පැහැපත් සමක් කියන්නේ කාන්තා පුරුෂ භේදයකින් තොරව හැමෝම ප්‍රාර්ථනා කරන දෙයක්. ඒ වගේම සම කියන්නේ අපේ ශරීරයේ විශාලම ඉන්ද්‍රිය වගේම සිරුරේ නීරෝගීභාවය ඉතාමත් හොඳින් පෙන්නුම් කරන්නක්. ඉතින් සමේ දීප්තිය, පැහැය වගේම වියළි බවින් තොරවීම අපේ පෙනුම වැඩි කරන්නට හේතු වෙනවා. බොහෝදෙනා සමේ පැහැය වැඩි කර ගන්නට කෘතීම ආලේපන වර්ග අධික මිලට ගෙන භාවිතා කරනවා. එය ඇතැම්විට විවිධ හානිදායක තත්ත්වයන් ඇති කරන්නට හේතු වන අවස්ථා ඕනෑ තරම්. ඉතින් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ වේගයෙන් නීරෝගීව හා සෞඛ්‍යාරක්ෂිතව පැහැපත් වෙන්නට හැකි ස්වභාවික පානයන් පිළිබඳවයි. අපේ සමේ පැහැයට වගේම නීරෝගී බවටත් අපි ගනු ලබන ආහාරවලින් ඇති කරන්නේ ඉතා විශාල බලපෑමක්. හොඳ පෝෂ්‍යදායි ආහාර ගැනීමෙන් ඔබේ සම,හිසකෙස් ඇතුළු සෑම අංගයක්ම ඉතා හොඳින් දීප්තිමත්ව වර්ධනය කරගන්නට පුළුවන්. ඒ සඳහා භාවිතා කරන්නට හැකි අපූරු ගුණවත් රසවත් පානයන් බොහොමයක් අතුරින් අද අපි ඔබට එයින් කිහිපයක් හඳුන්වා දෙන්නම්. මේ පානයන් ආහාරයට ගැනීමෙන් සමට අවශ්‍ය පෝෂණය නිසිපරිදි ලැබීම නිසා දීප්තිමත් සමක් සහ ආකර්ශණීය පැහැපත් බවක් ලබා ගන්නට ඔබට හැකියාව ලැබේවි.

කැරට් සහ බීට් රූට් පානය දීප්තිමත් සහ පැහැපත් සමකට කැරට් ආහාරයට ගැනීම සුදුසු බව ඔබත් දන්නා කාරණයක්. කැරට්වල අඩංගු ඉතා ඉහළ බීටා කැරොටීන් ප්‍රමාණය ඇතුළු අනෙකුත් පෝෂක සම පැහැපත් කිරීමෙහිලා විශාල බලපෑමක් සිදු කරනවා. කැරට් වගේම බීට් රූට් කියන්නේ සින්ක්, යකඩ, මැන්ගනීස්, විටමින් C ආදී පෝෂක අඩංගු සමේ පැහැය වැඩි කරන තවත් අපූරු ආහාරයක්. කැරට් අලයකින් සහ බීට් රූට් අලයකින් භාගයක් පොතු ඉවත් කර අවශ්‍ය පමණට ජලය එකතු කර බ්ලෙන්ඩර් කර ගැනීමෙන් මේ පානය සකසා ගන්නට ඔබට පුළුවන්. බීට් රූට්වල සීනි අඩංගු නිසා බාහිරින් සීනි එකතු කිරීමත් අවශ්‍ය වන්නේ නැහැ.
පැපොල් පානය පැපොල් කියන්නේ ඔබ අපි හැමෝම දන්නා රුව ලස්සන කරන සමේ පැහැය වර්ධනය කරන රසවත් වගේම ගුණවත් පලතුරක්. පැපොල්වල අඩංගු පැපේන් එන්සයිමය අපේ සමේ ඇදෙන සුළු බව වැඩි කරමින් සමට පෝෂණය ලබාදී සම පැහැපත් කරන්නට දායක වෙනවා.ඉතින් සම පැහැපත් කරගන්නට වඩාත් උනන්දු වෙන ඔබට පැපොල් යුෂ සකස් කර නිතර පානය කරන්නට පුළුවන්.
තක්කාලි පානය තක්කාලි එළවලුවක් විදියටත් පලතුරක් විදියටත් අපි නිරන්තරයෙන් ආහාරයට එකතු කර ගන්නවා. ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් සමන්විත තක්කාලිවල විටමින් බොහොමයක් ද අඩංගු වෙනවා.සමේ රැලි ඇතිවීම වළක්වා සමේ තරුණ පෙනුම කාලයක් පවත්වා ගන්නටත්, හිරු එළියට පිළිස්සීමෙන් සමේ වර්ණය වෙනස්වීම් යථා තත්ත්වයට පත් කර ගන්නටත් තක්කාලි ඉතාම යෝග්‍යයි. පිසීමේදී ආම්ලික බව ඉහළ නිසා සහ තක්කාලි සතු පෝෂණය නිසි පරිදි ලබා ගන්නටත් සුදුසුම ක්‍රමය වෙන්නේ තක්කාලි යුෂ පානයක් ලෙස සකස් කර ගැනීමයි.
නිවිති පානය නිවිති එළවලුවක් තෙම්පරාදුවක් විදියට හෝ පරිප්පු හෝ කොස් ඇට සමඟ පිස ආහාරයට ගන්නා බව ඔබ දන්නවා.නමුත් බොහෝදෙනා මේ නිවිති යුෂ පානයක් ලෙස ආහාරයට ගන්නේ නැහැ. නමුත් නිවිති පිස ආහාරයට ගන්නවාට වඩා ඉහළ පෝෂණ ගුණයක් අමුවෙන් සකසා පානයක් ලෙස සකස් කර ගැනීමෙන් ලැබෙනවා. දිනපතාම නිවිති යුෂ වීදුරුවක් පානය කළහොත් ලෙඩ රෝග බොහොමයක් සුව කරගන්නට වගේම සමේ දීප්තිය සහ පැහැය ඉතා ඉක්මනින් වර්ධනය කර ගන්නටත් එය ඔබට මහත් උපකාරයක් වේවි.

පිපිඤ්ඤා පානය රුව ලස්සන කර ගන්නට විවිධාකාරයෙන් අපි පිපිඤ්ඤා භාවිතයට ගනු ලබනවා. පිපිඤ්ඤා සතු කැෆෙයික් අම්ලය ඇතුළු අනෙකුත් පෝෂක සංඝටකයන් අපේ සමේ තෙතමනය ආරක්ෂා කර සමේ දීප්තිය ඇති කරන්නට ඉතා විශාල මෙහෙයක් සිදු කරනු ලබනවා.ඒ නිසාම පොත්ත ඉවත් කරගත් පිපිඤ්ඤ ගෙඩියක් ජලය යොදා හෝ නොයොදා බ්ලෙන්ඩර් කර උදෑසන දිනපතා පානය කිරීමෙන් ඉතා වේගයෙන් ඔබේ සමේ පැහැය වර්ධනය කර ගන්නට පුළුවන්. ස්වාභාවිකව පිපිඤ්ඤා සතු රසවත් බව නිසා එයට සීනී හෝ ලුණු එකතු කරන්නට අවශ්‍ය වන්නේ නැහැ.
ලෙමන් ඉඟුරු පානය විටමින් C බහුල ලෙමන් සහ ඉඟුරු එකට එකතු කර පානයක් ලෙස නිතර ලබා ගැනීමෙන් සමේ දීප්තිය වඩා වේගයෙන් වර්ධනය කර ගන්නට ඔබට හැකියාව ලැබෙනවා.
කෝමාරිකා පානය සමට සිදුවන බොහෝ ගැටළුවලට හොඳම පිළිතුර තමයි කෝමාරිකා කියන්නේ.කුරුලෑවලට, ලප කැලැල්වලට, පිළිස්සුණු සමට, විවිධ අහිතකර ආලේපන නිසා ඇතිවූ ආසාදන ආදී සියල්ලටම අපිට කොමාරිකා අතිශයින්ම වැදගත් වෙනවා. සමේ තෙතමනය පවත්වා ගන්නට, සම පැහැපත් කරන්නට කෝමාරිකාවල අඩංගු ඕක්සීන් සහ ගිබරලින් කියන සංයෝග දෙකට ඇත්තේ පුදුමාකාර හැකියාවක්. සමට බාහිරින් ආලේප කරනවාට වඩා එය ශරීරය අභ්‍යන්තරයට පානයක් ලෙස ලබා ගැනීමෙන් සම ඇතුළතින් පෝෂණය කර සමේ දීප්තිය වැඩි කරනවා.
ඉතින් නිතර අපි ආහාරයට එකතු කර ගන්නා මේ ස්වභාවික එළවලු පලතුරු පානය කිරීමෙන් නීරෝගී සමක් සහ පැහැපත් බවක් ඉතා ඉක්මනින් වගේම අතුරු ආබාධ රහිතව ලබා ගන්නට ඔබට පුළුවන්.එය ඔබේ සෞඛ්‍යයට වගේම මුදල් පසුම්බියටත් වාසිදායකයි.