තරුණ වයසේදී සම වේගයෙන් වියපත්වීමට බලපාන හේතු 9 ක්

health tips

වයසට යාමත් සමඟ සම ආශ්‍රිතව වෙනස්කම් ස්වභාවිකවම ඇතිවිය හැකි වුවත් අකලට සම වේගයෙන් වියපත් වන්නේ අප අනුගමනය කරන ඇතැම් වැරදි පුරුදු සහ බාහිර හේතු සාධක නිසයි.ඇතැම් අය ඉලක්කමින් කොතරම් වයසට ගියත් වයසෙන් බාගයකටත් වඩා අඩු තරුණ පෙනුමකට උරුමකම් කීමට සමත් වෙනවා. බොහෝ විට ඊට ජානමමය හේතු වෙන්නට පුළුවන්.එහෙත් හැමෝටම මේ වාසනාව නැති නිසා තමන්ගේ සම ගැන සැලකිලිමත් වීමට කවුරුත් කටයුතු කළ යුතු බව පෙනී යයි.

එදිනෙදා ජීවිතයේ ඔබ වැඩි අවධානයක් ලබානොදෙන ඇතැම් දේවල් ඔබ නොසිතන ආකාරයෙන් ඔබේ සමට සෘණාත්මක බලපෑම් ඇතිකළ හැකි බව ඔබ දන්නවාද? විශේෂයෙන්ම ඒවායින් ඔබේ සම අකලට වියපත් වි යාමට පවා ඉඩ තිබෙයි.

අද අප ඔබට කියන්නේ ඔබේ සමට වයස්ගත පෙනුමක්  ඇතිවීමට බලපෑ හැකි එවැනි හේතු කිහිපයක් ගැනයි.

ඇස් ඇතිල්ලීම ඇස් යට අඳුරු වෙලාද? මෙම ප්‍රදේශයේ සම ඉතා මෘදු හා සංවේදීය.ස්වභාවිකව සම වයසට යන විට ඇස් යට ප්‍රදේශයේ මේද තට්‍ටු තුනී වී යාමත් සමඟ ඒ ආශ්‍රිතව ‍රැළි වැටීමට පටන්ගනියි.සමට පිරිපුන් හා සවිමත් බව ලබාදෙන්නේ කොලැජන් මඟිනි.වයසට යන විට මෙම කොලැජන් අණු ප්‍රමාණය අඩු වී සම කඩදාසියක් මෙන් තුනී වී යයි.ඇස් යට එල්ලා වැටීම (eye bags) ද සමේ ඇතිවන තවත් වෙනස්කමකි.ඇස් වටා අඳුරු බව ඇතිවීමට අධික ලෙස (නිතර නිතර) ඇස් ඇතිල්ලීමද එක් හේතුවකි.ඉඳහිට කිරීමෙන් අතුරු ආබාධ ඇතිනොවෙයි.ඇස් වල කැසිල්ල ඇතිවීමට ආසාත්මිකතා හෝ දද (එක්සිමා) වැනි තත්වයන් බලපෑ හැකියි.ඇස් අවට සම ඇදීම,රවුමට තද කිරීම හෝ ඇතිල්ලීම එම පෙදෙසට ඇති රුධිර සැපයුමට බාධා ඇතිකරයි. ඇස් වල දැවිල්ල සහිත ඉදිමුම හා ඇස් යට කලුවීමට පවා තුඬු දිය හැකියි.

ඔබේ මවගේ හෝ පියාගේ ඇස් යට අඳුරුබවක් ගනියි නම් ඔබටත් එම තත්වය ඇතැම් විට තිබිය හැකියි.එවැනි තත්වයකදී නම් ඔබට කළ හැකි දේ ඉතා අවම විය හැකියි. ඇස් වටා අඳුරුබව ඔබට වදයක් මෙන් දැනෙන්නේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවී ඔබේ තත්වය පරික්ෂා කරගන්න.

හොඳ නින්දක් නොමැතිකම ඇතැම් අය නින්දට එතරම් ප්‍රමුඛස්ථානයක් දෙන්නේ නැහැ. සුවබර නින්දක් නොමැතිකම ඔබේ නීරෝගීකමට වගේම සමට ද අහිතකරව බලපායි.පැය 7-9ක හොඳ ගුණාත්මක නින්දකින් පසු සිරුරට හොඳ ජවසම්පන්න බවක් ප්‍රබෝධයක් දැනෙයි.සමට නීරෝගී පෙනුමක් එක්වෙයි.නින්දේදී සමේ ගෙවී ගිය සෛල හා පටක අලුත්වැඩියාවෙයි.නින්ද අඩුකම අකලට සම වියපත්වීමට බලපාන හේතුවක් බව අධ්‍යයන පෙන්වාදෙයි.නිතිපතා එකම වෙලාවක නින්දට යාමට එකම වෙලාවක අවදි වීමට උත්සහ කරන්න.නින්දට පෙර අවම පැයකට කළින් හෝ ඩිජිටල් උපාංග වලින් ඈත්වන්න.

ඒවායින් නිකුත්වන නිල් ආලෝකය ඔබේ සිරුරේ නින්ද පාලනය කරන මෙලටොනින් නිෂ්පාදනයට බලපෑම් කරයි.ප්‍රමාණවත් තරම් සිරුරේ මෙලටොනින් නිපද නොවුණ විට ප්‍රමාණවත් නින්දක් සිරුරට නොලැබෙයි.බර ආහාර වේලක් නොගන්න. කැෆේන් අඩංගු පාන වර්ග නොගන්න. ඉන් ඔබේ නින්ද බාධාකාරී විය හැකියි.

බීම බටයකින් උරාබීම මේ පුරුද්ද සමට අහිතකර බව පෙන්වාදෙයි. මුහුණේ මාංශ පේශී සිනාසීමට, ‍රැවීමට හා වෙනත් හැඟීම් ප්‍රකාශනයට සහය වෙයි.බටයකින් උරා බොන විට තොල් ඉලිප්පීමට උපකාරී වන මාංශ පේශී සක්‍රීය වෙයි.එම පේශී භාවිත වන තරමට පේශී ගෙවී යයි. දුම්බොන්නන්ගේ මුහුණේ නැමි,‍රැළි වර්ධනය වැඩි හේතුව වන්නේ ද මෙයයි.එක් වරක් හෝ ඉඳහිට බීම බටයකින් උරා බිවූ පමණින් මුහුණ මෙසේ ‍රැළි වැටීම සිදුනොවෙයි.ගැටලුව ඇතිවන්නේ ඔබ එය නිතර නිතර සිදුකළ විටය.

ආතතිය ආතතියට පත්වීමෙන් ඔබේ සමට ද යම් යම් බලපෑම් ඇතිවෙයි.ආතතිය නිසා මොලයේ ස්‍රාවය වෙන කෝර්ටිසෝල් හෝර්මෝන මට්ටම් ඉහළ යන අතර ඒවා සමේ පෙනුමට ද බලපෑම් ඇතිකරයි.සම ‍රැළි වැටීමට පටන්ගත හැකියි.මීට හේතුව කෝර්ටිසෝල් වල ප්‍රබල බව කොලැජන් නම් සමේ ප්‍රෝටීන විනාශ කර දැමීමයි.ඇස් යට,බෙල්ල, කම්මුල් එල්ලා වැටීමට පටන්ගත හැකියි. ඔබේ ආතතීන් දුරුකරගනිමින් මනස සන්සුන් කරගැනීමට උත්සහ කරන්න. එලිමහනේ ඇවිදීමට යාම,භාවනා කිරීම, යෝගා,මියුරු සංගීතයට ඇහුම්කන් දීම වගේ උපක්‍රම ඔබේ මනස සන්සුන් කරවන උපක්‍රම කිහිපයකි.

සන්ක්‍රීම් භාවිත නොකිරීම සමේ හටගන්නා ‍රැළි වැටීම්, එල්ලාවැටීම්,අඳුරුලප, රතු පැල්ලම් වැනි පැහැදිලි වියපත් වීමේ ලක්ෂණ කෙරෙහි 80%ක්ම බලපාන්නේ පාරජම්බුල කිරණ බව අධ්‍යයන පෙන්වාදෙයි.SPF අගය 30 හෝ ඊට වැඩි සන්ක්‍රීම් එකක් භාවිත කරන්න.සමට හොඳ තෙතමනයක් මෙන්ම හිරු කිරණින් හොඳ ආරක්ෂාවක් ලබාදෙයි.සන්ක්‍රීම් ආලේප කිරීමේදී ඇහිපිය,බෙල්ල, සහ නාසය යට වගේ ප්‍රදේශ ද මගනොහැරගන්න.

අත් වල සම කෙරෙහි අවධානය අඩුකම අකලට සම වියපත් වී ඇති ලක්ෂණ පෙන්නුම් කරන්නේ ඔබේ මුහුණේ පමණක් නොවෙයි. ඔබේ අත් වල සම ආශ්‍රිතව ද එවැනි ලක්ෂණ මතුකළ හැකියි.එසේ වන්නේ ඔබ එම ප්‍රදේශයේ සම කෙරෙහි නිසි අවධානයක් යොමු නොකිරීම නිසයි.සම අධික වෙලාවක් නිරාවරණය වී තිබීමෙන් සම ‍රැළි වැටීම හා නහර ඉලිප්පී පෙනීමට පටන්ගත හැකියි.මේද තුනී වී යාම නිසා පේශී හැකිළි සම එල්ලා වැටීමට පටන්ගනියි.එහිදී සමට යටින් නහර පෑදී පෙනෙයි.හොඳ මොයිෂ්චරයිසිං ක්‍රීම් වර්ගයක් භාවිත කරන්න. සන්ක්‍රීම් ගැල්වීමට ද අමතක නොකරන්න.

අව් කණ්ණාඩි නොපැලඳීම අව්ව අධික කාලවලදී අව් කණ්ණාඩියක් පැලඳීම වඩාත් උචිතයි. ඉන් ඔබේ ඇස් වලට මෙන්ම ඇස් වටා සමට හොඳ ආරක්ෂාවක් ලැබෙයි.අව්වේ සැරට ඇස් හකුළුවාගෙන සිටීම නිසා ඇස් අවට සම ‍රැළී වැටෙන්නට බලයි. නිතර නිතර මෙසේ කිරීමෙන් ඉක්මනින්ම සම එල්ලා වැටීමට ඉඩ තිබෙයි.UV400 ආරක්ෂාව ලබාදෙන  සහ Wide brimmed වර්ගයේ කණ්ණාඩි හොඳ ‍තෝරාගැනීම් වෙයි.

අධික මත්පැන් පානය මත්පැන් පානය ඔබේ සමේ නීරෝගි බවට හානිකරයි.විශේෂයෙන්ම සම විජලනයට තුඬු දිය හැකියි.නිතිපතා අධිකව මත්පැන් පානය කිරීම සමේ තරුණ බව ‍රැකදෙන එහි පවත්නා තෙතමනය දුරුවීමට හේතුවෙයි.මින් සම ‍රැළි වැටීමේ අවදානම ඉහළ යයි.සම වියළී එල්ලා වැටෙයි.

සබන් භාවිතය සම වඩාත් හොඳින් පිරිසිදු කරගැනීමට සිතා අප සබන් භාවිත කරනවා.නමුත් සබන් වලට වඩා මෘදු ක්ලෙන්සර් වර්ගයක් ‍තෝරාගැනීම වඩාත් සුදුසුයි.ඒවා සබන් මෙන් සමේ ස්වභාවික තෙල් ස්තරය ඉවත්නොකරයි.අධික ලෙස සබන් භාවිත කිරීමෙන් සම වියළී යයි. සංවේදී සමක් ඇති අයට රළු සබන් භාවිතය නිසා දද මතුවීම (එක්සිමා) සහ සම රතුවීමට පටන්ගත හැකියි.’මෘදු, ඇල්කොහොල් හෝ සුවඳ විලවුන් රහිත’ ලේබලය සහිත නිෂ්පාදනයක් ‍තෝරාගන්න සැලකිලිමත්වන්න.මුහුණ සේදීමෙන් පසු සමට හොඳ මොයිෂ්චරයිසිං ක්‍රීම් වර්ගයක් භාවිත කරන්න.මින් සමට හොඳ තෙතමනයක් හා පිරිපුන් මෘදු මොළොක් බවක් එක්වෙයි.විෂබීජ පැතිරීම වළක්වාගැනීමට නිතර අත් සෝදා පිරිසිදුව තබාගන්න.