අපි හැමෝම සුවදායි නින්දක් ලබා ගන්නට කැමතියි නේ. නමුත් නින්දෙන් ගොරවන කෙනෙක් නම් ඔබට සුව නින්දක් නම් ලබා ගන්නට ඉඩක් නැහැ. ඒ විතරක් නෙවෙයි ඔබේ සහකරුවා හෝ සහකාරිය නින්දෙන් ගොරවන අයෙක් නම් ඔබට සුවදායි නින්දක් ලබා ගන්නටත් හැකියාවක් නැහැ. ඉතින් මේ අපේ සමාජයේ බොහෝ දෙනෙක් අතර දකින්නට තිබෙන මේ නින්දෙන් ගෙරවීම නිදා සිටින අනිත් අයටත් බොහෝ හිරිහැරයක්. වැඩි දෙනෙක් මේ තත්ත්වය ගැන සැලකිලිමත් නොවුණත් මෙය සාමාන්‍ය තත්ත්වයකට එහා ගිය රෝග රෝග තත්ත්වයක් වෙන්නත් පුළුවන් .
සාමාන්‍යයෙන් නින්දෙන් ගෙරවීම වැඩි වශයෙන් ඇති වෙන්නේ ශ්වසන මාර්ගය ආශ්‍රිත යම් රෝග තත්ත්වයක් හේතු කරගෙන .මේ හැරුනහම නිදා සිටින ඉරියව්, ඇඩිනොයිඩ් ග්‍රන්ථිය විශාල වීම, මෘදු තල්ල, විශාල වූ සෙම්ගෙඩි, තරබාරුව, මත්පැන් හා දුම්වැටි භාවිතය, කෙටි බෙල්ල, දිව විශාලව පැවතිම, විවිධ නිදි බෙහෙත් භාවිතය, මුඛයෙන් හුස්ම ගැනීම , නාසසේ මස් දලු ඇතිවීම, සෙම නිසා නාසය හිරවීම ආදී විවිධ හේතු නින්දේදී ගෙරවීම් තත්ත්වයන් ඇතිවෙන්නට හේතුවෙන්න පුළුවන්. නමුත් වඩාත් දරුණු ලෙස මේ තත්ත්වය නොසලකා හැරියොත් යම් යම් රෝග තත්ත්වයන් පවා ඇති වෙන්නට ඉඩකඩ තියෙනවා.
ගෙරවීම් නිසා දීර්ඝකාලීනව හෘදයේ සහ පෙනහළුවල රුධිර සංසරණ පද්ධතියේ ආබාධ ඇති වෙන්න පුළුවන්. නිදසුන් විදිහට අධි රුධිර පීඩනය, හෘදයාබාධ ආදී දේවල් පෙන්වා දිය හැකියි. ගෙරවීම් නිසා හුස්ම හිර වීමක් ඇතිවන නිසා දැනුවත්ව හෝ නොදැනුවත්ව රෝගියා නින්දෙන් අවදි වෙනවා.මේ ආකාරයට දිගුකාලීනව රාත්‍රි නින්ද සුවදායි ලෙස ලබා ගන්නට නොහැකි වීමෙන් දිවා කාලයේදී තෙහෙට්ටුව, මහන්සිය, අලස බව හිසරදය වගේම අමතකවීම,සමේ සහ හිසකෙස්වල ගැටළු, අක්මාවේ ගැටළු ආදී බරපතල ගැටළු පවා ඇති වෙන්නත් පුළුවන්.
නින්දෙන් ගෙරවීම වළක්වා ගැනීමට උපදෙස්

- මද උණුසුම් වතුර වීදුරුවකට එනසාල් කුඩු තේ හැඳි එක හමාරක් පමණ එක්තු කර නින්දට පැය භාගයකට පෙර පානය කරන්න.
- ඔබ නින්දට යාමට පෙර ඔලිව් තෙල් මේස හැන්දක්ට මී පැණි බින්දු කිහිපයක් එකතු කර පානය කරන්න.
- උණුසුම් කිරි වීදුරුවකට නැවුම් ලෙස අඹරා ගත් කහ කුඩු මේස හැඳි දෙකක් එකතු කර පානය කර නින්දට යන්න.
සෙම් රෝග තත්ත්වයන් නිසා නින්දෙන් ගොරවන අවස්ථාවකදී මේ පිළියම් ඔබට ඒ සඳහා සිදුකරන්නට පුළුවන්.
- ඉඟුරු ග්‍රෑම් 50 කොත්තමල්ලි ග්‍රෑම් 100, තිප්පිලි ග්‍රෑම් 25 ක් බැගින් ගෙන සෝදා කබලේ දමා බැද කුඩුකර උණු වතුර දමා පානය කරන්න.
- වියළාගත් නිල් කට්රොල් මල් උණු වතුරට දමා පානය කරන්න.
- පොකුරු වද මල් පානය කරන්න.
- නෙල්ලි රසකිඳ සහ ඉරමුසු තේ වෙනුවට පානය කරන්න.
- වාෂ්ප අල්ලන්න.
විශේෂයෙන්ම උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාව නිසා නාසයේ තදබදය ඇති වීම ගෙරවීම සඳහා මූලික හේතුවක් වෙනවා. එයින් මිදෙන්නට භාජනයකට උණු වතුර ස්වල්පයක් ගෙන එයට කොහොඹ හෝ tea tree oil ආදී ඕනෑම අත්‍යවශ්‍ය තෙල් බින්දු තුනක් හෝ හතරක් එකතු කර හොඳින් ආවරණය කරගෙන විනාඩි දහයක් පහළොවක් පමණ වාෂෂ්ප ආශ්වාස කරන්න.
ශරීර බර අඩු කර ගන්න.නින්දෙන් ගෙරවීමට ශරීරයේ අධික බර හේතුවක් වෙනවා. ශරීර බර ටිකක් අඩු කර ගැනීමෙන් උගුරේ තියෙන පටක ප්‍රමාණය අඩුවෙන නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඒ සඳහා ආහාර ගැනීමේදී අඩු කැලරි සහිත ආහාර ලබා ගැනීමටත් නිසි පරිදි ශාරීරික ව්‍යායාම්වල නිරත වීමත් වැදගත් වෙනවා.
පැත්තකට නිදාගන්න.උඩු අතට නිදාගැනීමේදී දිව උගුර දෙසට ගමන් කරන්නට ඉඩ තියෙන නිසා එයින් හුස්ම හිර වීමක් සිදු වෙනවා. ඒ නිසා ගෙරවිලි සද්දයක් ඇති වෙන්න පුළුවන්. නමුත් පැත්තට හැරී නිදා ගන්නවා නම් මේ තත්ත්වය මඟහරවා ගන්නට ඔබට පුළුවන්.
- හිස පැත්ත උසට තබාගෙන නින්දට යන්න .
- හුස්ම ගැනීම පහසු වෙන උපකරණ භාවිතා කරන්න
මෙය මුඛය තුලට දැමිය හැකි කුඩා මෙවලමක්. මෙයින් වාතය පෙනහළුවලට ගමන් කිරීම සඳහා මාර්ගය හොඳින් විවර කර දීමක් සිදු කරනවා. මේ නිසා හුස්ම ගැනීම පහසු වෙනවා වගේම නින්දෙන් ගෙරවීමත් නතර වෙනවා.
නාසයට strips භාවිතා කරන්නමේවා නාසයට ඇලවීමෙන් වාතය ඇතුළු වෙන්නට ඇති ඉඩ ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා අවහිරයක් නැතිව හුස්ම ගන්නට අවස්ථාව ලැබෙන නිසා නින්දෙන් ගෙරවීමෙන් මිදෙන්නට ඔබට පුළුවන්.
නාසයේ උත්පත්තිමය ගැටලු සඳහා විසඳුම් ලබා ගන්න.සාමාන්‍යයෙන් අපේ නාසය බෙදී තියෙන කුටීර දෙකේ යම් යම් වෙනස්කම් පවතින්නට පුළුවන්. ඒ වගේම නාසයට යම් අනතුරක් සිදුවීමනිසාත් මේ වගේ නාසය ආශ්‍රිතව යම් යම් ගැටලු ඇති වෙන්නට පුළුවන්.මේ හේතු නිසා නාසය තුලින් වාතය හොඳින් ගමන් කිරීමට බාධා ඇති වෙනවා. මේ නිසා අපි දන්නෙම නැතුව නාසයෙන් හුස්ම ගන්නවා වෙනුවට මුඛයෙන් හුස්ම ගැනීම සිදුවෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට නින්දෙන් ගෙරවීම ඔබට අත්දකින්නට සිද්ධ වෙනවා. මේ ගැටළු සඳහා ඔබට වෛද්‍යවරයෙකු හමුවට යාමට සිදුවෙනවා .
නින්දට පෙර දුම්පානයෙන් වළකින්න.දුම්පානය අපේ ශරීරයට ඉතාම අහිතකර පුරුද්දක්. එය නින්දෙන් ගෙරවීම කියන තත්ත්වය ඇති කරන්නත් මූලික වෙනවා. ඒ නිසා ඔබත් දුම් පානය කරන අයෙක් නම් මේ නින්දෙන් ගෙරවීම කියන තත්ත්වයෙන් මිදෙන්න අවශ්‍ය නම් ඔබට මේ පුරුද්ද අත්හරින්නට සිදු වෙනවා.
නිදි පෙති භාවිතය නතර කරන්න.සාමාන්‍යයෙන් ගොරවන පුද්ගලයෙක් නිදි පෙති භාවිතා කළොත් එය තවදුරටත් වර්ධනය වෙන්න පුළුවන්. එයට හේතුව වෙන්නේ මේ නිදි පෙති මගින් උගුර ආශ්‍රිත මස්පිඩු ලිහිල් කරවීම තවත් දරුණු කිරීම නිසාවෙන්.
ගනු ලබන ආහාර පාන සහ හිසට දමන තෙල් වර්ග ගැන සැලකිලිමත් වෙන්න සාමාන්‍යයෙන් සන්ධ්‍යා කාලයේදී අපි ගනු ලබන ආහාර ශරීරයේ ශ්ලේෂ් මල නිපදවීම වැඩි කරන ආහාර නම් එය නින්දෙන් ගෙරවීම සඳහා හේතුවක් වෙනවා. නින්දෙන් ගොරවන අය අනිවාර්යෙන් සවස් කාලයේදි කිරි ආශ්‍රිත නිෂ්පාදන, චොක්ලට්, බදින ලද ආහාර වගේම සකසන ලද ආහාර සහ අධික ලෙස පිටි සහ සීනි යොදන ලද ආහාරවලින් වැළකිය යුතුයි.

හොඳින් ජලය පානය කරන්න. ශරීරයට ජලය ප්‍රමාණවත් ලෙස ලැබීම ශරීරය සජලව තබාගන්නට උදව් වෙනවා. එම්ස්ගින් නාසය අවට ප්‍රදේශය සජලව තිබීමෙන් නාස් මාර්ගය අවහිර කරන සෙම කැටි නිර්මාණය වීම සිදු වෙන්නේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් විදිහට නින්දෙන් ගෙරවීමෙන් ඔබට මිදෙන්නට පුළුවන්.
ඉතින් ඔබත් නින්දෙන් ගොරවන අයෙක් නම් මෙන්න මේ සරල ක්‍රම නිවසේදීම අත්හදා බලන්නට පුලුවන්. නමුත් මේ පිළියම්වලින් ඔබට සුවයක් සහනයක් නොලැබෙන්නේ නම් එය ඔබට දැඩි පීඩාවක් ගෙන දෙන්නේ නම් වෛද්‍යවරයකු හමුවෙලා ප්‍රතිකාර ලබාගන්න.