මධ්‍යසාර භාවිතය බටහිර රටවල් සහ ආසියාවේ සුපිරි සහ මධ්‍යම පාන්තික සමාජවල social drink එහෙමත් නැත්නම් පිළිගත්ත පානයක් විදිහට තමයි සැලකෙන්නේ. නමුත් අපේ රටේ බහුතරයක් දෙනා social drink කියන අදහසින් බැහැරව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා තියෙනවා. ඉතින් මත්ද්‍රව්‍ය භාවිතය අපේ සමස්ත ශරීරයටම වඩාත් අහිතකර විදිහට බලපෑම් ඇති කරන වග ඔබ හැමෝම දන්නා කාරණයක් නේ .
අපේක ශරීරයේ ඉතාම වැදගත් ඉන්ද්‍රියක් තමයි අක්මාව කියලා කියන්නේ. අක්මාව අපේ ශරීරයේ නිරොගී පැවැත්ම වෙනුවෙන් ඉටුකරන කාර්යභාරය අති විශාලයි. නමුත් අපි නිරන්තරයෙන්ම මත්පැන් භාවිතයට යොමු වුණොත් එය සෘජුවම අක්මාවේ ක්‍රියාකාරීත්වයට බලපෑම් කරනවා.
මද්‍යසාර සුළු හෝ වේවා අධි හෝ වේවා කුමන මාත්‍රාවකින් ශරීරගත වුණත් මුලින්ම ආමාශයට සහ අන්ත්‍රවලට ඒවා අවශෝෂණය කරගන්නවා. පසුව රුධිරය මගින් ඒවා අක්මාවට ගමන් කරනවා. අක්මාවේදී විවිධ සංඝටකවලට බෙදී පරිවෘත්තිය ක්‍රියාවලියකට භාජනය වෙනවා. එයින් විවිධ වූ විෂ සහිත අතුරුඵල නිෂ්පාදනය වෙනවා. නිතර නිතර අධි මාත්‍රාවකින් මත්ද්‍රව්‍ය ගැනීම ඉතා ඉක්මනින් අක්මාව විනාශය කරා ගෙන යන්නට හේතුවක් වෙනවා.

මධ්‍යසාර ශරීරගත වීම අක්මාවට විතරක් නෙවෙයි සිරුරේ අනෙකුත් ඉන්ද්‍රියන්ටත් බරපතළ ලෙස හානි සිද්ධ කරනවා. ඒ අතරින් මොළය කුඩාවීම, මොළය පිටුපස කොටස ක්ෂය වීම, පාදයේ ස්නායු දුර්වල වීම, ඇස් මුළුමනින්ම අන්ධ වීම, වකුගඩු නරක් වීම සහ හෘදය වස්තුව ඉදිමීම ඒවා අතරින් කිහිපයක්.
මද්‍යසාර නිතර නිතර අධිමාත්‍රාවෙන් භාවිතයට ගැනීම හේතු කරගෙන ඇතිවන සුලබම රෝගයක් තත්වයක් තමයි සිරෝසිස්. අක්මාවේ පටක සම්පූර්ණ වෙනසකට ලක්වීමෙන් එහි සෛලවලට හානි සිදුවෙනවා. ඒ අවස්ථාවේ සෛල මුළුමනින්ම කෙඳි සහිත පටක බවට පත්වෙනවා. අවසානයේ අක්මාවේ සෛල නැතිව කෙඳි ගොඩක් පමණක් ඉතිරි වෙනවා .මේ අවස්ථාවේ දී සම්පූර්ණයෙන්ම අක්මාව අක්‍රිය වෙලා එහි ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම නතර වෙනවා.
ඉතින් මෙය නිට්ටාවට සුව කරන්නට නොහැකි වඩාත් බරපතළ රෝග තත්ත්වයක් වෙන්නේ මේ නිසා .මේ රෝග තත්ත්වයේ තියෙන බරපතළම තත්ත්වය තමයි සියලුම රෝග ලක්ෂණ පහළ වීම සිදුවෙන්නේ අක්මාවේ සෛලවලින් 60% ක්ම විනාශ වීමෙන් පසුව. කොහොහොම වුණත් අක්මාව මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයෙක් නම් ඔබේ අක්මාව සෛල විනාශය කරා ගමන් කරමින් තියෙන බව හඳුනා ගන්නට උපකාරී වෙන ලක්ෂණ පිළිබඳව තරමක හෝ අවධානයෙන් ඉන්න එක හරිම වැදගත්. ඉතින් ඒ නිසා අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මත්ද්‍රව්‍ය භාවිතා කරන ඔබගේ අක්මාව අකර්මණ්‍ය වෙන්නට කලින් අනිවාර්යෙන්ම දැනුවත් විය යුතු ලක්ෂණ කිහිපයක් ගැන.
සිරෝසීස් තත්ත්වය රෝග ලක්ෂණ
- අධික වෙහෙසකාරී ස්වභාවය
- ශරීරයට දුර්වල බවක් දැනීම
- ආහාර අරුචිය
- ඔක්කාරය
- ලිංගික බෙලහීනතාවය ඉහත සඳහන් ලක්ෂණ මූලික අවධිවල දී හඳුනාගත හැකි ලක්ෂණයි. මේ රෝග තත්ත්වය තවත් දරුණු අතට පත්වීමේ දී වැඩිදුර රෝග ලක්ෂණ ලෙස පහත ඒවා හඳුනා ගන්න පුළුවන්.
- සම සහ ඇසේ සුදු ඉංගිරියාව කහ පැහැයක් ගැනීම
- සම කසන සුළු වීම
- මලපහ තද පැහැති තාර වැනි ස්වභාවයක් ගැනීම සහ රුධිරය වමනය කිරීම ගලනාලය අතුළත ලේ නහර ඉලිප්පී ඒවා පිපිරීමෙන් රුධිර වහනයක් වී ලේ වමනය ඇති වෙන්න පුළුවන්. ඒ ලේ බඩවැල් තුළින් ගමන් කිරීම නිසා අවසානයේ මලපහ කළු පැහැයෙන් දකින්නත් පුළුවන්. ඒ වගේම කල්පනා ශක්තිය අඩු වීම සහ සිහි නැතිවීමත් මේ තත්ත්වයේදී ඇතැමෙකුට අත්විදින්නට සිදු වෙන්න පුළුවන්.
- පහසුවෙන් රුධිරය වහනය වීමේ තත්ත්වයක් ඇතිවීම සහ තැලුම් ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි වීම
- සුළු පැලීමකදී පවා සම යට ලේ පැල්ලම් ඇති වෙන්න පුළුවන්.
- තරල එකතු වීම හේතු කරගෙන උදරයේ සහ පාදවල ඉදිමීම් ඇතිවීම
- උදේ වරුවේ නොමැතිව සවස් වරුවේ පාදවල ඉදිමීම් දකින්න පුලුවන්.
- උදරයේ වතුර පිරීම
- කම්මුල් ඉදිමීම
- පිරිමින්ගේ පියයුරු ඉදිරියට නෙරා ඒම සහ වේදනා ගෙනදීම
- සමේ රතු බිබිලි ඇතිවීම
- නියපොතු සුදු පැහැයක් ගනීම සහ ඉදිරියට වක්‍ර වීම
- කිහිලිවල සහ පපුවේ රෝම ගැලවී යාම
- රාත්‍රී නිදා ගැනීමේ අපහසුතාවය
- දහවල් කාලයේ නිදිමත
Encephalopathy Hapatic කියන තත්ත්වය ඇති වෙන්නට සිරෝසීස් රෝගීන්ට වැඩි ඉඩකඩක් තියෙනවා. අපේ ශරීරයේ ඇති ඇමෝනියා ශරීයට අහිතකර අපද්‍රව්‍යයක් වන යූරියා බවට පත්වී මුත්‍රා මාර්ගයෙන් පිට වීම සිද්ධ වෙනවා. මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ අක්මාවේදී. නමුත් සිරෝසීස් රෝගීන්ගේ අක්මාවේ සෛල මිය ගිහින් තියෙන නිසා මේ ක්‍රියාවලිය නිසි පරිදි සිද්ධ වෙන්නේ නැහැ. ඇමෝනියා යූරියා බවට පත් කරන්නට අවශ්‍ය කරන සෛල මියගොස් තිබෙන නිසා ඇමෝනියා රුධිරයට එකතු වී රුධිර සංසරණ පද්ධතිය හරහා මොළයට ගමන් කරනවා. ඒ නිසා රෝගියාට අධික නිදිමත ගතියක් ඇති වෙනවා.
ඒ විතරක් නෙවෙයි මේ සිරෝසීස් තත්ත්වයේ දී සිහි විකල් තත්ත්වයට පවා පත් වෙන්නට පුළුවන් . කෝමා තත්ත්වය වගේම ජීවිතය අහිමි වෙන්නටත් මේ රෝගය හේතුවෙන නිසා මේ රෝගී තත්ත්වය සුළු කොට ගත යුත්තක් නොවෙයි.
අධික ලෙස මත්පැන් පානය කරන කාන්තාවන්ගේ අක්මාවට හානිවීමට පිරිමි අයෙකුට වඩා වැඩි හැකියාවක් පවතිනවා. මෙය අඩු වැඩි වශයෙන් ඔවුන්ගේ ශරීරයේ ප්‍රමාණය සහ ව්‍යුහයේ වෙනස්කම් මත තීරණය වෙනවා.
ඔබ අධිකව මත්පැන් භාවිතා කරන කෙනෙක් නම් ඔබට සිරෝසිස් තත්ත්වයක් ඇති බවට සැක සිතෙනවා නම් වෛද්‍යවරයකු හමු වෙලා මේ පිළිබඳව පරික්ෂා කර ගැනීම් අත්‍යවශ්‍ය වෙනවා. මේ සඳහා රුධිර පරීක්ෂණ, ස්කෑන් පරීක්ෂණ, අක්මා පටක පරීක්ෂාව, එන්ඩොස්කොපි පරීක්ෂාව ආදී පරීක්ෂාවන් වෛද්‍ය උපදෙස් මත සිදු කරවා ගැනීමෙන් අක්මාවේ නිරෝගී බව අවබෝධ කර ගන්න පුළුවන්.
විවිධ වර්ගයේ මත්පැන් වෙළඳපොලේ විකිණීමට තියෙනවා. ඇතැම් අය සිතන විදිහට විස්කි, බ්‍රැන්ඩි, ජින් වයින් වගේ මත්ද්‍රව්‍ය අක්මාවට හානි කර වෙන්නෙන් නැහැ. නමුත් මේ සෑම මත්පැන් වර්ගයක්ම අපේ අක්මාවට වගේම අනෙකුත් ඉන්ද්‍රියන්ටත් ඉතාම අහිතකරයි. විශේෂයෙන්ම දිනපතා නොකඩවාම සීමාව ඉක්මවා මත්ද්‍රව්‍ය භාවිතා කිරීම කෙටිකාලීනව අක්මාව අඩපණ කරන්නටත් මරණය ඇති කරන්නටත් හේතුවක් වෙනවා . විශේෂයෙන්ම කසිප්පු වගේ ප්‍රමිතියෙන් තොරව නිෂ්පාදනය කරන මත්ද්‍රව්‍ය සිරෝසීස් වැළඳීමේ හැකියාව දෙගුණ තෙගුණ කරනවා. එනිසා මේ කාරණා පිළිබඳව සැලකිලිමත් වීම අතිශයින්ම වැදගත්.

යම්විටෙක අක්මාවේ සෛල විනාශ වීම යම්තාක් දුරකට වළක්වා ගන්නට හැකියාව තිබුණත් විනාශ වූ සෛල නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කරන්න බැහැ. අක්මාව යළි යථා තත්ත්වයට පත්කිරීමට නම් අක්මාවක් බද්ධ කරන්නට සිද්ධ වෙනවා. නමුත් අක්මාව බද්ධ කළ යුත්තේ මොළය මිය ගොස් ජීවත්වන නිමේෂයේ සිටින පුද්ගලයන්ගේ පමණයි. ඒක ඉතාම අපහසු තත්වයක්. ඒ වගේම අක්මාව රෝගියාට ගැලපෙනවාද යන්න සලකා බැලීමත් අනිවාර්ය කාරණයක් නිසා එය බරපතළ ශල්‍යකර්මයක්. ඉතින් ඒ නිසා මේ වගේ පුරුදුවලින් ඔබ ඈත් වෙලා ඉන්න තරමට ඔබේ අක්මාව ආරක්ෂිතයි.