ස්කින් ටැග්ස් එසේත් නැතිනම්, සමේ ගැටිති ස්වභාවයන් (ලප) සමට කිසිසේත්ම හානිකාරී වන්නේ හෝ වේදනාත්මක අත්දැකීමක් ඇති කරන චර්ම ස්වභාවයක් නොවේ. නමුත්, ඒවා මුහුණේ සුන්දරත්වයට බාධා ඇති කරවන නිසා ඒවා ඉවත්කරගැනීමට බොහෝ කාන්තාවන් යුහුසුලු වෙනවා. ඒවායේ හැඩය වඩාත් සුමුදුය. මේවා බොහෝ විට ඇහි පිය, බෙල්ල, පියයුරු වලට පහළින් ඇති සම මත, කිහිළි යට සහ ශ්‍රෝණි ප්‍රදේශය ආශ්‍රිතව හටගත හැකිය.
හානිකර නොවුනත් මෙවැනි වර්ධනය වූ ගැටිති ඉවත් කළ යුතු අවස්ථා ද තිබෙනවා.උදාහරණ ලෙස ආභරණ හෝ ඇඳුම් වල ඇතිල්ලීමෙන් සම මත අපහසුතා ඇතිවීමට හේතුවන ගැටිති ඇත්නම්,නිතර වේදනාවක් ඒවායේ ඇතිවේ නම්,ඔබේ පෙනුම අවලස්සන කරවමින් ඔබේ ආත්මශක්තියට බාධාවක් ආකාරයෙන් සමේ මතුව ඇති ගැටිති ඇත්නම් ඒවා නිසි වෛද්‍ය හෝ විශේෂඥ ප්‍රතිකාර යටතේ ඉවත්කරගැනීමට ඔබට හැකියි.
සමේ හටගන්නා මෙම ස්කින් ටැග්ස් ඉවත්කරගැනීම සඳහා නිවසේදී අනුගමනය කල හැකි ආරක්ෂාකාරී හා සරල ප්‍රතිකාර ක්‍රම කිහිපයක් ගැනයි අද අපි ඔබව දැනුවත් කරන්නේ.
ගැටිත්තට ඇති රුධිර සැපයුම කපා හැරීම

ඇතැම් අය නූලකින් හෝ ඩෙන්ටල් ෆ්ලොස් එකක් ආධාරයෙන් සමේ ඇති ගැටිත්ත වටා එය එතීම මඟින් ඊට ඇති රුධිර සැපයුම අවහිර කරනවා.ජීවීන්ට ජීවත් වීමට ආහාර අවශ්‍යයි වගේම ගැටිත්ත පැවතීමට හා වර්ධනය වීමට පෝෂක සපිරි රුධිරය අත්‍යවශ්‍යයි. මේ සැපයුම කපා හැරීමෙන් ගැටිත්ත හැකිළී සමෙන් ඉවත් ඉවත් වී යයි.ස්ප්‍රීතු දමා ගැටිත්ත අවට පිරිසිදු කරගන්න.නූලක් හෝ ඩෙන්ටල් ෆ්ලොස් කැබැල්ලක් ගෙන ගැටිත්ත වටා ගැටගසන්න.දින 3-6ක් තිබෙන්නට හරින්න.විටින් විට නූල තද කරන්න.දින කිහිපයකින් පසු කුඩා වී ගිය ගැටිත්ත ඉබේම ගැලවී වැටෙනු ඇත.
කෙසෙල් කෙසෙල් වල පොත්ත භාවිතයෙන් මේ පිළියම සිදුකරයි. පොතු වල ප්‍රොටියෝලික් එන්සයිම අඩංගුයි.ඒවා මඟින් සමේ වර්ධනය වී ඇති මෙම ගැටිති වල ව්‍යුහාත්මක බන්ධයන් විනාශ කරදමයි.කෙසෙල් පොතු කුඩා කැබැල්ලක් ගෙන ගැටිත්ත මත තබා ටේප් පටියක් අලවාගන්න. රැයක් පුරා සම මත රැඳෙන්නට හරින්න. මේ පිළියම සතියක් පමණ කිරීමෙන් හොඳ ප්‍රතිඵලයක් ලැබිය හැකියි.පොත්ත සූරා ඉන් ස්වල්පයක් සමේ ගල්වා ටේප් පටියකින් ආවරණය කිරීම ද විකල්පයකි.
විටමින් E විටමින් E සමට බොහෝ ප්‍රතිලාභ දෙන විටමිනයකි.ප්‍රතිඔක්සිකාරක මෙන්ම සම අකලට වියපත් වීම වළක්වන සම සමනය කරන ගුණ ද අඩංගුයි.සමේ ගැටිති ඉවත්කරගැනීමට ද මේවා හොඳ පිළියමකි. ගැටිති හෝ ලප ආශ්‍රිත සම පිරිසිදු කරගන්න, විටමින් E කැප්සියුල් එකක් කඩා එහි බිංදු කිහිපයක් ඒවා මත ආලේප කරන්න.දිනකට කිහිපවරක් මේසේ තෙල් ගල්වන්න.සියුම් දැවිල්ලක් දැනීම සාමාන්‍යයයි.නමුත් දැවිල්ල හෝ රතුගතියක් ඇතිවීම දිගටම සිදුවේ නම් භාවිතය නතර කරන්න.

ටී ට්‍රී තෙල් නියම ටී ට්‍රී ඔයිල් වල ප්‍රති-ක්ෂුද්‍රීය , ප්‍රති-වෛරස මෙන්ම දිලීර නාශක ගුණ රැසක් අඩංගුව පවතියි. සමට ආරක්ෂාකාරී සත්කාරයක් ලෙස භාවිතා කල හැකියි. ඕස්ට්‍රේලියාවට ආවේණික තේ ගසකින් සාදන මෙම තෙල් වල බොහෝ ඖෂධීය ගුණ අඩංගුයි.සමේ ගැටිති වර්ධනය වීම පලානය කරගැනීමට ද හොඳ පිළියමක් ලෙස ක්‍රියාකරයි.සමට මෘදු සුමුදු දීප්තියක් ලබාදෙයි.
සම පිරිසිදුකර වියළා ගන්න. කපු පුළුන් කැබැල්ලක තෙල් බිංදු 2-3ක් ගෙන ගැටිති මත ආලේප කර මිනිත්තු කිහිපයක් තිබෙන්නට හරින්න.ගැටිත්ත දුරුවන තුරු දිනකට තෙවරක් පමණ මේවා ගල්වන්න.සෑම එසෙන්ෂියල් ඔයිල් වර්ගයක්ම සෘජුව සම මත ගැල්වීම සුදුසු නැත. එබැවින් භාවිතයට පෙර ලේබලයේ ඇති උපදෙස් කියවන්න.තෙල් බිංදු 2-3ක් සමඟ පොල් තෙල් හෝ ආමන්ඩ් තෙල් ස්වල්පයක් මිශ්‍ර කර භාවිතය වඩාත් ආරක්ෂාකාරීය.
සුදුලූනු ස්වභාවික ප්‍රති-ක්ෂුද්‍රීය ගුණ සහ දිලීර නාශක ගුණ වලින් අනූන සුදුලූණු මඟින් සමේ හටගන්නා මෙවැනි ගැටිති ස්වභාවයන් ඉතා පහසුවෙන් සමනය කරගත හැකියි.පොතු කබර (සෝරෛයසිස්),ඉන්නන් ඇතුළු සමේ පිළිකා දක්වා පරාසයක සමේ ගැටලු වලට සුදුලූනු ප්‍රතිකාරයක් ලෙස භාවිත කරයි.සමේ මතුවන ගැටිති දුරුකරගැනීමට ද ප්‍රතිලාභ දෙනු ඇත.සුදුලූනු සමේ තන්තු බිඳ දමමින් සමේ ස්තර ඉවත්කිරීමට සහය දෙන නිසා ගැටිති ස්වභාවයන් අඩුවීමට හොඳ සහයක් ලැබෙයි.
සුදුලූනු බිකි කිහිපයක් අඹරා පේස්ට් එකක් සාදාගන්න.ඉන් ස්වල්පයක් ගැටිති මත පමණක් ආලේප කරන්න. අවට සමේ ගැල්වීමෙන් වළකින්න.මිනිත්තු 5-10කට පසු සෝදාහරින්න. සම්පූර්ණයෙන් ඉවත්වන තුරු දිනකට තෙවරක් පමණ භාවිත කරන්න.සංවේදී සමක් මත පිලිස්සුම් ඇතිකළ හැකි නිසා භාවිතයේදි ප්‍රවේසම් වීම ඉතා වැදගත්ය.

ඇපල් සයිඩර් විනාකිරි ඇපල් සයිඩර් විනාකිරි වල අඩංගු ඇසිටික් අම්ල මඟින් සමේ ඇති පටක බිඳදැමීම සිදුකරමින් කාලයත් සමඟ ක්‍රමයෙන් සමේ ගැටිති ස්වභාවය හැලී යාමට ඉඩසලස්වයි. පුළුන් කැබැල්ලකට ඇපල් සයිඩර් විනාකිරි ස්වල්පයක් ගෙන ගැටිති මත ආලේප කර මිනිත්තු 10ක් පමණ සිටින්න.දිනකට තෙවරක් පමණ ගල්වන්න.භාවිතයේදි අපහසුවක් දැනෙයි නම් නැවත ගැල්වීමෙන් වළකින්න.
අත්බෙහෙත් ක්‍රම භාවිතය නුසුදුසු අවස්ථා මොනවාද ?සම මත ඇති සෑම ගැටිති හෝ ලප තත්වයක්ම නිවසේදී ප්‍රතිකාර කරමින් දුරුකරගත නොහැකියි.පිළියම් කිරීමට පෙර ඔබේ සමේ තත්වය පරික්ෂා කරගැනීම වඩාත් සුදුසු වන්නේ ඒ නිසයි.ගැටිති වර්ධනය වී ඇති ඇතැම් ස්ථාන ඉතා සංවේදී බැවින් අත්බෙහෙත් තනිව කිරීම අවදානම් සහගතය.
ඇස් වටා ,ශ්‍රෝණි ප්‍රදේශයේ ගැටිති වර්ධනය වී ඇත්නම්, සම මත විශාල ප්‍රදේශයක් පුරා හෝ ප්‍රමාණයෙන් විශාල ගැටිති වර්ධනය වී ඇත්නම් හෝ ගැටිති වලින් වේදනාවක් දැනෙයි හෝ ඇතුළතින් රුධිරය ගලයි නම් මෙම පිළියම් භාවිත කිරීමෙන් වළකින්න.