හිටපු ගමන් හැදෙන නිදි උලුක්කු ක්ෂණිකව සුව කරන සත්කාර 3 ක්

health tips

උදේට අවදි වෙද්දි ගොඩක් අය පීඩාවට පත්ව සිටින  වඩාත් වේදනාකාරී තත්ත්වයක් තමයි නිදි උලුක්කුව. බෙල්ල එහාට මෙහාට හරවන්න බැහැ. දවස් ගාණක් තිස්සේ මේ බෙල්ලේ කැක්කුම ඔබව පීඩාවට පත්කරනවා. අපේ නොදැනුවත්කමින් සිද්ධ වෙන බොහෝ ආබාධ අතුරින් එකක් තමයි මේ නිදි උලුක්කුව.

 මෙවැනි ආබාධයකට  ලක් වුණාට පස්සේ  මුළු දවසම කොතරම් වේදනාවෙන් ද කාලය ගත කරන්න වෙන්නේ කියලා මේ සම්බන්ධයෙන් අත්දැකීම් තියෙන ඔබ දන්නවා ඇති. මෙය වඩාත්  බරපතළ මට්ටමේ රෝග තත්ත්වයක් නොවුණත් මේ පිළිබඳව යම් දැනීමක් අපි හැමෝම තුළ තියෙන්න ඕන. මොකද ඕනම කෙනෙකුට ඕනෑම අවස්ථාවකදී  නිදි උලුක්කුවක් ඇති වෙන්න පුළුවන්.

 එහිදී ඇතිවන වේදනාවන් සහ අපහසුවෙන් ගැලවෙන්න අපි හැමෝම දැනගෙන ඉන්න ඕන නේ . ඉතින් ඒ නිසාම අපි අද  කතා කරන්නේ ගොඩක් දෙනෙක්ට ඕනම වෙලාවක ඇති වෙන්නට හැකි නිදි උලුක්කුව  සඳහා කළ හැකි පිලියම් කීපයක් ගැන. තමන් නිදා ගත් කොට්ටය අව්වේ දමා හොඳින් වේලා ගැනීමෙන්  පසුදා හොඳින් නිදා ගන්නට හැකි බව ගැමියන් අතර  ප්‍රචලිතයි. නමුත්  නිදි උලුක්කුවට එය  ප්‍රතිකාරයක් නම් නෙවෙයි .

සරලවම කතා කළොත් බෙල්ල දෙපස පසුපස පිහිටා තියෙන පේශීන් ආදිය තදවීම එහෙම නැත්නම් හිස එහා එහා මෙහා කිරීමට නොහැකි වන ආකාරයට බෙල්ල ගල් ගැසීම තමයි මේ නිදි උලුක්කුවකදී සිද්ධ වෙන්නේ. මෙහි ප්‍රධාන ලක්ෂණය තමයි බෙල්ල උරහිස් පැත්තට නැවී තිබීම. ඊට අමතරව හිස කරකැවීමට අපහසුවීම බෙල්ලේ තද ගතිය, ආහාර හැපීමට අපහසු වීම වගේ දක්වන්න පුළුවන්. 

නිදි උලුක්කුව සඳහා කළ හැකි ප්‍රතිකාර

අයිස්වලින් තැවීම-නිදි උලුක්කුවක්  ඇති වුණු අවස්ථාවකදී බෙල්ල ප්‍රදේශය අයිස් වලින් තැවීම සිදු කිරීම සහනයක් සලසා ගැනීමට උදවු වෙනවා. එහිදී තැවීමට ගන්නා අයිස් රෙදි කැබැල්ලක ඔතා ගැනීම අනිවාර්යයි. එකතැන වැඩි වේලාවක් තබා සිටීම සුදුසු නැහැ. මේ ප්‍රතිකර්මය පළමු දින සිදු කළ යුතුයි. එදින බෙල්ල හැරවීමට කරකැවීමට උත්සාහ නොගන්නටත් ඔබ වගබලා ගත යුතුයි. බොහෝ දෙනෙක් සිතන්නේ කොහොමහරි නැතිවුණු  චලන පරාසය ඉක්මනින් ලබාගන්න. නමුත් එයින් මේ රෝග  තත්ත්වය තවත් වැඩි වෙනවා. මොකද මාංශ පේශීවල දෘඩ බව තවත් වැඩි වෙන නිසා. 

මී ඇට තෙල්-නිදි උලුක්කුවට වඩාත් සාර්ථක ලෙස සහනයක් ලබාගන්නට මේ මී ඇට තෙල් අපිට උදව් වෙනවා. 

මේ මී තෙල් බෙල්ලේ හොඳින් ආලේප කර සෙමින් සම්භාහනය කරන්න. ඉන්පසුව උණු බත්වලින් පොට්ටනියක් සකසාගෙන ගෙල ආශ්‍රිත ප්‍රදේශය හොඳින් තවන්න.

 මී ඇට තෙල් ස්වල්පයක් මේස හැන්දකට අරගෙන එයට කපුරු පෙත්තක් දමා පොල්තෙල් පහනකින්  සෙමෙන් රත් කරන්න. මද රස්නය තිබියදී. ඒ තෙල් වේදනා ගෙනදෙන බෙල්ලේ හොඳින් ආලේප කරන්න. 

වැලි -වැලි කබලේ බැද ගෙන ගිනියම් වූ විට විනාකිරෙන් තෙත්කර පොට්ටනි බැඳ තවන්න.

ලුණු  -ලුණු ස්වල්පයක් කුඩු කර ඒවා බැද තවාගන්න. ඒ වගේම හිස තබන කොට්ටය තද වී තිබීමත්  නිදි උලුක්කුවට හේතුවක් වන නිසා කොට්ටය  තද අව්වේ වියළා බුරුල් වූ පසු භාවිතයට ගැනීමත් මෙයින් මිදෙන්නට උදව් වෙනවා.

 මේ පිළියම් හැරුනහම පේශීන් ලිහිල් කරන ව්‍යායාම සිදු කිරීම තුළිනුත් මේ නිදි උලුක්කුව සුවපත් කරගන්නට හැකියාව තියෙනවා. නමුත් මේ සියල්ලෙන්ම ප්‍රතිඵලයක් සුවයක් නැත්නම් විශේෂයෙන්ම  දින තුනක් ඉක්ම ගිය පසුවත්  සුවයක් නැත්නම් වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්.