ඉවසන්න බැරි උගුරේ වේදනාව පටස් ගාලා සුව කරන ස්වභාවික කහ පානය

health tips

උගුරේ අපහසුතා හෙවත් උගුරේ වේදනාව, වියළිබව හා කසනසුලු ගතියක් දැනීම සෙම්ප්‍රතිශ්‍යාව,දිය පීනස, වෛරස ආසාදන, කැස්ස ඇතුළු අසනීප තත්වයන් හි මූලික රෝග ලක්ෂණයක් ලෙස මතුකරන්නකි. උගුරේ අපහසුතා නිසා පුද්ගලයාගේ කටහඬ වෙනස්වීම සිදුවිය හැකියි. උගුරේ කසනසුලු බව කතාකරන විට දී  හා නිරන්තර අපහසුවක් ඇතිකරවයි. උගුරේ ඇතිවන ඕනෑම අපහසුතාවකට සුවසලසන ඉන්දියානු ආයුර්වේදීය කසාය පානයක් ගැනයි අද ඔබව දැනුවත් කරන්නේ.වෛරස හා සෙම්ප්‍රතිශ්‍යාව වැනි ආසාදන බහුලව පැතිරෙන මේ කාලයේ සිරුරේ පීඩාකාරී රෝග ලක්ෂණ අඩුකිරීමටත් සිරුරේ ආරක්ෂාව වැඩිකරගැනීමටත් මේ පානය උපකාරී වේවි.මෙම ඖෂධීය පානය බාල මහලු කාටත් ගුණදායකයි.

මේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවාද කියා මුළින්ම බලමු:වතුර කෝප්ප 1ක්, කහ කුඩු ස්වල්පයක්, ග්‍රේට් කරගත් ඉඟුරු තේ හැඳි 1ක්,ගම්මිරිස් ස්වල්පයක් අවශ්‍යයි. තවද චායි මසාලා කුඩු වලින් ස්වල්පයක් අවශ්‍යයි (චායි මසාලා හෙවත් මසාලා තේ යනු ඉන්දියාවේ ජනප්‍රිය ඖෂධීය තේ පානයක්.මෙම මසාලා මිශ්‍රණය සාදාගැනීම ඉතා පහසුයි.කරාබු නැටි 2ක්, කුරුඳු කුඩා කැබල්ලක් හා කරදමුංගු 3ක් පමණ,ගම්මිරිස් ස්වල්පයක්, සූදුරු තේ හැඳි 1/2ක් පමණ,වියළි ඉඟුරු කුඩා කැබැල්ලක්,තුල්සි හෙවත් හීන් මදුරුතලා කොළ 4-5ක් පමණ ගෙන මද ගින්නේ මිනිත්තු කිහිපයක් බැදගන්න.ඉන්පසු බ්ලෙන්ඩරයට දමා හොඳින් කොටාගන්න) . කරදමුංගු කුඩු වලින් ස්වල්පයක්, කුඩා කිතුල් හකුරු කැබැල්ලක් ද සූදානම් කරගන්න.

මුළින්ම බඳුනක් ලිප තබා එයට වතුර කෝප්පයක් පමණ එක්කරන්න.ඇඟිලි තුඬින් කහ,කරදමුංගු කුඩු,චායි මසාලා කුඩු සහ ගම්මිරිස් ස්වල්පයක් ගෙන ඊට එක්කරන්න. ග්‍රේට් කරගත් ඉඟුරු සහ හකුරු කැබැල්ල එක්කරන්න.මෙහි වතුර අඩක් හි‍ඳෙන තුරුම තම්බාගන්න.වීදුරුවකට පෙරා පානය කරන්න.දිනකට එක්වරක් හෝ දෙවරක් බැගින් පානය කිරීමෙන් උගුරේ ආසාදනය සුවවී යනු ඇත.

මෙහි ඇති සෑම අමුද්‍රව්‍යක්ම ඖෂධීයයි. කහ වල ප්‍රතිදේහජනක ගුණය බහුලයි.එමඟින් සිරුර ආසාදන වලට නතුවීම වළකයි.කර්කියුමින් නම් සක්‍රීය සංඝටක ඇති නිසා සිරුරේ ප්‍රදාහයන් (වේදනාකාරී ඉදිමුම් අපහසුතා) ඇතිවීම වළකයි.ප්‍රතිප්‍රදාහක ගුණය නිසා උගුරේ ඉදිමුම් වැනි තත්වයන් අඩුකරයි.

ඉඟුරු ඉදිමුම් හා ආසාදන සමනය කරන තවත් හොඳම ඖෂධයකි.වේදනානාශක ගුණයෙන් ද අනූනයි.වෛරසනාශක ගුණයෙන් ද යුක්ත නිසා වෛරස ආසාදන වලින් ශ්වසන පද්ධතිය ආරක්ෂා කරයි.උගුරේ ඉදිමුම හා තුවාල වී ඇති ගතිය සමනය කරයි.

කලු ගම්මිරිස් ‘කුළුබඩු අතර රජු’ ලෙස සැලකෙයි.මේවායේ ඖෂධීය ගුණාංග ඉහළය. ප්‍රතිඔක්සිකාරක මෙන්ම යකඩ,පොටෑසියම්, මැග්නීසියම්, මැංගනීස්, සින්ක්,ක්‍රොමියම් සහ විටමින් A වැනි පෝෂක ද ඇත.ගම්මිරිස් මඟින් සිරුරේ සෙම් දොස් සමනය කරයි. සෙම බුරුල් කරමින් ඒවා බැහැර වීමට සලස්වයි.සිරුරේ පරිවෘත්තිය වඩවයි. ජීර්ණ ආබාධ වලට ගුණදායකයි.

කරදමුංගු ප්‍රමාණයෙන් කුඩා වුවත් සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස වැනි ආසාදාන වලට එරෙහිව සටන් කරමින් වලදී සිරුරට හොඳින් ප්‍රතිකාර ලබාදෙන ප්‍රබල ඖෂධයක් ලෙස සැලකෙයි.ප්‍රතිඔක්සිකාරක බහුලයි.කරදමුංගු ඇට වලින් සකසන තෙල් උගුරේ අපහසුතාවට ඉතා ගුණදායකයි. ඉන් උගුර සමනයට පත්කරයි.

කිතුල් හකුරු ප්‍රතිශක්තිය වඩවන අතර ශරීර උෂ්ණත්වය නිසි ලෙස නියාමනය කරයි.සිරුරේ අධික ශ්ලේෂ්මල (සෙම් සො‍ටු) බැහැර වීමට සලස්වයි.

උගුරේ අපහසුතා හා ආසාදන මතුකර වෛරස හා බැක්ටීරියා බොහෝවිට හමුවන්නේ එම සෙම්,සො‍ටු හා කෙළ තුළයි.

එම බිඳිති මඟින් මෙම ආසාදන තත්වයන් ඇතැම් විට වෙනත් අයට ද බෝ විය හැකියි. කොවිඩ් වෛරසය වැනි රෝග වලදි මේ තත්වය පිළිබඳ නිතර සිහිපත් කළ ආකාරය ඔබට මතක ඇති.ඉතින්,මෙවැනි අපහසුතා ඇති දින වල ඔබේ සෞඛ්‍ය ගැන වගේම අන් අයගේ පරිස්සම ගැනත් සිතන්න. නිතර අත් සබන් දමා පිරිසිදු කරගන්න. මුව ආවරණයක් පලඳින්න.

*උගුරේ අපහසුව දිගු කාලයක් තිස්සේ පවතියි නම් හෝ වෙනත් රෝග ලක්ෂණ ද ඒ සමඟ මතුකර ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.