රෙටිනෝල් යනු විටමින් A හඳුන්වන තවත් ආකාරයකි. විටමින් A පෝෂක මඟින් ඇස් පෙනීම වර්ධනය කිරීම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම , සිරුර වියපත් වීමේ ක්‍රියාවලිය මන්දගාමි කිරීම හා සම නීරෝගී කිරීම සඳහා දායක වේ. මාලු,මස්,කිරි,බිත්තර,කහ රතු,කොළ සහ තැඹිලි පැහැති එළවළු පලතුරු වල මෙම විටමින් බහුලයි.
සිරුරට ප්‍රමාණවත් තරම් මෙම විටමිනය නොලැබෙන විට විවිධ රෝග ලක්ෂණ මතුවීම හරහා ඒ බව ඉඟි කළ හැකියි.විටමින් A ඌනතාව හේතුවෙන් ඔබේ සිරුරේ මතුවිය හැකි මෙවැනි ගැටලු ලක්ෂණ පිළිබඳ අවදානයෙන් සිටින්න.

රාත්‍රී කාලයේදී ඇස් පෙනීම දුර්වල වීම රාත්‍රී කාලයේදී ඇස් නොපෙනීම විටමින් A ඌනතාව බලපෑමින් ඇතිවන රාත්‍රී අන්ධතාව (night blindness) නම් තත්වය විය හැකියි.විටමින් A යනු ඇස් පෙනීමට ඉතා වැදගත් වන පෝෂකයක්.ප්‍රමාණවත් පරිදි සිරුරට විටමින් A නොලැබෙන විට ඉන් ඔබේ ඇස් දුර්වල වීම හා රාත්‍රී කාලයේ ඇස් අන්ධ වීම වැනි ගැටලු ඇතිවීමට ඉඩ ඇත.දිගින් දිගටම මෙම තත්වය පැවතීමෙන් පූර්ණ අන්ධතාවට පවා පත්වීමට ඉඩ තිබෙයි.විටමින් A බහුල ආහාර පාන ඔබේ එදිනෙදා පරිභෝජනයට එක්කරගැනීම ඉතා වැදගත් වේ.
අධික ලෙස සම වියළීම විටමින් A ඔබේ සම නීරෝගීව පවත්වාගැනීමට උපකාරී වෙයි.සමේ සෛල අලුත්වැඩියා කරන අතර චර්ම ගැටලු හේතුවෙන් මතුවිය හැකි ප්‍රදාහය(දැවිල්ල සහිත ඉදිමුම්) තත්වයන් වළක්වයි.ප්‍රමාණවත් පරිදි සිරුරේ විටමින් A පෝෂණය නොමැතිකම එක්සිමා වැනි දද (සම වියළී ගොස් කැසිල්ල හටගන්නා වේදනාකාරි ප්‍රදාහය තත්වයකි) හා වෙනත් චර්ම රෝග වලට පවා තුඬු දිය හැකි බව අධ්‍යයන මඟින් පෙන්වාදේ. එක්සිමා තත්වයට ප්‍රතිකාර ලෙස විටමින් A භාවිත වේ (රෙටිනොයික් අම්ල වැනි).
දරුවන්ගේ වර්ධනය බාල වීම (කුරුබව) ළමුන්ගේ නිසි වර්ධනය සඳහා විටමින් A යනු අත්‍යවශ්‍ය පෝෂකයකි.ඔබේ දරුවාට ප්‍රමාණවත් පරිදි එම පෝෂණය නොලැබේ නම් දරුවාගේ වර්ධනය බාල වීමට ඇති ඉඩකඩ ඉතා වැඩි බව අධ්‍යයන මඟින් පෙන්නුම් කරයි.වර්ධනයට විටමින් A පමණක් ලැබීම ප්‍රමාණවත් නැති බවත් තේරුම් ගත යුතුයි. දරුවාගේ කායික වර්ධනයට සිරුරට අවශ්‍ය විටමින්, ඛනිජ ලවණ, ප්‍රෝටීන් ඇතුළු වෙනත් පෝෂක ද සපිරි පිරිපුන් ආහාර වේලක් දිනපතා දරුවාට ලබාදිය යුතුයි.ආහාර පාන වලට අමතරව වෛද්‍ය උපදෙස් යටතේ විටමින් A සප්ලිමන්ට් වර්ග ද දරුවාට ලබාදිය හැකියි.
තුවාල හොඳින් සුව නොවීම අනතුරකින් හෝ සැත්කමකින් ලත් තුවාල නිසි ලෙස සුව නොවීම ඇතැම් විට විටමින් A ඌනතාවේ ලක්ෂණයක් විය හැකියි.විටමින් A මඟින් සමේ කොලැජන් නිර්මාණය වීමට සහය ලබාදෙයි.සම සවිමත් වීම සඳහා කොලැජන් ඉතා වැදගත් වෙයි.ආහාර පාන මෙන්ම විටමින් A බාහිර සත්කාර වලින් සමට හොඳ ප්‍රතිඵල ලබාගත හැකි බව අධ්‍යයන පෙන්වාදේ.විටමින් A අඩංගු ආලේපන ඖෂධ තුවාල සුවවීමට භාවිත කරයි. සුව නොවන තුවාල ඇත්නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වී නිසි ප්‍රතිකාර ලබාගන්න.
නිතරම ඇස් වල අධික වියළි බව විටමින් A ඌනතාව විවිධ අක්ෂි රෝග මතුවීමට හේතුවිය හැකියි. බොහෝ විට එම ගැටලු වල බලපෑමින් ඇස් වල අධික වියළි ගතියක් ඇතිවෙයි.කඳුළු ස්‍රාවය නොවීම විටමින් A ඌනතාවේ පූර්ව සංඥා අතරින් එකකි.විටමින් A ඌනවීමෙන් කුඩ ළමුන් තුළ මෙම තත්වය වර්ධනය වීමට ඉහළ අවදානමක් ඇතිබව අධ්‍යයන මඟින් පෙන්වාදේ.
ගැබ්ගැනීම අපහසුවීම විටමින් A ප්‍රජනන සෞඛ්‍යයට ද ප්‍රධාන දායකත්වයක් ලබාදෙයි.ඔබට ගැබ්ගැනීම ආශ්‍රිත ගැටලු තිබේ නම් ඊට බොහෝ විට හේතුවී ඇත්තේ විටමින් A ඌනතාව වන්නට ද ඉඩ ඇත.සිරුරට ලබාගන්නා විටමින් A ප්‍රමාණය වැඩිකරගැනීම හොඳ විසඳුමකි.විටමින් A පුරුෂ සරුබව වැඩිවීමට සහය දෙයි.විටමින් A ඌනතාව ගබ්සාවීම් වලට තුඬු දිය හැකි බව ද ඇතැම් අධ්‍යයන පෙන්වාදෙයි.යම් කාන්තාවක් ගබ්සා කිහිපයකට මුහුණ දී ඇත්නම් බොහෝ විට ඇය විටමින් A ඌනතාවෙන් පෙළෙන අයෙක් වීමට ඉඩ තිබිය හැකියි.
උගුර සහ ළය ආසාදන යළි යළි මතුවීම උගුර හා ළය (පපුව) ආසාදන නිතර නිතර මතුවීම ඇතැම් විට විටමින් ඌනතාවක ලක්ෂණයක් විය හැකියි.ටික කලක් යම් විටමින් A සප්ලිමන්ට් වර්ගයක් ගැනීම මඟින් මෙවැනි ආසාදන නැවත නැවත ඇතිවීම බොහෝදුරට වළක්වාගත හැකි බව ඇතැම් අධ්‍යයන මඟින් පෙන්වාදී තිබේ.කෙසේවෙතත් මෙය මිශ්‍ර ප්‍රතිඵල පෙන්නුම් කරන බව ද වැඩිදුරටත් ඒවායේ සඳහන් වෙයි. එම නිසා නිසි වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර අනුව ක්‍රියාකිරීම වඩාත් සුදුසු වේ.

අධික ලෙස කුරුලෑ මතුවීම සම රතුවීම, ඉදිමීම වැනි ප්‍රදාහය තත්වයන් හා කුරුලෑ වැනි සමේ ගැටලු වර්ධනය වීම වැළැක්වීමට ඉහළ මට්ටමේ ප්‍රතිලාභ ලබාදෙන, සම නීරෝගි කරවන පෝෂකයක් ලෙස විටමින් A හඳුන්වයි.සිරුරේ විටමින් A ඌනවීමෙන් කුරුලෑ බිබිලි මතුවීම වැඩිවීම වගේ ගැටලු වලට තුඬු දිය හැකි බව අධ්‍යයන මඟින් පෙන්වාදේ.ඇතැම් අධ්‍යන මඟින් කුරුලෑ බහුල පුද්ගලයින්ගේ සිරුරේ විටමින් A මට්ටම ඉතා අඩු බව සඳහන් කරයි.විටමින් A අඩංගු ක්‍රීම් (ආලේපන ඖෂධ) කුරුලෑ වලට ප්‍රතිකාර ලෙස භාවිත කරයි.කුරුලෑ කැලැල් දුරුවීමට ද ඒවා ප්‍රතිලාභ දෙයි.
කෙසේවෙතත් විටමින් A මට්ටම් අධික වීම ද හිතකර තත්වයක් නොවේ. එය සිරුරට විෂ විය හැකියි.විටමින් A සප්ලිමන්ට් වර්ධ අධිකව ගැනීමෙන් බොහෝ විට මේ තත්වය ඇතිවිය හැකියි.ආහාර පාන වලින් එවැනි බලපෑමක් ඇතිවීමේ අවදානමක් නොමැති තරම්ය. විටමින් A මේද ද්‍රාව්‍ය විටමිනයක් නිසා අක්මාව තුළ හොඳින් ජීර්ණය වෙයි.විටමින් A අධිකව ශරීරගත වීමෙන් එම ක්‍රියාවලියට යම් බලපෑමක් ඇතිවී අතුරු ආබාධ ගැටලු මතුවීමට ඉඩ තිබෙයි. සම වියළී යාම හෝ රළු වීම, පෙනීමේ වෙනස්කම්,වණ හටගැනීම,අස්ථි ඉදිමුම් හා ව්‍යාකූලබව වැනි ගැටලු ඊට උදාහරණයි.ගැබිණි මවුවරුන් තුළ උපත් සංකූලතා ඇතිවීමට පවා මේ තත්වය තුඬු දිය හැකියි.එම නිසා අධික ලෙස විටමින් A පරිභෝජනය කිරීමෙන් වළකින්න. දිනකට වැඩිහිටි පුද්ගලයෙකු විසින් ලබාගත යුතු විටමින් A ප්‍රමාණය මයික්‍රෝග්‍රෑම් 700-900 අතර ප්‍රමාණයකි.