හිසේ සෙම පිරීමේ රෝගයට ස්වභාවික ප්‍රතිකාර 11 ක්

health tips

සයිනසයිටිස් (sinusitis) හෙවත් සයිනස් හිසරදය යනු නාසයේ ශ්ලේෂ්මල පටල හා කුහර වල (නළල් හා ඇස් කුහර වල) සෙම නිපදවිමෙනි. හිසේ සෙම පිරීමේ තත්වය ලෙසත් මෙය හඳුන්වයි. ආයුර්වේදයේ මෙය දුෂ්ට ප්‍රතිශ්‍යාය නමින් හඳුන්වයි.සයිනස පටක ආස්තර නැතිනම් බිත්ති ප්‍රදාහයට (දැවිල්ල සහිත වේදනාව) හා ඉදිමුමට ලක්වීමෙන් සංලක්ෂිත තත්වයකි. සයිනස් තත්වයේදී අපේ සිරුරේ ප්‍රධාන වශයෙන්ම බලපෑමට ලක්වන්නේ සෙම් දෝෂයයි.සෙම කිපීම නැතිනම් වැඩිවීම ශ්වසන මාර්ගයේ පවතින වාත උපප්‍රභේදයක් වන ‘ප්‍රාණ වාත’ අසමතුලිත කරයි.වාත හා පිත දොස් කිපීමෙන් ද මේ තත්වය උග්‍ර විය හැකියි. ස්වභාවිකව ගලන සෙම අවහිර වී දිලිරයක් ඒ හා එකතුවී ආසාදනය වීමෙන් මෙම තත්වය හටගනියි. ඇතැම් විට මෙම සෙම එකතුවීම බැක්ටීරියා හෝ වෛරස හේතුවෙන් වුව ආසාදනයට ලක්විය හැක.මෙම තත්වය හටගන්නේ නළලෙ සහ මුහුණේ අස්ථි කුහර ආශ්‍රිතවයි. හිස පහත් කරන විට තියුණු වේදනාවක් දැනෙන නිසා ඔලුව පහතට නැවීම පීඩාකාරි අත්දැකීමක් වේ. මෙම හිසරදය මතුවි විට හිස දෙපස කම්මුල් දෙපස දැඩි වේදනාවක් ඇතිවේ.

ආයුර්වේදයේ මෙම සයිනස් හිසරදය තත්වයට ප්‍රතිකාර කරන ආකාර

වමන කර්ම– ඖෂධ හා තෙල් වර්ග ලබාදීම හරහා රෝගියාට වමනය ඇතිකරවයි.සෙම්සො‍ටු බුරුල් වී ආමාශය වෙත ගැලීම පහසු වීම සඳහා මීට පෙර ස්නේහන හෙවත් ඖෂධ තෙල් සම්බාහන හා ස්වේදන හෙවත් උණුසුම් කිරීම හරහා සිරුරට දහඩිය වැටීමට සලස්වනු ලබයි.වමනය වීමේදී වාහිනි හා පපෞව තුල සිරවී ඇති අධික සෙම හා අනෙකුත් වාත පිත දොස් මුඛය හරහා බැහැර වී යයි.මේ හරහා සයිනසයිටිස් රෝග ලක්ෂණ වලට සහනයක් ලැබේ.ගැබිනි මවුවරු,කුඩා දරුවන්, වැඩිහිටියන්,උදරයේ ගැටිති, අධි රුධිර පීඩනය හා මූත්‍රා අඩස්සිය වැනි තත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයින් මෙම ප්‍රතිකර්මය ලැබිය යුත්තේ නිසි වෛද්‍ය උපදෙස් යටතේ පමණි.

නස්‍ය කර්ම-ආයුර්වේදයට අනුව නාසය යනු හිස හා සම්බන්ධ මාර්ගයයි. උගුර, හිස, බෙල්ල හා සංවේදනා ආශ්‍රිත රෝගාබාධ ලක්ෂණ සඳහා ප්‍රතිකාර කිරීමේදී ඖෂධීය දියර හා තෙල් වර්ග බොංදුවෙන් බිංදුව නාස් කුහරයට වත්කිරීම නස්‍ය කර්මයේදි සිදුකෙරේ.සයිනසයිටිස්,මිග්‍රේන්,ටොන්සිලයිටිස් (සෙම්ගෙඩි ඉදිමීම්) හා කන්,බෙල්ල, නාසයේ හා උරහිසේ ගැටලු වලට ද ප්‍රතිකාර කරයි. අනූ තෛලය සයිනසයිටිස් ප්‍රතිකාර වලදී භාවිත කෙරේ.

විරේචන කර්ම-සෙනෙහෙ කොළ,රුබාබ් වැනි විරේචක ගුණ ඇති ඖෂධ ලබාදීම හරහා සිරුරේ සෙම ආමාශය එකතු වී සිරුරෙන් දුරුවීමට සැලැස්වීමයි.උදර ගැටිති,අර්ශස් හා කොලයිටිස් (බඩවැල් ඉදිමීම) වැනි තත්වයන්ට ප්‍රතිකාර කිරීමේදී භාවිත කරයි.එකතු වී සෙම, මේද හා පිත ස්‍රාවය සිරුරෙන් බැහැර කරන නිසා සයිනසයිටිස් අපහසුතා ලක්ෂණ සමනය කරයි.පාචනය, ගුද වණ, ජීර්ණ දුර්වලතා හා ජීර්ණ මාර්ගයේ රුධිරය වහනය වන රෝගයකින් පෙළෙන අයට මෙන්ම ගැබිනි, වැඩිහිටි හා ළමුන්ට මෙය සුදුසු නොවේ.

සයිනසයිටිස් සඳහා ප්‍රතිකාර කරන ගුණදායි ආයුර්වේද ඖෂධ

බුළු- පරපෝෂීනාශක ගුණ,සෙමහරණය කරන ගුණ, විරේචක ගුණ, පැසවීම වළකන හා සිරුර යළි ප්‍රාණවත් කරන ගුණ අඩංගුය. ජීර්ණ මාර්ගයේ, ශ්වසන, ස්නායු හා බහිස්‍රාවි පද්ධති නීරෝගි කරයි.කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව,බ්‍රොන්කයිටිස්, උගුර බැ‍රැණ්ඩිවීම, සයිනයිටිස්, හිසරදය හා ඇස් රෝග වලට ප්‍රතිකාර කරයි.උගුරේ අපහසුතා සමනය වීම සඳහා බුළු මී පැණි ස්වල්පයක් සමඟ මිශ්‍ර කර ලබාගන්න.වාතය කිපිය හැකි බැවින් නිසි උපදෙස් හා මාත්‍රා පිළිබඳ සැලකිලිමත් වන්න.

කලු ගම්මිරිස්- උත්තේජක,වාතාපහරණ (වාත දොස් සමනය කරන),උණ ලක්ෂණ අඩුකරන හා පරපෝෂීනාශක ගුණ ද බහුලය.එබැවින් ජීර්ණ,රුධිර සංසරණ හා ශ්වසන පද්ධති ආශ්‍රිත රෝගාබාධ ලක්ෂණ පාලනය කරයි.සයිනස් අවහිරවීමට ප්‍රතිකාර කරයි.ඇදුම,අජීර්ණය,උණ,ගෑස්ට්‍රික් අපහසුතා හා උගුරේ අපහසුතා සමනය කරයි.

එනසල්- ප්‍රතිප්‍රදාහක,වේදනානාශක,විෂබීජනාශක,පරපෝෂීනාශක හා ශ්වසනාලිකා ප්‍රසරක (ප්‍රසාරණය කරන) ගුණ අඩංගුය.වාත හා සෙම දොස් අඩුකර සිරුරේ පිත මට්ටම් අඩුකරවයි.සෙම්ප්‍රතිශ්‍යා තත්වයේදී දූපන (ඖෂධීය දුම ආඝ්‍රාණය කිරීම) ප්‍රතිකාර වලට යොදාගනියි.

ඉඟුරු– වේදනානාශක,වාතහරණ,ජීර්ණය වැඩිදියුණු කරන, ඛේට (කෙළ) ස්‍රාවය වීම උත්තේජනය කරන හා සෙමහරණ ගුණ බහුලයි.ජීර්ණ හා ශ්වසන පද්ධති නීරෝගි කරයි.සිරුර සුවපත් කරන ඖෂධීය ගුණයෙන් අනූන බව පෙන්වාදෙන අතර සෙම් මූලික රෝග (සයිනසයිටිස් වැනි) සඳහා ප්‍රතිකාරයක් ලෙස මී පැණි සමඟ මිශ්‍ර කර ලබාගත හැකියි.පිත දෝෂ කිපීමට බලපෑ හැකි බැවින් පිත ගැටලුවලින් පෙළෙන අය මේවා ලබාගන්නා මාත්‍රා ගැන සැළකිලිමත් විය යුතුයි.

කහ- විෂබීජනාශක,බැක්ටීරියානාශක,පැසවීම වළකන ගුණ අඩංගුය.එමෙන්ම විෂහරණකාරකයක් හා සිරුර සුවපත් කරන ගුණයෙන් යුක්තයි.ආසාත්මිකතා වළකයි.සිරුරේ හිස්ටමීන් මට්ටම් අඩුකරමින් සයිනසයිටිස් වැනි සෙම් රෝග තත්වයන්හි ලක්ෂණ පාලනය කරයි.

ඖෂධ ශ්‍රේණියේ ගිතෙල්- ආමාශ අග්නිය වැඩිකරවයි.ආසාත්මිකතාවන්ට ප්‍රතිකාර කරන අතර නාස් කුහරයේ අපහසුතා දුරුකරයි.සයිනසයිටිස් ප්‍රතිකාර වලදී කහ වැනි වෙනත් ඖෂධ සමඟ මිශ්‍ර කර භාවිත කරයි.

තුල්සි (හීන් මදුරුතලා)- සෙමහරණය කිරීම, රුධිරය පිරිසිදු කිරීම හා විෂබීජනැසීම යන ගුණ අඩංගුය.ශ්වසන මාර්ගයේ අපහසුතා ලක්ෂණ පාලනය කරයි. සෙම බුරුල්කරමින් ආසාත්මික බ්‍රොන්කයිටිස්, ඇදුම හා නාසයේ අපහසුතාවන්ට ප්‍රතිකාර කරයි.පිත අධිකකමින් පීඩාවිඳින අය භාවිතයේදි සැළකිලිමත් විය යුතුයි.

තිප්පිලි- වේදනානාශක හා උණ අඩුකරවන ගුණාංග අඩංගුය.කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව සමනය කරයි.සෙමහරණය කරයි.පිත වැඩිවිය හැකි බැවින් නිසි මාත්‍රා අනුව භාවිත කළ යුතුයි.

මිට අමතරව ‘චිත්‍රකා හරිතකි,ව්‍යයෝෂාදී වාති,ලක්ස්මිවිලාස රස,ත්‍රිභුවන්ක්‍රිති රස’ ආදි ආයුර්වේද ඖෂධ ලබාදීම හරහා මේ තත්වයට ප්‍රතිකාර කරයි.

මෙම ඖෂධ භාවිතයට පෙර නිසි ආයුර්වේද වෛද්‍ය උපදෙස් ලබාගන්න.කොල්ලු , මුං ඇට,මුරුංගා,ප‍තෝල,රාබු,සුදුලූනු, ආහාරයට ගන්න.උණුසුම් වතුර පානය කරන්න.සීතල වතුර පානය කිරීම හෝ ස්නානය කිරීම අවම කරන්න.මත්පැන් පානයෙන් වළකින්න.දහවල් කාලයේ නින්දට නොයන්න.