සම පැහැපත් කරන වෙනිවැල්ගැට සත්කාරය

health tips

ශ්‍රී ලංකාවේ පහත රට තෙත් කලාපීය වනාන්තර තුළ ඉතා පහසුවෙන් දැකගත හැකි වැල් විශේෂයක් ලෙස වෙනිවැල්ගැට පෙන්වාදිය හැකිය. මෙය කාෂ්ඨිය වැල් විශේෂයකි. ඖෂධ අතර ඉතා ජනප්‍රිය වෙනිවැල්ගැට පස්පංගුව, දස පංගුව වැනි ඖෂධ නිශ්පාදනයේදී එකතු කර ගනියි. 

මෙම වැල් විශේෂය විශාල රුක් ගොමු තුළ අතුපතර විහිදී පැතිරී යයි. එමෙන්ම පුෂ්ප හට ගැනීමේදී ඒක ලිංගික වන අතර එය ගැහැණු මල් හා පිරිමි මල් ලෙස වෙන වෙනම හඳුනා ගත හැකිය. 

වැල් විශේෂයේ ගැට සහිත ස්වභාවය හේතු කොටගෙන වෙනිවැල්ගැට ලෙස හඳුන්වන අතර බාන් වැල් ලෙස ද හඳුන්වනු ලබයි. බාන්වැල් ලෙස හඳුන්වනු ලබන්නේ ඈත අතීතයේදී මී ගවයන් ගැට ගැසීම සඳහා ශක්තිමත් වරපටක් ලෙස මෙම වැල් භාවිතා කල නිසාවෙනි. ඊට අමතරව වනිවැල්, කහවැල් ආදී වශයෙන් ද මෙම වැල් විශේෂය හඳුන්වයි. දීප්තිමත් කහ පැහැයක් මෙම වැල්වල දැකගත හැකිය. 

වෙනිවැල්ගැට ඖෂධීය වශයෙන් බොහෝ ලෙඩ රෝග සඳහා භාවිතා කරයි. ඒ අනුව උණ රෝගය, බඩගිනි නොමැති කම, ආහාර අරුචිය, ආසාත්මිකතා ඇතිවීම, ගෙඩි වණ, තුවාල, සර්ප විෂ, අධික රුධිර වහනය, මුඛ රෝග, මුත්‍රා දැවිල්ල, අතීසාරය, දියවැඩියාව, පනු රෝග, පිටගැස්ම, උෂ්ණාධික බව ආදී වශයෙන් මිනිස් සිරුරේ ඇතිවන ලෙඩ රෝග රැසකට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙස වෙනිවැල්ගැට භාවිත කරයි. 

  • ඖෂධ ලෙස වෙනිවැල්ගැට සම්පූර්ණ ශාකයම යොදා ගනී. 
  • වෙනිවැල් වල ඖෂධීය ගුණ 
  • ආහාර රුචිය වැඩිමේ ගුණය 
  • විස නැසීමේ ගුණය 
  • වේදනා නාශක ගුණය 
  • රසායන ගුණය 
  • ආදී ගුණ අන්තර්ගත වේ. 
  • ළදරු සමට ගුණදායක වේ. 

කුඩා බිළිඳුන්ගේ සමේ ඇතිවෙන ආසාදන තත්ත්වයන් වලදී වෙනිවැල්ගැට අතිශයින්ම සුදුසු වේ. මේ සඳහා වෙනිවැල්ගැට, අමු කහ සහ කොකුම් පොතු සමව ගෙන හොඳින් කුඩුකර පිරිසුදු තලතෙලින් පැසවා එම මිශ්‍රණය සමේ ආලේප කිරීම මගින් ලදරු සමට ඇතිවන ආසාදන දුරුකර ගත හැකිය. එමෙන්ම කුඩා බිළිඳුන් නාවන විට එම ජලයට වෙනිවැල්ගැට කැබැල්ලක් දැමීම ද අතීතයේ සිට පැවත එන සිරිතකි. 

කුඩා දරුවන්ගේ පණු රෝග සුව කරයි. කුඩා දරුවන්ට ඇතිවන පනු රෝග නිසාවෙන් අතීසාර තත්ත්වයන් ඇති වේ. මේ සඳහා වෙනිවැල්ගැට, කහ, කෙලිඳ සහල්, එළබටු ආදිය එක්කර කසායක් සකසා පානය කිරීමට ලබා දෙයි. එමගින් පණුවන් නිසා ඇතිවන අතීසාරය සුවකර ගත හැකිය. 

තුවාල දද කුෂ්ඨ සුව කරයි. මෙවැනි රෝගවලින් පීඩා විඳින පුද්ගලයින්ට හොඳ පිරිසිදු කාරකයක් ලෙස වෙනිවැල්ගැට හඳුනාගත හැකිය. මේ සඳහා වෙනිවැල්ගැට හා අමු කහ තැම්බූ වතුර මගින් සේදීම සිදු කළ හැකිය. එමෙන්ම වෙනිවැල්ගැට, අමු කහ සහ ඇත්තෝර හොඳින් තම්බා එම ජලයෙන්ද මෙම තුවාල දද කුෂ්ඨ සෝදා හැරීම  සිදුකළ හැකිය. 

මුඛ රෝග සුවයට සුදුසු වේ. සියලුම ආකාරයේ මුඛ රෝග සඳහා වෙනිවැල්ගැට මිශ්‍ර කරගත් පහත ඖෂධය වඩාත් යෝග්‍ය වේ. මේ සඳහා වෙනිවැල්ගැට, අරළු, බුලු, නෙල්ලි, සමන්පිච්ච කොළ, රසකිඳ, වියලි මිදි හා අසමෝදගම් තැම්බූ ජලය භාවිතා කරමින් දිනපතා මුඛය සෝදා හැරීම වඩාත් යෝග්‍ය වේ. මෙය ස්වාභාවික මුඛ පිරිසුදුකාරකයකි. 

ආසාත්මිකතාවන් දුරුකරයි. ශරීරයේ ඇතිවෙන අසාත්මිකතාවයන් සඳහා වෙනිවැල්ගැට, පත්පාඩගම් හා කොත්තමල්ලි හොඳින් තම්බා එම ජලය පානය කිරීමට ලබා දෙයි. එමගින් ආසාත්මිකතාවයන් දුරු කරගත හැකිය. 

කූඩැල්ලන් සපා කෑමෙන් ඇතිවන තුවාල සුව කරයි. මේ සඳහා වෙනිවැල්ගැට එළඟිතෙලෙන් අඹරා එම ආලේපනය කූඩැල්ලන් සපා කෑමෙන් ඇති වූ තුවාලවල ආලේප කිරීමෙන් එම තුවාල සුව කරගත හැකිය. 

මුහුණේ සම පිරිසුදු කරයි. මුහුණේ සම පිරිසිදු කරන පිරිසිදු කාරකයක් ලෙස වෙනිවැල්ගැට පෙන්වාදිය හැකිය. මේ සඳහා වෙනිවැල්ගැට කුඩු මී පැණි වලින් අනා එම ආලේපනය මුහුණේ ආලේප කර තබා මද වේලාවකින් සෝදා හැරීම මගින් මුහුණේ සම පිරිසිදු කර ගත හැකිය. කාන්තාවන්ගේ රූ රහස් වල අනිවාර්ය ඖෂධයක් ලෙස ද වෙනිවැල්ගැට අන්තර්ගත වේ. 

උණ රෝගය සුව කරයි. ඉඟුරු, කොත්තමල්ලි හා වෙනිවැල්ගැට තැම්බූ ජලය පානය කිරීමෙන් උණ රෝගය සුව කරගත හැකිය. එමෙන්ම වෙනිවැල්ගැට හා පත්පාඩගම් තම්බාගත් ජලය පානය කිරීම මගින් ද උණ රෝගය සුව කරගත හැකිය. 

හිසේ කැක්කුම සුව කරයි. අධික වේදනා ගෙන දෙන රෝගී තත්ත්වයක් ලෙස හිසේ කැක්කුම පෙන්වා දිය හැකිය. වේදනාව නැති කර ගැනීම සඳහා බටහිර ඖෂධ වෙත යොමු වීමට වඩා වෙනිවැල්ගැට ඇල් දියෙන් අඹරා හිසෙහි ආලේප කර තැබීමෙන් හිසේ කැක්කුම සුවකර ගත හැකිය. 

පිටගැස්ම සුව කරයි. ආයුධවලට කැපුනු අවස්ථාවලදී, යකඩ ඇණ ඇනුනු අවස්ථාවලදී, හදිසි අනතුරු වලදී මෙන්ම මලකඩ ආශ්‍රිත දේවල් වලට සීරුනු විටදී පිටගැස්ම ඇතිවිය හැකිය. මෙහිදී වෙනිවැල්ගැට, කොත්තමල්ලි හා සුදුලූනු තම්බාගත් ජලය පානය කිරීමට ලබා දෙයි. 

අක්ෂි රෝග සුව කරයි. ඇස ආශ්‍රිතව ඇතිවන කැසීම්, රතු වීම්, ඉදිමීම වැනි තත්ත්වයන් වලදී වෙනිවැල්ගැට තැම්බූ වතුරෙන් ඇස් සේදීම හෝ වෙනිවැල්ගැට තැම්බීමෙන් තොරව ලබා ගන්නා යුෂ වලින් ඇස් සේදීම සිදු කරයි. 

පිපාසය සංසිඳුවයි. වෙනිවැල්ගැට යනු පිපාසය සංසිඳුවාලන කදිම ඔසුවකි. අතීතයේ බොහෝ මිනිසුන් හේන් ගොවිතැන් සිදුකිරීමේදී ඒ අසල පවතින වෙනිවැල්ගැට වැලක් කපා එහි යුෂ බැසීමට තබා පානය කරමින් පිපාසය සංසිඳුවා ගෙන ඇත. 

මේ ආකාරයට ගත් කල වෙනිවැල්ගැට යනු මිනිසාට ඖෂධීය ගුණ රැසක් ලබා දෙන ඔසුවකි. වර්තමානයේ දී වාණිජමය වටිනාකම හේතුකොටගෙන ව්‍යාජ ලෙස සකස් කරන ලද වෙනිවැල්ගැට කොටස් විකිණීමට තිබේ. ඒ පිළිබඳ සැලකිලිමත් වෙමින් මිලදී ගැනීම සිදුකළ යුතුය.