මහත අය කෙට්ටු වෙන්න උත්සාහ දරන අතරේ කෙට්ටු ශරීරයක් තියෙන අය මහත් වෙන්න උත්සාහ කරනවා කෘශ ශරීරයක් තියෙන එක අපේ පෙනුමට බාධාවක්. හැමෝම කැමතියි පිරිපුන් ලස්සන සිරුරක් හිමි කරගන්න. ඉතින් ඒ නිසා කෘෂ ශරීර හිමි ගොඩක් දෙනෙක් මානසිකව පීඩාවට පත්වෙලා ඉන්නවා.
මේ නිසා ඔවුන් විවිධ වූ ප්‍රතිකාර සඳහා යොමු වෙනවා. බටහිර වෛද්‍ය ක්‍රමය තුළ විවිධ වර්ගයේ ඖෂධ ශරීරය මහත් කර ගැනීමට සඳහා පවතිනවා. නමුත් මේවායින් ඇතැම් ඒවා භාවිතා කරන කාලය තුළ පමණක් ප්‍රතිඵල පෙන්නුවත් ඒවා නතර කළ විගස නැවත ශරීරය යථා තත්ත්වයට පත්වෙනවා. ඒ විතරක් නෙවෙයි මේවා දිගු කාලීනව භාවිතා කිරීමෙන් නොයෙකුත් අතුරු ආබාධ ඇති වෙනවා. ඉතින් ඇඟ කෙට්ටු කරගන්න වගේම ඇඟ මහත් කර ගන්නත් මේ වගේ බෙහෙත් බීලා අවසානයේ නැති ලෙඩ සිය ගානක් හදාගන්න අපිට සිද්ධ වෙනවා.
ඒත් අපිට ආයුර්වේදයේ ශරීරය මහත් කර ගන්නට අවශ්‍ය කරන අපූරු හෙළ වට්ටෝරු ඕනෑතරම් තියෙනවා. නමුත් බොහෝ දෙනෙක් මේවා ගැන නොදැනුවත්කම නිසාම බටහිර ඖෂධ කරා යොමු වෙනවා. ඉතින් අපි අද ඔයාට කියන්න යන්නේ කෙසඟ සිරුරක් පෘෂ්ඨිමත් කරගන්නට හැකියාවක් තියෙන දේශීය වට්ටෝරුවක් කිහිපයක්ම ගැන .

නමුත් ඔබේ ශරීරය හදිසියේ කෙට්ටු වෙලා නම් ඒ සමඟම ශරීරයට විවිධ අපහසුතා දැනෙනවා නම් අනිවාර්යෙන්ම ඔබ වෛද්‍යවරයෙකු හමුවට ගොස් පරීක්ෂා කරවා ගන්න. පෝෂණ ඌණතා, ජානමය හේතු හැරුණාම ශරීර බර අඩු වෙන්නට විවිධ රෝග තත්ත්වයන් හේතු වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න . එවැනි රෝග තත්ත්වයක් නොමැති අයෙකුට මේ වට්ටෝරුව භාවිතා කරන්න පුළුවන් .
අවශ්‍ය දේවල්
උඳු පිටි ග්‍රෑම් 50-කාබෝහයිඩ්‍රේට්, ආහාරමය තන්තු, මේදය, විටමින්, ප්‍රෝටීන්, කැල්සියම්, යකඩ, මැග්නීසියම්, මැංගනීස් ,පොස්පරස් ,පොටෑසියම් සින්ක් ආදී පෝෂක සංඝටක රාශියක්ම උඳුවල අන්තර්ගත වෙනවා. ශරීරය සිසිල් කරමින් මානසික ශක්තිය බුද්ධිය වර්ධනය කරන උදු මලබද්ධය හා අර්ශස් ආදී රෝගවලටත් හිතකරයි. ඒ වගේම අපේ ශරීරයේ කෘෂ බව නැති කරන්නටත් මේ ආහාරයට අපූරු හැකියාවක් තියෙනවා .
රට ඉඳි ගෙඩි විස්සක්-කැලරි බහුලව අඩංගු වන පලතුරක් වන මේවායේ කැලරි විශාල වශයෙන් කාබෝහයිඩ්‍රේට්වලිනුත් ඉතිරි සුළු ප්‍රමාණය ප්‍රෝටීනවලිනුත් සැපයෙනවා. ඒ හැරුනහම විටමින්, ඛනිජ ලවණ සහ තන්තු විශාල ප්‍රමාණයක් රටඉඳිවල අඩංගු වෙනවා. ආහාර ජීර්ණය පහසු කිරීම, මල බද්ධය දුරු කිරීම ඇතුළු සෞඛ්‍යමය ප්‍රතිලාභ රාශියක් ලබාදෙන රට ඉදි ශරීරය පෘෂ්ටිමත් කිරීම සඳහා වූ විවිධ වට්ටෝරු සඳහාත් භාවිතා වෙනවා.
අළු කෙසෙල් ගෙඩි තුනක් මිත්‍යා අදහස් කොතරම් පැවතුණත් ශරීරය පෘෂ්ටිමත් කරන විශිෂ්ට ආහාරයක් විදියට මේ අළු කෙසෙල් සැලකෙනවා. අළු කෙසෙල් ගෙඩිවල විතරක් නෙවෙයි මුල්, කොළ, මල් ආදී හැම කොටසක්ම වගේ ඖෂධීය වටිනාකමෙන් ඉතාම ඉහළයි. මේවායේ කාබෝහයිඩ්‍රේට්, පොස්පරස්, ප්‍රෝටීන්, කැරොටින් ආදී පෝෂණ ගුණ රැසක්ම අන්තර්ගත වෙනවා.
තන්තු බහුල ප්‍රතිඔක්සිකාරයක ගුණයෙන් පොහොසත් අළු කෙසෙල්වල විටමින් C සහ යකඩත් යහමින් අඩංගු වෙනවා. අධික කැලරි ප්‍රමාණයකින් සමන්විත අළු කෙසෙල්වල විටමින් A, K, කැල්සියම්, මැග්නීසියම්, ෆෝලෙට් ද අන්තර්ගත වෙනවා. මේවා ආහාරයට ගැනීමෙන් මුත්‍රාශයේ රෝග, රක්තහීනතාවය දුරු කිරීම විතරක් නෙවෙයි ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ඔස්ටියෝපොරෝසිස් ඇතුළු අස්ථි සම්බන්ධ රෝග තත්තවයන්වලිනුත් අපිට ආරක්ෂාව සලසනවා.
එළඟි තෙල් මිලි ලීටර් 50ක් “ ණය වී හෝ ගිතෙල් කන්න” එහෙම තමයි ගිතෙල් ගැන සඳහන් වෙන්නේ .විටමින් ඇතුළු පෝෂක රැසකින් පරිපූර්ණ එළඟි තෙල් ශරීරය පෘෂ්ටිමත් කර ගැනීම සඳහා උදව් වෙනවා. දිනපතාම එලගි තෙල් මේස හැඳි දෙකක් පමණ ආහාරයට එකතු කර ගැනීමෙන් ඔබට නිරෝගී ජව සම්පන්න ජීවිතයක් ගත කරන්නට හැකියාව ලැබෙනවා. නමුත් කොතරම් ගුණදායක වුණත් දිනකට එළගිතෙල් මේස හැදි 2 ඉක්මවා ගැනීම හිතකර නැහැ.

මී පැණි මිලි ලීටර් 50ක්-ස්වභාවදහමෙන් දායාද කරපු අගය ගුණය කියා නිම කළ නොහැකි ඔසුවක් තමයි මී පැණි . නිරෝගී ජවසම්පන්න ජීවිතයකට මී පැණි වඩාත් හිතකරයි. විශේෂයෙන්ම දේශීය ඔසු වට්ටෝරු සඳහා මී පැණි අනිවාර්යෙන්ම වගේ භාවිතයට ගන්නවා .
එළඟිතෙල් සහ මී පැණි සපයා ගැනීමේදී වඩාත් පිරිසිදු හොඳ තත්ත්වයේ ඒවා තෝරා ගැනීමට කටයුතු කරන්න .
සකසා ගන්නා ආකාරය මුලින්ම අළු කෙසෙල්වල පොතු ඉවත් කර කැබලි කරගන්න. රට ඉදිවල ඇට ඉවත් කර තරමක කැබලිවලට කපා ගන්න. මේ සියල්ල වියලි බඳුනකට දමා උඳු පිටි ටිකත් එයට දමා තලපයක් වන සේ අතින් හොඳින් පොඩි කර ගන්න. ඉන්පසුව මී පැණි සහ එළගිතෙල් දමා හොඳින් මිශ්‍ර කරන්න.
මෙය සුළං නොවදින විදිහට වීදුරු භාජනයක දමා තබාගෙන උදේ සවස නෙල්ලි ගෙඩියක තරම් ප්‍රමාණයක් ආහාරයට ගන්න. මෙයින් කිසිම අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ.
මෙය භාවිතා කරන අතරේ ඒ සමගම ඉඟුරු පෙති දෙක තුනක් එකතු කරපු එළකිරි වීදුරුවක් පැය භාගයකට පසු පානයට ගන්න. ඒ අතරේ ඔබට හාතවාරිය අලවලින් කැඳ සකසා පානය කරන්නත් පුළුවන් . එයත් කෘෂ ශරීර මහත් කරගන්නට උදව් වෙනවා.