මිනිසුන්ගෙන් 40%ක් පමණ රාත්‍රියට නිදා ගන්නා විට “රාත්‍රි නිදන ඇඳුමකින්” එහෙමත් නැත්නම් පජාමාවකින් (Pajama)සැරසෙනවා. එයට හේතුව එවැනි ඇඳුමක් ඉතා පහසු හා උණුසුම් වීමයි. විශේෂයෙන්ම ශීත කාලයකදී. නමුත් එවැනි ඇඳුමකින් ඔබේ නින්දට, බාහිර පෙනුමට සහ සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇතිවන බව ඔබ නොදන්නවා ඇති. ලිහිල් කපු නිදන ඇඳුමක් වෙනුවට, ඉතාම සුව පහසු සුසිනිදු සිරුර උණුසුම් කරවන ඝනකම රෙදි වලින් නිපදවන නවීන පන්නයේ පජමා නිසා ඔබට නින්දේදී දැඩි උණුසුමක් දැනීමත්, ඒ නිසා නින්ද නොයාම සහ විඩාබරව උදෑසන අවදි වීමට සිදු වෙන්නත් පුළුවන්. ඒ නිසා උණුසුම් පජමා වර්ග රාත්‍රි නිදන ඇඳුමක් ලෙස නොගැලපෙන්නේ කුමන හේතු නිසා දැයි මේ ලිපියෙන් අපි සොයා බලමු.
- නින්දේ ගුණාත්මකභාවයට හානි පැමිණවීම.

රාත්රියේදී ඔබේ සිරුර විසින් නිවැරදි උෂ්ණත්වයක් පවත්වා ගත යුතු නිසා උණුසුම් පජාමාවකින් සැරසී නිදන විට ඔබට අවිවේකී බවක් දැනිය හැකියි. ඔබේ සමට හුස්ම ගැනීමට ඉඩ සලසමින් වඩාත් සුව පහසුවක් සලසන නිසා රාත්‍රී නිදන ඇඳුම් සඳහා වඩාත් සුදුසු වන්නේ කපු රෙද්දයි. කපු රෙදි තරම් මෘදු නැතත්,හොඳින් අවශෝෂණය කරගන්නා සුවපහසු අමුද්‍රව්‍යයක් වශයෙන් ලිනන් රෙදිද රාත්‍රී ඇඳුම් සඳහා සුදුසුයි.
- කුරුලෑ හට ගැනීම.

රාත්‍රි නින්දේදී දහඩිය දමන විට මුහුණ ඇතුළු ඔබේ සිරුරේ සම පුරා දහඩිය හේතුවෙන් ඇතිවන කුරුලෑ හටගත හැකියි. උෂ්ණත්වය සහ දහඩිය දැමූ පජාමාව සිරුරේ ඇතිල්ලීම නිසා සමේ සිදුරු (pores) අවහිර වෙමින් ඇක්නි ඇතුළු සමේ ගැටලු ඇතිවිය හැකියි. “උණ රෙදිපිළි” ( Bamboo fabric/බැම්බු ෆැබ්රික් – උණ ශාකයේ තන්තු වලින් නිපදවන සිල්ක් වැනි රෙදිපිළි වර්ගයක්) රාත්‍රී නිදන ඇඳුම් සඳහා තෝරා ගැනීමෙන් ඇක්නි ඇතිවීම වළක්වා ගත හැකියි. ප්‍රති ක්ෂුද්රජීවීමය සංඝටක අඩංගු මෙම පරිසර හිතකාමී රෙදිපිළි වර්ගය කපු වලටත් වඩා මෘදු හා අවශෝෂණ ගුණයෙන් යුක්තයි.
- ආසාදන ඇතිවීම.

රාත්‍රියේ දහඩිය දමනවා නම් ඔබට සමේ ආසාදන ඇතිවීමේ අවදානම වැඩියි. අඳුරු ස්ථානවල බැක්ටීරියා හොඳින් වර්ධනය වන අතර ඔබ රාත්‍රියේ නිදන විට උණුසුම් ඇඳුම් හා බ්ලැන්කට් වලින් සිරුර ආවරණය කරගෙන සිටීමෙන් බැක්ටීරියා වලට වර්ධනය විය හැකි හොඳ පරිසරයක් ඔබ නිර්මාණය කරනවා.
- ප්‍රජනන සෞඛ්‍යයට බලපෑම් කිරීම.

රාත්‍රියට කලිසම් ඇඳීමෙන් වැළකීම මගින් පුරුෂයන්ගේ ශුක්‍රානු වල ගුණාත්මකභාවය වැඩිවන බව අධ්‍යයන වලින් පෙන්වා දෙනවා. ඇඟට හිර යට ඇඳුම් හෝ උණුසුම් පජමා වලින් සැරසී නින්දට යාමෙන් ලිංගික ප්‍රදේශ වලට වැඩිපුර දහඩිය දැමීම සිදු වෙනවා. එසේම වැඩිපුර දහඩිය දැමීමෙන් ප්රධාහකාරී තත්වයන් සහ ආසාදන ඇතිවිය හැකි නිසා එය කාන්තාවන්ගේ සරුභාවය කෙරෙහිත් බලපෑම් ඇති කරනවා.
- සිරුර ස්වභාවික ලෙස උෂ්ණත්වය ජනනය කිරීමෙන් වැළැක්වීම.

ඔබ සිරුර උණුසුම් කරන ඇඳුම් වලින් සැරසී නින්දට යන විට සිරුරේ උෂ්ණත්වය පහළ යාම සිදු නොවන අතර එය නින්දට බාධාකාරී විය හැකියි. අඩු උෂ්ණත්වයක් පවත්වා ගැනීම තුළින් සිරුර ඉක්මනින් යථා තත්වයට පත් වන අතර පරිවෘත්තීයත් උත්තේජනය කෙරෙනවා. රාත්‍රී නිදන ඇඳුමක් සඳහා කපු වෙනුවට ආදේශකයක් අවශ්‍ය නම් ඔබට සිල්ක් රෙදි භාවිතා කළ හැකියි. සිල්ක් නොහොත් සේද රෙදි වල නූල් අතර උෂ්ණත්වය රඳවා තබා ගන්නා නිසා ස්වභාවික උෂ්ණත්ව යාමකයක් වන එවැනි රෙදි මගින් සීතල රැයකදී වුණත් ඔබට ප්‍රමාණවත් තරම් උණුසුමක් ලබාදිය හැකියි.