යටි පතුල් පැලීම පහසුවෙන් සුව කරගත හැකි පිළියම් 7 ක්

health tips

වැඩි වශයෙන් බොහෝදෙනෙක් කතාබහ කරන පීඩාකාරී රෝග තත්ත්වයක් තමයි යටි පතුල් පැලීම කියන්නේ. දෙපාවල සුන්දරත්වයට බාධා කරන වේදනාවන් අපහසුතාවයන් ඇති කරන මේ තත්ත්වය කාන්තාවන්ට වගේම පුරුෂ පාර්ශවයටත් ඇතිවිය හැකි තත්ත්වයක්. නමුත් වැඩි වශයෙන් කාන්තා පාර්ශවය අතර මේ තත්ත්වය බහුලව දැක ගන්නට ලැබෙනවා.සමීක්ෂණයන්ට අනුව පෙන්වා දී ඇත්තේ යටි පතුල් පැලීමේ තත්ත්වය  සාමාන්‍ය  වැඩිහිටි පුද්ගලයන්ගෙන් 20% ට වඩා අධික  ප්‍රමාණයකට ඇති බවයි. යටි පතුල් පැලීමේ ආරම්භක අවධියේදී වේදනාවක් ගෙන නොදුන්නත් ඒ තත්ත්වය දිගින් දිගටම කාලයක් පවතින විට දරුණු තත්ත්වයකට පත්ව වේදනාවන් හා අපහසුතාවයන් ඇති වෙනවා. ඉතින් ඒ නිසාවෙන්ම අපි අද කතා කරන්නට බලාපොරොත්තු වන්නේ යටි පතුල් පැලීම වළක්වා ගෙන ලස්සන දෙපාවල හිමිකරුවෙක් වෙන්නේ කොහොමද කියන කාරණය පිළිබඳවයි.

යටි පතුල් පැලීමට බලපාන හේතු 

  • එකදිගට එකම ඉරියව්වෙන් වැඩි කාලයක්  සිටගෙන සිටීම 
  • පිටුපස විවෘත වූ අඩි උස පාවහන් පැළදීම 
  • දිගින් දිගටම උණු ජලයෙන් ස්නානය කිරීම හෝ දීර්ඝ වේලාවක් උණු වතුරේ රැඳී සිටීම 
  • ඇතැම් ආලේපන හා සබන් වර්ග නිසා යටි පතුල් වියළීම 
  • රුධිරගත සීනි මට්ටම වැඩිවීම 
  • විවිධ ක්ශුද්‍ර  ජීවි ආසාදන 
  • දේහයේ තයිරොක්සීන් ප්‍රමාණය වැඩිවීම 
  • ශරීරයේ බර වැඩිවීම 
  • ගර්භණී සමයේ සිදුවන හෝර්මෝන වෙනස්වීම 

යටි පතුල්වල පැලීම යථා තත්ත්වයට පත්කර ගැනීමට සහ පාද රැක ගැනීමට අවශ්‍ය කරන පෝෂක 

  • මේදය යටි පතුල් සඳහා පමණක් නොව සමස්ත දේහයේම ආරක්ෂාව සඳහා මේදය අත්‍යවශ්‍ය වෙනවා. නමුත් එය ලබාගත යුතු ප්‍රමාණ පිළිබඳව වගේම ලබාගන්නා මේද වර්ග පිළිබඳවත් අවධානය යොමුකළ යුතු වෙනවා. දෛනික ශක්ති අවශ්‍යතාවයෙන් 20% -35% ත් අතර ප්‍රමාණයක් මේදයෙන් ලබා ගැනීමයි වඩා වැදගත් වන්නේ. මෙහිදී වඩා සුදුසු වන්නේ MUFA හා PUFA කාණ්ඩයට අයත් මේදය. රට කජු, ආමන්ඩ්ස්, කජු ආදී ඇට, නට්ස් වර්ග,  අලිගැට පේර, මාළු ආදියේ මේ මේදයන් අන්තර්ගත වන නිසා එවැනි ආහාර ශරීරයට ලබා ගැනීමෙන් සමේ වියළි බව අඩු කරගෙන සමේ තෙතමනය ආරක්ෂා කර ගන්නට හැකියාව ලැබෙනවා.
  • ප්‍රෝටීන් සෛල නිර්මාණය සඳහා අත්‍යවශ්‍ය පෝෂකයක් වන්නේ ප්‍රෝටීන්.අපි ආහාරයට ගන්නා සියලුම ප්‍රෝටීන්  ශරීරයට අවශෝෂණය කරගන්නේ ඇමයිනෝ අම්ල ලෙසයි. ඇමයිනෝ අම්ල මගින් ශරීරය තුළ කොලජන්, කෙරටීන් ආදී ප්‍රෝටීන් නිර්මාණය කරනවා. මේ කොලජන් සහ කෙරටීන් ආදී ප්‍රෝටීන් අපේ සෛලවල හැඩය පවත්වා ගැනීම  සෛල නිර්මාණය කිරීම ආදී කාර්යන් බොහොමයක් සිදු කරනවා. ඒ නිසා යටි පතුල් පැලීම අවමකර ගන්නටත් මේ පෝෂ්‍ය පදාර්ථය බෙහෙවින් උපකාරී වෙනවා.
  • විටමින් සමේ වියළි බව අවම කරමින් නීරෝගීව පවත්වා ගැනීමට විටමින් A, ප්‍රධාන වශයෙන් හේතු වෙනවා.සමේ ඉහළ සහ පහළ ස්තර නිර්මාණයටත් සූර්යාලෝකයෙන් සම ආරක්ෂා කරන්නටත්, සමේ පිළිකා ඇතිවීම අවම කරන්නටත් හේතු වෙනවා. ඒ වගේම විටමින් C  සමේ ඇතිවන පිපුරුම් නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමටත් කොලජන් තන්තු නිර්මාණයටත් උපකාරී වෙනවා. විටමින් E  මගින් සෛලවල සෛල බිත්තිය ශක්තිමත් පවත්වා ගනු ලබන ආහාර එය පාදයේ පැලීම් ඇතිවීම වළක්වා ගන්නට උපකාරී වෙනවා.
  • ඛනිජ වර්ග යටි පතුල් පැලීම වළක්වා ගන්නටත් ඒවා යථා තත්ත්වයට පත්කර ගන්නටත් අවශ්‍ය කරන ඛනිජ වර්ග අතුරින් සින්ක් සහ සෙලිනියම් වැදගත් ස්ථානයක් හිමිකර ලබනවා. සින්ක් සහ සෙලිනියම් මගින් සමේ සෛල බිත්තිය නිර්මාණය කිරීම සෛල බෙදීයාම වැනි කාර්යයන් සිදු කිරීම සඳහා අත්‍යවශ්‍ය සාධක ලෙස වැදගත් වෙනවා. ඒ නිසා ඔබගේ ආහාරවේලේ මේ ඛනිජ වර්ග අනිවාර්යයෙන්ම අන්තර්ගත විය යුතු වෙනවා.

යටි පතුල් නීරෝගීව තබා ගැනීමට සිදුකල හැකි පිළියම් 

Pot of honey

පිළියම් අංක 1  

  • මද රස්නය සහිත උණු වතුරට සබන් ස්වල්පයක් එකතු කර සකස් කරගන්න. එහි ඔබේ පාද ගිල්වා විනාඩි 20 ක් තබා ගන්න.
  • පසුව පෙගුණු පාද ෆූට් ස්ක්‍රබර් එකක් ආධාරයෙන් ස්ක්‍රබ් කර ගන්න. මේ සඳහා ඉතා සිනිදු පාෂාණයක් වුණත් භාවිතා කරන්නට පුළුවන්. මෙයින් පාදයේ පවතින මැරුණු සෛල ඉවත් කිරීමක් සිදු වෙනවා.
  • පසුව ස්ක්‍රබ් කර පිරිසිදු කරගත් දෙපා වියළි තුවායක් හෝ ෆෑන් එකක් භාවිතයෙන් වියළා ගන්න.
  • පසුව පාද පැලීම සඳහා වූ ආලේපන වර්ගයක් ආලේප කරන්න.එසේ නැත්නම් ඝන මොයිස්චරයිසර් ආලේපනයක් භාවිතා කරන්නටත් හැකියි. එසේත් නැත්නම් මේ සඳහා මී පැණි භාවිතා කිරීමත් ඉතාම සුදුසුයි. ඒ හැරුණාම පිරිසිදු පොල්තෙල් වුණත් සුදුසුයි. එයින් සමට ආරක්ෂාකාරි කෘත්‍යයක් ඉටු කරනු ලබනවා.
  • පසුව පාදයේ මොයිස්චර් ගතිය පිටතට යාම වළක්වා ගැනීමට පාදයේ පෙට්‍රෝලියම් ජෙල් petroleum jelly එකක් භාවිතා කරන්නට පුළුවන්. වැස්ලින් වගේ ආලේපනයක් පවා මේ සඳහා සුදුසු වෙනවා.
  • පසුව මේස් යුගලයක් පැළද නින්දට යන්න. 

මොයිස්චරයිසර් ආලේපනයක අඩංගු විය යුතු මූලද්‍රව්‍ය 

  • සැලිසිලික් ඇසිඩ් (Salicylic Acid )
  • යූරියා (Urea) 
  • ඇල්පා හයිඩ්රොක්සි ඇසිඩ් (Alpha Hydroxi Acid)  
  • සැකරයිඩ් අයිසෝමරේට් (Saccharide Isomerate) 

මේ සංඝටක අඩංගු ආලේපනයක් සමේ නීරෝගී පැවැත්මට සුදුසු වන අතර එය සමේ තෙතමනය පවත්වා ගෙනයාමට වැදගත් වෙනවා.

අද බොහෝදෙනෙක් මුහුණ කෙරෙහි දක්වන අවධානය පාද කෙරෙහි නොදැක්වීම නිසා පාදය ආශ්‍රිතව මෙවැනි වියළි තත්ත්වයන් නිර්මාණය වී පැලීමට ලක්වෙනවා. ඒ තත්ත්වයන් වළක්වා ගෙන සුන්දර පාද යුගලක් හිමිකර ගන්නට මේ උපදෙස් කාන්තා පුරුෂ සියලුදෙනාට නිසැකයෙන්ම වැදගත් වේවි.