයි. විශේෂයෙන්ම සිරුරේ සමබරතාව හා අස්ථි සහ මාංශපේශී චලනය නිසි ලෙස පවත්වාගත නොහැකි වෙයි.
  • තදබල හිසරදය- එක්වරම නොසිතූ ආකාරයෙන් පීඩාකාරි හිසරදය තත්වයක් දැනිය හැකියි.
  • පෙනීම ආශ්‍රිත ගැටලු මතුවීම- බොඳ වී පෙනීම හෝ කිසිවක් පැහැදිලිව නොපෙනීම තවත් ලක්ෂණයක්.මෙය එක් ඇසක හෝ ඇස් දෙකේම ඇතිවිය හැකියි.

නමුත් නිහඬ ආඝාත (silent stroke) තත්වයකදී මෙකී අවදානම් සංඥා ලක්ෂණ ඒ ආකාරයෙන් මතුකරන්නේ නැහැ. එය වඩාත් භයානක වන්නේ ද ඒ නිසයි. නිහඬ ආඝාතය තත්වයකදී මොළයේ හානියට පත්වන්නේ ඉතා සුලු ප්‍රදේශයක්. බොහෝ විට එය හඳුනාගැනීමටවත් නොහැකි වෙන තරම්.නමුත් මෙම හානිය ඔබ සමඟම දිගින් දිගටම පවතිනවා.මෙය ඉතා අවදානම් තත්වයක්.ලක්ෂණ පෙන්නුම් නොකරන නිසා තමන් තුළ ආඝාත තත්වයක් තිබෙන බව වත් පුද්ගලයා දැනුවත් නැහැ.බොහෝ විට එය දැනගත හැක්කේ මොළයේ ස්කෑන් පරික්ෂාවක් පමණයි.

මේ ගැන සිතමින් ඔබ කලබල විය යුතු නැහැ. මෑතකදී සිට ඔබේ සිරුරේ සමබරතාව පවත්වාගැනීම අසීරු බවක්, ඇවිදීම අපහසු බවක්, යම් යම් දේවල් මතකයෙන් ගිලිහී ඇති බවක් වැනි ලක්ෂණ අත්දකිමින් ඉන්නවා නම් සැලකිලිමත්වන්න.නිහඬ ආඝාතයක බලපෑම කුඩා වුවත් ඉන් මොළයට ඇතිවන්නේ ස්ථීර හානියකි.නිසි වෛද්‍ය ප්‍රතිකාර හරහා මොළයේ හානි වූ කොටස් උත්තේජනය කරමින් ප්‍රකෘතිමත් කිරීම සිදුකළ හැකියි.මේ හරහා සිරුරේ මතුව ඇති දුර්වලතා ක්‍රමයෙන් මගහැර ගැනීමට ඔබට හැකිවෙයි.

අංශබාගයට ප්‍රතිකාර කරන්නේ කොහොමද? රෝග ලක්ෂණ හඳුනාගැනීමෙන් පසු වෛද්‍යවරයා විසින් රෝගියාව CT ස්කෑන් පරික්ෂණයක් සඳහා යොමුකරවයි.X-ray පරික්ෂාවක් හරහා ඔබේ මොළය ආඝාතයකට,ගැටිති වර්ධනයකට හෝ බරපතල රුධිර වහනයකට ලක්වී තිබේ ද හෝ නොතිබේ ද යන්න තහවුරු කරගනියි.අනතුරුව තවත් වෛද්‍ය පරීක්ෂණ කිහිපයකටම රෝගියාව බඳුන් කෙරෙනවා.හඳුනාගත් ආඝාත තත්වයේ ස්වභාවය අනුව මෙම වෛද්‍ය පරීක්ෂණ එකිනෙක වෙනස්වෙනවා.රුධිර පීඩනය පරික්ෂා කිරීම,හෘද ස්පන්දනය මැනබැලීම,ස්නායු හා මොළයේ ක්‍රියාකාරීත්වය තහවුරු කෙරෙන පරීක්ෂණ, රුධිර පරීක්ෂා ඒ අතරින් ප්‍රධානයි.පරික්ෂණ වලින් පසු මොළයට කොතරම් හානි වී ඇත්දැයි නිශ්චය කරයි. ඒ හරහා රෝගියාට වඩාත් සුදුසු ප්‍රතිකාර ක්‍රම ‍තෝරාගනියි.

ischemic stroke ආඝාතයකදී ලේ කැටිත්ත දියවීම සඳහා රෝගියාට ඖෂධ ලබාදීම සිදුකෙරේ.ප්‍රතිකාරය ඵලදායි වීමට නම් යම් කාල රාමුවක් යටතේ මේ ප්‍රතිකාරය සිදුකිරීම වැදගත් වෙනවා. hemorrhagic stroke නම් ආඝාත තත්වයකදී නම් ප්‍රතිකාර තවත් වෙනස් වෙයි. විවිධ ඖෂධ වර්ග නියම කිරීම මෙන්ම බරපතල තත්වයකදී නම් මොළයේ පටක ආරක්ෂා කිරීම සහ රුධිර වහනය වැළැක්වීම සඳහා ඇතැම් රෝගීන්ට සැත්කම් පවා සිදුකරනු ලබනවා.

ආඝාත තත්වයන් ඇතිවන්නේ ඇයි? ව්‍යායාම හා ක්‍රියාශීලීත්වය නොමැතිකම සහ සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර පාන රටා නිසා ධමනි සෞඛ්‍ය දුර්වල වීම මෙම අවදානම ඉහළ යාමට විශාල වශයෙන් බලපායි. විශේෂයෙන්ම මේදමය ද්‍රව්‍ය තැන්පත්වීමෙන් හෘදය හා මොළය සම්බන්ධ ධමනි තුළ රුධිර ගමනාගමනය අවහිර  වීමට පටන්ගනියි.මෙහිදි මොළය වෙත රුධිරය යැවීමට හෘදයට අධික වෙහෙසක් දරමින් ක්‍රියාකිරීමට සිදුවෙනවා.මෙහිදී රුධිර පීඩනය ඉහළ යාම සිදුවෙන අතර ඒ බලපෑම හෘද රෝග වර්ධනය වීමට පවා හේතුවෙයි.ආඝාත තත්වයක් ඇතිවීම හෘදයාබාධයකට සමාන වුවත් එහි බලපෑම ඇත්තේ මොළයටයි.එමෙන්ම දියවැඩියා රෝගීන් තුළ මෙම ආඝාතය හෙවත් අංශබාග අවදානම ඉතා ඉහළයි.

ආඝාතය වළක්වාගන්නේ කොහොමද?

යමක් සම්පූර්ණයෙන්ම වළක්වන්න අපට බැරි වුණත් අවදානම අවම කරගන්න උත්සහ කරන්න පුළුවන්.

  • මීට ඇති හොඳම විසඳුම තමයි නීරෝගී ජීවන රටාවක් ඇතිකරගැනීම.මේද බහුල ආහාර වලින් වැළකී නීරෝගි සෞඛ්‍ය සම්පන්න ආහාර පාන ලබාගන්න.එමඟින් ඔබේ සිරුරේ ධමනි අවහිරතා ඇතිවීමේ අවදානම අඩුකරගන්නට ඔබට හැකිවේවි. රුධිර පීඩනය නීරෝගීව පවත්වාගැනීම සඳහා පොටෑසියම් බහුල ආහාර පාන පරිභෝජනය කරන්න.කෙසෙල්,සෝයා බෝංචි,තක්කාලි, අල වර්ග සහ කොමඩු  වගේ ආහාර ඊට හොඳ උදාහරණයි.නිවිති වගේ මැග්නීසියම් බහුල ආහාර ද ඔබේ ධමනි වල නීරෝගී බව වැඩිකරයි.යෝගට්,ලූනු,ඕට්ස්,සැමන් වගේ ආහාර ද ඉතා ගුණදායි.
  • ව්‍යායාම වල යෙදෙන්න.ඉන් ඔබේ හෘද සෞඛ්‍ය වැඩිදියුණු වීම සිදුවෙනවා.සිරුරේ ක්‍රියාශීලීබව අංශබාගය ඇතිවීමේ අවදානම බොහෝ සෙයින් අඩුකරවන බව බොහෝ අධ්‍යයන මඟින් පෙන්වාදෙනවා.දිනකට මිනිත්තු 30ක් පමණ ඇවිදීම පවා සිරුරට හොඳ ව්‍යායාමයක් ලබාදෙයි.
  • දුම්බීමෙන් වළකින්න.දුම්බීම ආඝාත අවදානම දෙගුණ වීමට හේතුවක් බව සොයාගෙන තිබෙනවා.
  • කලින් කලට ඔබේ රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් මට්ටම් පරික්ෂා කරගන්න.මෙම මට්ටම් ඉහළ අගයක් ගැනීම ආඝාත අවදානම ඉහළ යාමට හේතුවක්.

යම් යම් රෝග ලක්ෂණ අත්දකින්නේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවී ඔබේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කරගන්න.