ඉවත් කරන්න බැරි ලප කැලැල් මකා දමන ස්වභාවික සත්කාර ක්‍රම 7 ක්

health tips

ලස්සන කාන්තාවකට ආභරණයකි. ඒ නිසාම කාන්තාවන් තමන්ගේ රූප සම්පත්තිය ආරක්ෂා කරගන්නට වගේම තවත් ලස්සන කරගන්නට නොයෙකුත් සත්කාර ක්‍රම උත්සාහ කරනු දැකිය හැකියි. සමීක්ෂණ වාර්තා වලට අනුව ලොව ජනගහනයෙන් 95%  කට කුරුලෑ ගැටලු තිබෙන බව සොයාගෙන තිබෙනවා. සමේ කුරුලෑ හටගැනීම  කියන්නේ සුන්දරත්වයට ඇතිවන ලොකුම බාධාවක්. කුරුලෑ ලප කැලැල් පහසුවෙන් සුව නොවන නිසා සමේ පෙනුම සහ ස්වභාවයේ ආකර්ෂණීය බවට සිදුවන්නේ හානියක්. කුරුලෑ ඇතිවීමට ඔබේ ඇතැම් ආහාර පුරුදු (මේද අධික ආහාර වැනි) මෙන්ම ඇතැම් රසායනික ක්‍රීම් ආලේපන වැනි නිෂ්පාදන ද හේතුවේ. රසායනික ද්‍රව්‍ය නිසා ඔබේ සමට සිදුවන්නේ ප්‍රතිකාරයකට වඩා හානියක් බවයි සිතෙන්නේ. 

සමේ නීරෝගිකම සදාකාලිකව ආරක්ෂා කල හැකි නිෂ්පාදනයක් තවම කවුරුත් සොයාගෙන නම් නැහැ. පොදුවේ බොහෝ කාන්තාවන්ට ඇති රූපලාවන්‍ය ගැටලු වන කුරුලෑ, සමේ අවපැහැය, ලප කැලැල් යන ගැටලු සඳහා මිලෙන් අධික ප්‍රතිකාර සඳහා ඇතැම් කාන්තාවන් යොමු වන බව දක්නට ලැබෙනවා. නමුත්, දැනට තිබෙන හොඳම විසඳුම තමයි ස්වභාවික සත්කාර වලින් මුහුනේ සුන්දරත්වය සහ සමේ නීරෝගි බව ‍රැකගැනීම. අද අපි ඔබට කියන්න සූදානම් වන්නේ ස්වභාවික සත්කාර වලින් ගෙදරදීම මුහුණේ සම සුවපත් කරගන්නේ කොහොමද කියලයි. මේ ස්වභාවික ක්‍රම ඔබේ සමට හොඳ පෝෂණයක් ලබාදෙන අතර සමේ පැහැය ඔප්නංවමින් සම නීරෝගි කරවයි. මෙම සත්කාර ක්‍රම යම් කාලයක් තිස්සේ නොකඩවා සිදුකිරීමෙන් ඔබට පැහැදිලි වෙනසක් සමඟ හොඳ ප්‍රතිඵල ලබාගත හැකිවේවි.

  1. ඇස් වටා අඳුරු ස්වභාවය (dark circles) දුරුකරගැනීමට: කහ + අන්නාසි යුෂ සත්කාරය

කහ වල ඇති ප්‍රති-ඔක්සිකාරක සහ ප්‍රති-ප්‍රදාහක ගුණවලින් ඇස් වටා අඳුරු ස්වභාවය අවම කරවයි. මෙම සත්කාරය මඟින් ඔබේ ඇස් වටා සම වඩාත් මෘදු හා සුසිනිදු කරවයි.

ක්‍රමය:

  • කහ කුඩු තේ හැඳි 2 ක් සහ අන්නාසි යුෂ තේ හැඳි 2 ක් ගෙන බඳුනකට දමා මිශ්‍රකරගන්න.
  • ඇස් වටා ප්‍රදේශයේ ඒවා ගල්වා මිනිත්තු 10 පමණ තිබෙන්නට හරින්න.
  • මෘදු රෙදි කැබැල්ලකින්  ඒවා පිසදමන්න.
  • ඔබට හොඳ ප්‍රතිඵල ලැබෙන තුරු මෙය දිනපතාම සිදුකරන්න.
  1. හිරු කිරණට පිළිස්සුණු සම හා සමේ ප්‍රදාහ තත්වයන්ට ප්‍රතිකාර කිරීමට: අලි ගැට පේර සත්කාරය

අලි ගැට පේර වල විටමින් A, D සහ E අඩංගු වන අතර ඒවායේ ගුණයෙන් හිරු එළියට පිළිස්සුණු සම සුවපත් කිරීම, කොලැජන් නිෂ්පාදනය ඉහළ නැංවීම සහ සමේ ඉදිමුම් ස්වභාවය මතුවිම අවම කිරීම සිදුකරයි. මාස්ක් එක සකස් කරගැනීමට පහත පියවර අනුගමනය කරන්න. ඔබට ඇත්තේ වියළි හෝ සංවේදි සමක් නම් මෙම මිශ්‍රණයට මී පැණි තේ හැඳි 1 ක් ද මිශ්‍රකරගන්න.

ක්‍රමය:

  • අලි ගැට පේර ගෙඩි බාගයක් ගෙන එහි මදය බඳුනකට දමා හොඳින් පොඩි කරගන්න.
  • උණු ජලය මේස හැඳි 2 ක් එම පල්පයට දමා හොඳින් කලවම් කරගන්න.
  • මිශ්‍රණය ඔබේ පිලිස්සුණු සම මත බුරුසුවක් ආධාරයෙන් ආලේප කරගන්න. එසේ මිනිත්තු 10 ක් පමණ සම මත තිබෙන්නට හරින්න.
  • පසුව, ඇල් මැරුණු ජලයෙන් ඒවා සෝදා ඉවත් කරගන්න.
  1. හයිපර්පිග්මන්ටේෂන් තත්වයන් සඳහා:අර්තාපල්+ ලෙමන් යුෂ සත්කාරය

අර්තාපල් වල බොහෝ විටමින් හා ඛනිජ අඩංගු වේ. ඒවා පිග්මන්ටේෂන් සහිත සමට, අඳුරු ලප කැලැල් සහිත සමට සහ කුරුලෑ කැලැල් සහිත සම සුවපත් කිරීමට සමත්ය. ලෙමන් වල අඩංගු සිට්‍රික් අම්ල ස්වභාවික බ්ලීචිංකාරකයක් සේ ක්‍රියාකරයි.

ක්‍රමය:

  • අර්තාපල් අලයක් ගෙන හොඳින් සෝදා කැබලි වලට කපා බ්ලෙන්ඩර් කරගන්න.
  • අර්තාපල් පල්පය පෙරනයක් භාවිතයෙන් පෙරා එහි යුෂ ලබාගන්න.
  • ඉන් තේ හැඳි 4 ක් ගෙන බඳුනකට දමා එයටම මිරිකාගත් ලෙමන් බාගයක යුෂ තේ හැඳි 2 ක් දමා මිශ්‍රකරන්න.
  • කපු පුළුන් වලින් හෝ බුරුසුවකින් මිශ්‍රණය  ඝන තට්‍ටුවක් ලෙස සම මත ආලේප කරගන්න. ඉන් අනතුරුව එම තට්‍ටුව හොඳින් වියළෙන්නට තබන්න.
  • දැන්, දෙවන තට්‍ටුවක් ඒ මත ආලේප කර වියලෙන්නට තබා ඒ මත තෙවන තට්‍ටුවක් ද ආලේප කරගන්න.
  • මාස්ක් එක රාත්‍රිය පුරා තිබෙන්නට හැර පසුදා උදෑසන උණුසුම් ජලයෙන් සෝදා පිරිසිදු කරගන්න.
  • මෙය දිනපතාම සතියක් පුරාවට සිදුකරන්න.

ඔබට ඇත්තේ වියළි හෝ සංවේදි සමක් නම් මිශ්‍රණයට මී පැණි මේස හැඳි 1 ක් සහ රෝස වතුර මේස හැඳි 1 ක් මිශ්‍රකරන්න. එමඟින් සමේ තෙතමනය හොඳින් ආරක්ෂා වේ.

ඔබට ඇත්තේ තෙල් සහිත සමක් හෝ මිශ්‍ර සමක් නම්, මෙම මිශ්‍රණයට හාල් පිටි මේස හැඳි 2 ක් එකතු කරගන්න.

මෙම මිශ්‍රණය ශීතකරණයක තබා දින 3-4 ක් පමණ කාලයක් භාවිතා කල හැකියි.

  1. කුරුලෑ සඳහා: ඇපල් සයිඩර් විනාකිරි සත්කාරය

මෙම විනාකිරි වල අඩංගු ඇසිටික් අම්ල සහ පොටෑසියම් සහ මැග්නීසියම් ක්ෂුද්‍රමූලද්‍රව්‍ය මඟින් සමට හොඳ සත්කාරයක් ලබාදේ. ඒවා ප්‍රබල විෂහරණකාරකයන්  ලෙස ක්‍රියාකරන ප්‍රති-බැක්ටිරීය සහ ප්‍රති-දිලීර ගුණාංග වලින් යුත් සංඝටක බැවින් ඒවා සම මත ක්‍රියාකරමින් සමේ ඇති කුරුඅලෑ වැනි ගැටලු සුවපත් කරයි.

ක්‍රමය:

  • ඇපල් සයිඩර් විනාකිරි තේ හැන්දක් පිරිසිදු ජලය මේස ඇඳි 2-3 ක් සමඟ මිශ්‍රකරන්න.
  • මුහුණ හොඳින් සෝදා පිරිසිදු කරගැනීමෙන් අනතුරුව කපු පුළුන් වලින් මිශ්‍රණය මුහුණේ ආලේප කරගන්න.
  • මෙම ටෝනර් එක සම මත වියළෙන තුරු තබන්න. 
  • දිනපතා ඔබේ මුහුණ පිරිසිදු කරගත් පසු මෙම ටෝන්ර් එක දිනකට දෙවරක් භාවිතා කරන්න.
  1. කුරුලෑ කැලැල් නැති කිරීමට: ග්‍රීන් ටී වලින් සත්කාරයක්

ග්‍රීන් ටී වල අඩංගු ෆෙනෝල් වල ප්‍රති-ඔක්සිකාරක සහ ප්‍රත්-ප්‍රදාහක ගුණාංග මඟින් සමේ ඇති කැලැල් ගැටලුවලට ප්‍රතිකාර කෙරේ.

ක්‍රමය:

  • තේ කෝප්පයකට ග්‍රින් ටී බෑගයක් දමා එයට උණු ජලය වත්කරගන්න.
  • තේ එක හොඳින් තැම්බී අවසන් වූ පසු බෑගය ඉන් ඉවත් කරන්න.
  • මෘදු රෙදි කැබැල්ලක් තේ කෝප්පයේ පොඟවමින් එය ඔබේ මුහුණ මත තබාගන්න. එසේ මිනිත්තු 5-10 ක් පමණ සම මත තිබෙන්නට හරින්න.
  • මෙය දිනකට කිහිප වරක්ම සිදුකරන්න.
  1. මුහුණේ ‍රැළි වැ‍ටුණු ස්වභාවය ඉවත් කරගැනීමට: ඔලිව් තෙල් සත්කාරයක්

ඔලිව් තෙල් වල විටමින් A සහ E ගුණ අනූනයි. ඒවා සමට හානි කරන අහිතකර මුක්තකණ්ඩ (free radicals) වලට එරෙහිව සටන් කරමින් සමේ සෛල නැවත වර්ධනය වීමට උපකාර කරයි. ඔබේ සම වියපත් වීම මන්දගාමි කරවමින් සමේ ‍රැළි ස්වභාවය ඉවත් කිරීමට මෙම සම්බාහන සත්කාරය ඔබේ මුහුණට ලබාදෙන්න.

 ක්‍රමය:

  • ඔලිව් තෙල් බිංදු කිහිපයක් ගෙන බඳුනකට දමා එයටම මී පැණි සහ ග්ලිසරින් බිංදු කිහිපයක් ද එක්කර කලවම් කරන්න.
  • මෙම මිශ්‍රණය මුහුණේ ආලේප කරමින් දිනකට දෙවරක් හොඳින් සම්බාහනය කරන්න.

සමේ ‍රැළි වැ‍ටුණු ස්වභාවය අඩුකරගැනීමට පොල් තෙල්, ආමන්ඩ් තෙල් හෝ විටමින් E තෙල් භාවිතා කරමින් මුහුණ සම්බාහනය කල හැකියි.

  1. සමේ සිදුරු අවහිර වීම වළක්වාගැනීමට : මුහුදු ලුණු+ මි පැණි සත්කාරය

මුහුදු ලුණු වල මැග්නීසියම්, කැල්සියම්, සෝඩියම් සහ පොටෑසියම් වැනි ඛනිජ රාශියක් අඩංගු වේ. ඒවා මඟින් සමේ තෙල් නිෂ්පාදනය සමබර කිරීම, සමේ මැරුණු සෛල ඉවත් කිරීම සහ සමේ නව සෛල වර්ධනය වේගවත් කිරීම සිදුකරනු ලබයි.

ක්‍රමය:

  • මෙම ස්ක්‍රබ් එක සකස් කරගැනීමට මුහුදු ලුණු තේ හැඳි 2 ක් සමඟ මි පැණි තේ හැඳි 4 ක් එකට දමා මිශ්‍ර කරගන්න.
  • මිශ්‍රණය පිරිසිදු කරගත් මුහුණේ හොඳින් ආලේප කර මෘදුව අතුල්ලන්න. ඉන්පසුව, මිනිත්තු 15 ක් පමණ සම මත තිබෙන්නට හැර හොඳින් සෝදා ඉවත් කරන්න.
  • මෙම ස්ක්‍රබ් සත්කාරය සතියකට වාර කිහිපයක්ම සිදුකරන්න.

නිකැලැල් සමකට කෝමාරිකා සත්කාර

කෝමාරිකා වල විටමින් C, E , බිටා-කැරොටින් සහ සමේ තෙතමනය ආරක්ෂා කරන ස්වභාවික එන්සයිම මෙන්ම සම වියපත් වීම පාලනය කරන ගුණාංගද ‍රැසක් අඩංගු වේ.කෝමාරිකා මඟින් ඔබේ සමේ තෙතමනය ඇතිකිරීම, pH අගය සමබර කිරීම සහ සමේ නම්‍යශීලි ගුණය වැඩිකිරීම සිදුකරයි. කෝමාරිකා කුරුලෑ සහ ලප කැලැල් තත්වයන් සුවපත් කිරීමට ඉතා හිතකර වන ඖෂධයකි.

සමේ නීරෝගි බව ‍රැකගැනීම සඳහා කෝමාරිකා සත්කාරයක් ලෙස භාවිතා කල හැකි ක්‍රම කිහිපයකි.

  • ක්ලෙන්සර් එකක් ලෙස

කෝමාරිකා යුෂ සමඟ මි පැණි මිශ්‍ර කරමින් ඔබේ මුහුණේ ගල්වාගන්න. ඉන්පසුව, කපු පුළුන් වලින් ඒවා සමෙන් ඉවත්කරගන්න.

  • ස්ක්‍රබ් එකක් ලෙස

කෝමාරිකා මදය, හාල් පිටි හෝ සීනි ස්වල්පයක් එක් කර හොඳින් මිශ්‍රකරන්න. මෙය ඔබේ මුහුණේ මිනිත්තු 1-2 ක් පමණ හොඳින් අතුල්ලාගන්න. ඉන් පසුව, ජලයෙන් මුහුණ හොඳින් සෝදා පිරිසිදු කරගන්න. මෙම සත්කාරය සතියකට 2-3 පමණ සිදුකරන්න.

  • ටෝනර් එකක් ලෙස

කෝමාරිකා යුෂ ගෙන එයට රෝස වතුර මේස හැඳි 2 ක් සහ ඛනිජ ජලය මේස හැඳි 2 ක් දමා කලවම් කරන්න. මෙය හිස් ස්ප්‍රේ බෝතලයකට දමා අවශ්‍ය විට භාවිතා කරන්න.

  • මාස්ක් එකක් ලෙස

සීනි මේස හැඳි 1 ක් , ලෙමන් යුෂ තේ හැඳි 1 ක් , කෝමාරිකා යුෂ තේ හැඳි 1 ක් සහ රෝස වතුර තේ හැඳි 1  දමා හොඳින් කලවම් කරන්න. මිශ්‍රණය සම මත ආලේප කර මිනිත්තු 15-20 ක් පමණ වියළෙන්නට හරින්න. ඉන්පසුව, උණුසුම් ජලයෙන් සෝදා පිරිසිදු කරගෙන සම හොඳින් තෙත මාත්තු කරගන්න.