පඳුරක් ලෙස වැඩෙන එළබටු යනු ඈත අතීතයේ සිටම මිනිසා විසින් ආහාරයට එක් කර ගත් තවත් එක් ඖෂධීය එළවළුවකි. සොලනේසියම් නම් උද්භිද කුලයට අයත් වන එළබටු Solanum insanum යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන අතර සෙන්ටි මීටර් තිහක් හෝ හතළිහක් පමණ උසට වැඩෙන ශාකයක් වේ. එනම් එහි පත්‍ර මත කටු සහ බූවා දැකගත හැකිය. එමෙන්ම මෙහි හටගැනෙන මල් පොකුරු ලෙස හටගන්නා අතර එහි පැහැය දම්, කහ, සුදු යන වර්ණවලින් සමන්විතවේ. ඵලය සුදු පැහැති වන අතර එය වටා කොළ පැහැති ඉරි දැක ගත හැකිය. ඵලය තුළ බීජ රාශියක් අඩංගුවන අතර ඒවාගෙන් ශාක ව්‍යාප්තිය සිදුවනු ලැබේ.
එනම් එළබටු තලා එහි අඩංගු බීජ ඉවත් කර තම්බා හෝ ව්‍යංජනයක් ලෙස සකස් කර ආහාරයට ගත හැකිය. එනම් ඉන් ශරීරගත බොහෝමයක් රෝග සුවකර ගත හැකිය. ගෙඩි එළවළු අතර වැඩි කැල්සියම් ප්‍රමාණයක් අඩංගු වන්නේ තලන බටු හෙවත් එළබටු වලය. එනම් ආයුර්වේදය තුළ ඖෂධ සකස් කිරීමේ දී ද එළබටු බහුලව භාවිතා කරයි. එනම් එළබටු මුල්, කොළ,ගෙඩි,කඳ, මල්, බීජ යන පංචාංගයම ඒ සඳහා යොදා ගනී.
එළබටු ශාකයේ ඖෂධීය ගුණ

අර්ශස් රෝගය හේතුවෙන් ඇතිවන ගෙඩි සමනය කරනු ලැබේ. බොහෝ දෙනකු පීඩා විඳින අර්ශස් රෝගය හා ඒ හේතුවෙන් ඇතිවන ගෙඩි සුව කරගැනීමට ඖෂධයක් ලෙස එළබටු භාවිතා කළ හැකිය. මේ සඳහා ලපටි එළබටු ගෙඩි බාගෙට තම්බාගෙන එයට සහිද ලුණු හා මීපැණි මිශ්‍රකර දින කිහිපයක් ආහාරයට ගැනීම යෝග්‍ය වේ. මීට අමතරව එළබටු ගෙඩි හොඳින් වියළා ඒවා අඟුරු කබලකට දමා අර්ශස් ගෙඩි ඇති ස්ථානවලට දුම් ඇල්ලීමෙන් එම ගෙඩි සහ වේදනාවට සුවය ලබා ගත හැකිය.
ශරීර අප්‍රාණිකත්වය දුරු කර ශරීරය ප්‍රාණවත් කරනු ලැබේ.විවිධ රෝගයන්ට ගොදුරු වූ පසු ශරීරයේ ඇතිවන අප්‍රාණිකත්වය දුරුකර ශරීරය ප්‍රාණවත් කර කරගැනීමට එළ බටු ව්‍යංජනයක් හෝ කැඳ පානයක් ලෙස සකසා භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ.
උඳුගොව්වන් කෑම නවතා දමන ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වේ. ඈත අතීතයේ සිටම උදුගොව්වන් කෑමේ රෝගය සුව කිරීම සඳහා එළබටු ඖෂධයක් ලෙස භාවිතා කර තිබේ. එනම් එළබටු ගෙඩි කිහිපයක් තළා එම යුෂවලට මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර උඳුගොව්වන් කෑ ස්ථානවල ආලේප කිරීමෙන් නැවත කෙස් වවා ගත ගත හැකිය. එමෙන්ම එළ බටු බීජ දෙහි ඇඹුලෙන් අඹරා එම ස්ථානවල ආලේප කිරීමද යෝග්‍ය වේ.
අසාත්මිකතාවන්ට සුවය සලසනු ලැබේ. අසාත්මිකතා සුවකර ගැනීමට එළබටු ගෙඩි සහ කොළ මී පැණි වලින් අඹරා ආලේප කිරීම යෝග්‍ය වේ. එනම් ශරීරයේ ඇති වන කැසීම හා දැවිල්ල සුව කිරීමට මෙය ප්‍රත්‍යක්ෂ ඖෂධයක්වේ.
මුඛ රෝග සුව කිරීමට උපකාරී වේ.බොහෝ දෙනකුට මුඛය ආශ්‍රිතව ඇතිවන විදුරුමස් දියවීම, විදුරුමස්වලින් ලේ ගැලීම සෙම් ගෙඩි, දත් සෙලවීම වැනි රෝග ගණනාවකට එළබටු ඖෂධයක් වේ. එනම් මෙවැනි රෝග ඇතිවීම වළක්වා ගැනීමට හා සමනය කර ගැනීමට වියළි එළබටු බීජ පුළුස්සා එම දුමින් මුඛය පුරවා තබා පිට කිරීමෙන් එම රෝග සුවපත් වේ.
මීට අමතරව දේශීය වෙදුන් වියළාගත් එළබටු බීජ ගිතෙල් සමග මිශ්‍රකර සිහින්ව අඹරා දුම්වැටි ආකාරයට සකසා දල්වා එම දුම මුඛයේ රඳවා තබා ගෙන මද වේලාවකින් මුඛයෙන් ඉවත් කර දැමීමට උපදෙස් දෙනු ලැබේ. එනම් ඉන් මුඛයේ ඇතිවන සියලු රෝග සුව කර ගත හැකිය.
සෙම් රෝග සුව කිරීමට උපකාරී වේ.ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවෙන සෙම් රෝග සුවකිරීමට එළබටු ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් දේශීය වෛද්‍ය ක්‍රමය තුල මේ සඳහා එළබටු මුල් ගෙන හොඳින් වියළා කුඩුකර එම කුඩු උදේ සවස නටන උණු වතුරට දමා වසා තබා තැම්බෙන්නට හැර පානය කිරීම යෝග්‍යවේ.

කැස්ස සෙම්ප්‍රතිශ්‍යාවට ඖෂධයක් වේ. මේ සඳහා එළ බටු පැණිය සකස් කර භාවිතා කළ හැකිය. එනම් එළබටු එක් කොටසකට එවැනි වතුර කොටස් හතරක් දමා පත එකට සිදුවා පෙරා එයට සීනි මිශ්‍රකර පැණි පදම එනතෙක් සිද තිප්පිලි කුඩු ස්වල්පයක් මිශ්‍රකර එම පැණිය සකස් කර ගත හැකිය. එනම් මෙම පැණියෙන් උදේ සවස තේ හැඳි 2 බැගින් පානය කිරීම වඩාත් සුදුසුවේ.
උදර රෝගයන්ට සුවය සලසනු ලැබේ.බොහෝ දෙනෙකුට ඇතිවන උදර රෝග සුවකර ගැනීමට එළබටු ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා එළබටු කොළ කිහිපයක් ගෙන හොඳින් තළා යුෂ ගෙන ඊට මේස හැඳි දෙකක් දමා මිශ්‍රකර පානය කිරීම යෝග්‍ය වේ. මෙමගින් පණු රෝග වලට ද සුවය සලසා ගත හැකිය. එමෙන්ම
- දද හා කුෂ්ට සුව කිරීම සඳහා
- තුන්දොස් සමනය කිරීම සඳහා
- ළදරු කිරි වමනයට සඳහා
- ඇදුම, කාසය හා ස්වසන රෝග සුව කිරීම සඳහා
වැනි රෝග ගණනාවකට එළබටු යනු ආහාරමය ඖෂධයකි. නමුත් යම් රෝගයකට අත් බෙහෙත් භාවිතා කරන්නේ නම් ඊට ප්‍රථමව වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසුවේ.