ඕනෑම සර්ප දෂ්ටයකදී ජීවිතේ බේරා ගැනීමට කල්තියා දැනසිටිය යුතු දේවල් 25 ක්

health tips

අපි හැමෝගේම ජීවිතය පරිසරයත් සමඟ  හරි අපූරුවට බැඳී තියෙනවා. ඉතින් මේ මහපොළව, ගස් වැල් වාතය, ජලය වගේම සතා සීපාවත් අපේ පරිසරයේ ප්‍රමුඛ කොටසක්. ඒ නිසා සිතා විමසා කටයුතු කරන්නට උසස් බුද්ධියක් ඇති මිනිසා වන අපිට කෙදිනකවත් පරිසරය වෙනස් කරන්නට බැහැ. අපි හැමෝම පරිසරයේ කොටස්කරුවන් පමණයි. ඉතින් අප අවට පරිසරයේ ජීවත් වෙන සතුන් අතුරින් වැඩිදෙනෙක් දකින්නට අකමැතිව සතුන් කොට්ටාශය ලෙස උරගයන් හඳුන්වන්නට පුළුවන්. ඔවුන්ගේ පෙනුම වගේම විශ සහිත බව එයට හේතුවයි. කොහොමවුණත්  ඝර්ම කලාපීය රටක් වෙන ශ්‍රී ලංකාවේ බහුලවම සර්පයන් ජීවත් වෙන නිසා තරමක් බරපතල සෞඛ්‍ය  ගැටළුවක් බවටත් මේ සර්ප දෂ්ටනය පත්ව තියෙනවා. දැනට සර්ප විශේෂ 104 ක් පමණ හඳුනාගෙන තියෙනවා.

සර්පයෙක් දෂ්ට කළ විට ඇතිවන බරපතල තත්ත්වයන් දන්නා අපි ප්‍රමුඛයෙන්ම කළ යුත්තේ මෙවැනි සර්ප දෂ්ටනයකට ලක් නොවෙන්නට වග බලා ගැනීම. මොකද සර්ප දෂ්ටනයන් ග්‍රාමියව විතරක් නෙවෙයි නාගරිකවත් දකින්නට ලැබෙන නිසා. මෙවැනි අනතුරක් අපිට නිවසේ දී  වගේම නිවසින් බාහිරවත් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේ අවස්ථාවක් අනිවාර්යෙන් ඔබ ඒ සර්ප විෂ ඔබේ ජීවිතයට හෝ ඔබේ සමීපතමයාගේ ජීවිතයට හානියක් නොවෙන්නට රෝගීයාව රෝහල්ගත කරන තුරු අනුගමනය කළ යුතු වැදගත් කරුණු කාරණා කිහිපයක්ම පවතිනවා.

සර්පයන් ඕනෑම අවස්ථාවක ඕනෑම ස්ථානයක සිටින්නට පුළුවන්. ඒ නිසා අපේ සැලකිලිමත් බව සර්ප දෂ්ටනයන්ට ගොදුරු නොවී සිටින්නට වැදගත් වෙනවා.සාමාන්‍යයෙන් බොහෝවෙලාවට සර්පයෙක් දෂ්ට කරන්නේ ඒ සර්පයාව පෑගීමක් සිදු වුණොත් හට ගන්නා කෝපය සහ තමන්ගේ ආරක්ෂාව උදෙසා. ඒ වගේම  ගොදුරු සොයා යන අවස්ථාවේදී  උගේ ඉලක්කය වැරදේ යැයි ඇතිවන බිය නිසා. කොහොමවුණත් සර්පයෙක් දුටු විට ඒ සතාව මගහැර යාම වින ඔවුන් මරාදමා විනාශ කිරීම නම් නොකළ යුත්තක්. මොකද අපේ පරිසරයේ සමතුලිත බව සඳහා ඔවුන් අත්‍යවශ්‍ය කොටසක් වන නිසා. 

කුමන හෝ හේතුවක් මත සර්පයා පාදයේ මාපටඇගිල්ල හෝ දණහිසෙන් පහළ කොටසට දශ්ට කරන්නට පුළුවන්. සමහර අවස්ථාවල ගස් උඩ සිටින විෂ සහිත සර්පයන් පුද්ගලයා ගසට නැගීමේදී හිසට හෝ බෙල්ලට දෂ්ට කරන්නට පුළුවන්. ඒ හැරුණාම දේහයේ ඕනෑම ස්ථානයට සර්ප දෂ්ටනයක් එල්ල වන්නට පුළුවන්. 

ශ්‍රී  ලංකාවේ හමුවන උග්‍ර  විෂ සහිත සර්පයන් අතරට, 

  • නයා 
  • තෙල් කරවල (මග මරුවා )
  • දුනු කරවලා (පොලොන් කරවලා )
  • තිත් පොළගා (දාර පොලගා )
  • වැලි  පොලගා 
  • පොලොන් තෙලිස්සා (කුණකටුවා ) 

ඇතුළත් වෙනවා. මේ සර්පයන් අතුරින් වැඩි මරණ ගණනකට හේතු වෙන්නේ තිත් පොලගා, නයා සහ කරවලා යන සර්පයන්ගේ දෂ්ට කිරීම්. දිවා  කාලයට වඩා රාත්‍රී  කාලයේදී මෙවැනි අනතුරු වැඩි නිසා තමන්ගේ සැලකිලිමත් බව මෙවැනි සර්ප දෂ්ටනවලින් වැළකීමට අනිවාර්ය වෙනවා.

සර්ප දෂ්ටනයක් සිදුව ඇති බව හඳුනා ගැනීම 

සර්පයන් දෂ්ට කළ විට ඇතිවන රෝග ලක්ෂණ දෂ්ට කළ සර්පයා  අනුව සහ දේහයට ඇතුළු වුණු විෂ ප්‍රමාණය අනුව වෙනස් වෙනවා.

  • වේදනාව සාමාන්‍යයෙන් සර්පයෙක් දෂ්ට කළ විට ක්ෂණික වේදනාවක් ඇති වෙනවා.නමුත් ඇතැම් සර්පයන් දෂ්ට කිරීම්වලදී වේදනාවක් ඇති නොවෙන්නත් පුළුවන්.
  • ලේ ගැලීම වේදනාවක් සහිතව වගේම වේදනාවක් රහිතව වුණත් සර්ප දෂ්ටනයකදී රුධිරය ගැලීමක් වන්නට හැකියාව තියෙනවා.
  • දෂ්ටනයට ලක් වූ ස්ථානය රතු වීම 
  • ඉදිමීම හා කළු තලා වීම ඇතැම් අවස්ථාවකදී ලේ ගැලීමක් හෝ වේදනාවක් නොමැතිව ඉදිමීමක් හෝ කළුතලා වීමක් දකින්නට ලැබෙනවා. 
  • වමනය
  • ක්ලාන්තය 
  • කරකැවිල්ල 
  • පෙනීම දුර්වල වීම . එනම් එක දෙක බැගින් අපැහැදිලිව පෙනීම 
  • හුස්ම ගැනීමේ අපහසුව 
  • ලේ වමනය 
  • ගුද මාර්ගයෙන් ලේ ගැලීම 
  • දහදිය වැඩි වශයෙන් දැමීම 
  • කෙළ බේරීම 
  • මැලීනා තත්ත්වය (තද කලු තාර මෙන් මලපහ පිටවීම) 
  • අත් පා පණ නැතිවීම 
  • විෂ දළවල සලකුණු  දකින්නට ලැබීම 

සාමාන්‍යයෙන් දෂ්ට කළ සර්පයා හඳුනා ගැනීම ඉතා අපහසුයි. නමුත් නාගයෙක් දෂ්ට කළ බව ඒ දෂ්ට කළ ස්ථානය පරීක්ෂා කිරීමෙන් දැක ගන්නට පුළුවන්.ඒ ස්ථානයේ අගල්1 1- 1 ½ ක් අතර විෂ දල සලකුණු දකින්නට ලැබෙන්නේ නම් එය නාගයෙකුගේ දෂ්ට කිරීමක් ලෙස හඳුනා ගන්නට පුළුවන්.

සර්ප දෂ්ටනයකදී රෝගියා රෝහල වෙත ගෙන රැගෙන යාමට පෙර කළ යුතු දෑ 

  • රෝගීයාව සන්සුන් කර ඔහුගේ බිය නැති කරන්න.
  • සර්පයා දෂ්ට කළ අත හෝ කකුල හෘදයේ මට්ටමට වඩා පහළින් සිටින් සේ රෝගියා හාන්සි කරන්න.
  • දෂ්ට මුඛය සබන් යොදා සෝදා පිරිසිදු කිරීම . එමගින් එහි රැඳී ඇති විෂ සුළුවෙන් හෝ ඉවත් වීමක් සිදු වෙනවා.
  • මේ සඳහා දෙහි ගෙඩි 2 සහ අමුකහ දැමූ ජලය භාවිතා කරන්නට පුළුවන්. ඒ ස්ථානය සේදීම කළ යුත්තේ පහළ අතට මිස ඉහල අතට නොවන බවත් මතක තබා ගන්න.
  • හැකිනම් දෂ්ට මුඛය සෝදා  පිරිසිදු වියළි රෙදි කැබැල්ලකින් ඒ ස්ථානය ආවරණය කරන්න.නමුත් ලේ ගලන්නේ නම් එය නතර නොකිරීමත් වැදගත්. 
  • දෂ්ට කළ ස්ථානය සෙලවෙන විට විශ පැතිරීම වැඩි වන නිසා සප්ලින්ට් එකක් ලී පතුරක් තබා සෙලවෙන ලෙස බඳින්න.
  • අත්වල දමා ඇති මාල වළලු සහ තද ඇදුම්  ඉවත් කරන්න.
  • හැකි ඉක්මනින් රෝගියාව රෝහල වෙත ගෙන යන්න. 

සර්ප දෂ්ටනයකදී ඔබ නොකළ යුතු  දේ 

  • තුවාලයට කට තබා ඉරීමෙන් වළකින්න.
  • තුවාලය වටා බ්ලේඩ් හෝ දෙහි ආදියෙන් කැපීමෙන් වළකින්න. 
  • තුවාලයට බෙටර්ඩින්, කොන්ඩිස් ආදිය දමා පිරිසිදු කිරීමෙන් වළකින්න. 
  • තුවාලය තදින් අතුල්ලා සේදීමෙන් වළකින්න.
  • සර්ප දෂ්ටනය වූ ස්ථානයේ අයිස් තැබීම හෝ ඒ ස්ථානය ජලයේ ගිල්වා නොතබන්න.
  • දෂ්ටනයට ලක් වූ අත හෝ පාදය තදින් පටිවලින් ගැට ගැසීමෙන් වළකින්න.
  • රෝගියාට ඇවිදීමට ඉඩ නොදෙන්න.
  • ඇල්කොහොල් හෝ කැෆේන් අඩංගු (තේ, කෝපි ) දෑ පානයට ලබා නොදෙන්න.
  • වේදනාව අඩු කිරීමට කිසිවිටෙක ඇස්ප්‍රීන්, ඩයික්ලොෆෙනැක්, ඉබියුප්‍රොෆන් ,මෙෆෙනමික් ඇසිඩ් ආදී ස්ටෙරොයිඩ් නොවන ප්‍රතිප්‍රදාහ ඖෂධ ලබා නොදෙන්න.
  • තැඹිලි ,කුරුම්බා හෝ පලතුරු යුශ ලබා නොදෙන්න. ඒවායේ බහුලවම පොටෑසියම් අඩංගු නිසා සර්පයන්  දෂ්ට කිරීමක දී වකුගඩු ක්‍රියාකාරිත්වයට බලපෑමක් ඇතී වුණොත් එය උග්‍ර  විය හැකියි.
  • තුවාලය මිරිකා ලේ ඉවත් කරන්නට එපා.එමගින් විශ ශරීරගත වන වේගය වැඩිවෙනවා.
  • විශ ශරීරගත වීම වළක්වාලීමට  යැයි සිතා  දශ්ට මුඛයට ඉහළින් රෙදි කැබලිවලින් ගැට ගසන්නට එපා.

ඕනෑම සර්පයෙක් දෂ්ට කළ විට භාවිතා කළ හැකි අත් බෙහෙතක් 

මෙය සර්ප විෂ ශරීරය පුරා පැතිරීම අඩාල කරන නිසා වඩාත් සුදුසු ප්‍රථමාධාරයක් වෙනවා.

ගම්මිරිස්, දුරු (සූදුරු, කලුදුරු ) කරපිංචා, සුදු ළූණු, ගොරකා ආදිය මිරිස් ගලේ අඹරා දෙහි ගෙඩියක යුෂ සමඟ පානයට ලබා දෙන්න.

විශේෂයෙන්ම සර්පයෙකු දශ්ට කළ විට හැකි ඉක්මනින් රෝගියාව රෝහල කරා රැගෙන යන්න. රෝගියාගේ ජීවිතය  බේරා ගැනීමට නම් නොයෙක් අත් බෙහෙත් නොකර සර්පයාව සොයා නොසිට හැකි ඉක්මනින්ම රෝගීයාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුමයි. ඒ වගේම  රෝගියා මහන්සි නොකිරීම, බියට පත් නොකිරීම මගින් සර්ප විෂ දේහය පුරා ගමන් කිරීම වළක්වා ගන්නත් රෝගියාගේ ජීවිතයට බේරාගන්නටත් විශාල උදව්වක් වන නිසා ඒ පිළිබඳවත්  සැලකිලිමත් වෙන්න.