උගත් නූගත් හැමෝම දන්නවා යකඩ ඌණතාවයන්ට ගුණදෙන ආහාරයක් වන නිවිති ගැන.සෑම ගෙදරකම නිවිති වැලක් දකින්නට අපහසු වෙන්නේ නැහැ. නිවිති වැලේ ගෙඩි දම් පැහැයක් ගන්නවා. ටිකක් සාත්තුවක් කළොත් ඉතාම සරුවට වවා ගන්න පුළුවන් පෝෂ්‍යදායි ආහාරයක්.ඕනෑම ප්‍රදේශයක වැවෙන නිවිති දණ්ඩ කොළ පැහැ සහ දණ්ඩ දම් පැහැ වශයෙන් ප්‍රභේද 2 ක් දකින්නට පුළුවන්. නමුත් මේ දෙවර්ගයේම ඉතා ඉහළ පෝෂණ ගුණයක් අන්තර්ගතයි. අද අපි බොහෝදෙනා නිවිති රසවත් එළවලුවක් විදියට භාවිතා කළාට අතීතයේ මෙය ඉතා ඉහළ ඖෂධීය ගුණයෙන් යුත් ඔසුවක් විදියට භාවිතා වෙලා තියෙනවා. මේ නිවිති සතුව ඇති සෙවල ස්වභාවය නිසා ලපිච්බිලා යන නමින් වගේම නින්ද නොයාම වළකා නින්ද ලගා කරවන අපූරු ගුණයක් ද මෙහි සතු නිසා මෝහිනී යන නමිනුත් හඳුන්වනවා. අතීතයේ දරුවන් ප්‍රසූත කරන්නට සූදනම් වෙන ගැබිනි මාතාවන්ට නිවිති කොළවලින් සකස් කළ කසායක් දෙනවා පහසුවෙන් වේදනාවකින් තොරව දරු ප්‍රසූතිය සිදුවෙන්නට.
නිවිති ආහාරයට එකතු කරගත හැකි ආකාර

නිවිති කුමන ආකාරයට ආහාරයට එකතු කර ගත්තත් එයින් ලැබෙන සුවිශේෂී පෝෂණ ගුණය අපිට ලබා ගන්නට පුළුවන්. සාමාන්‍යයෙන් ව්‍යංජනයක් විදියටත්, තෙම්පරාදුවක් විදියටත්, පරිප්පු හෝ කොස් ඇට සමඟ කලවමටත් පිස ඉතා රසවත්ව නිවිති ආහාරයට ගන්නට පුළුවන්. වාෂ්පයෙන් තම්බා සලාදයක් විදියට ආහාරයට ගන්නටත් පුළුවන්. සුප් එකක් විදියට වගේම නිවිති පානයත් ඉතාම ගුණදායක පානයක්. ඒ විතරක් නෙවෙයි නිවිති සැලඩ් කියන්නේ රසම රස ආහාරයක්. අපි නිවිති කොළයෙන් පමණක් ප්‍රයෝජන ගත්තාට ස්වභාවික වර්ණකාරකයක් විදියට තලා ගත් නිවිති ඇට යොදා ගන්නටත් පුළුවන්. රසකැවිලි වර්ණ කරන්නට දම්පාට නිවිති ඇට තලා එයට දෙහි යුෂ ස්වල්පයකුත් මිශ්‍ර කළාම ඒ පැහැය තවත් වැඩිකර ගන්නටත් පුළුවන්.
නිවිති සුප්
අවශ්‍ය ද්‍රව්‍ය
- නිවිති කොළ කිහිපයක්
- පරිප්පු මිටක් පමණ
- සුදු ළූණු බික් 4 ක්
- ළූණු ගෙඩියක්
- අමු මිරිස් කරලක්
- ලීක්ස් කඳ කොටසක්
- කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- බටර් ස්වල්පයක්
- එළකිරි කෝප්පයක්
- ගම්මිරිස් කුඩු
- ලුණු
- තක්කාලි ගෙඩියක්
- දෙහි ස්වල්පයක්
සාදන ආකාරය සෝදාගත් පරිප්පු විනාඩි 10 ක් පමණ පෙගෙන්නට දමන්න. පසුව පරිප්පු ටික ගෙන එයට කපාගත් සුදු ළූණු ටිකක් කපාගත් තක්කාලි දමා ජලය මදක් දමා තම්බා ගන්න. පසුව එයට සිහින්ව කපාගත් නිවිති එකතු කර රස අනුව ලුණු දමා මද රස්නයෙන් හැදිගාමින් තම්බා ගන්න.පසුව ජලය පෙරා ඒ සියල්ල බ්ලෙන්ඩර් කර ඒ මිශ්‍රණය පසෙකින් තබා ගන්න. නැවත භාජනයක් ලිප තබා එයට බටර් ස්වල්පයක් දමා එයට සුදු ළූණු, ළූණු, ලියාගත් අමු මිරිස් හා ගම්මිරිස් කුඩු දමා රන්වන් පැහැ වනතුරු බැදගෙන එයට බ්ලෙන්ඩර් කරගත් මිශ්‍රණය දමා මද වේලාවක් තම්බා එයට කලින් පෙරාගත් සුප් වතුරට එකතු කර එළකිරිත් එකතු කර උණුවෙන්ම පානය කරන්න.
නිවිති පානය

මේ නිවිති පානය ශරීරයේ බොහෝ ලෙඩරෝගවලට එරෙහිව ක්‍රියාකරන අතර විශේෂයෙන්ම පිළිකා නැසීමේ විශේෂ හැකියාවක් ඒ පානය සතුයි.
අවශ්‍ය ද්‍රව්‍ය
- හොඳින් සෝදාගත් නිවිති මිටක්
- හොඳින් සෝදාගත් ගොටුකොළ මිටක්
- ලෙමන් ගෙඩියක්
- වතුර කෝප්ප භාගයක්
සාදා ගන්නා ආකාරය මේ සියලුම ද්‍රව්‍ය බ්ලෙන්ඩරයක දමා කොටා ලෙමන් යුෂ එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. එසැනින් උදේ හිස්බඩ පානය කිරීමෙන් විස්මිත ප්‍රතිඵල අත්කර ගන්නට පුළුවන්.
නිවිති ආහාරයට ගැනීමෙන් අපිට ලැබෙන ප්‍රතිලාභ
- කුඩා දරුවන්ට ඉතාමත් සුදුසු ආහාරයක්
- මල බද්ධය දුරලයි
- ගැබිනි මව්වරුන්ට වගේම කිරිදෙන මව්වරුන්ට ගුණදායකයි
- ඉදිමුම් සඳහා සුවය දෙයි.
- සමේ ඇති විසර ගෙඩි සඳහා නිවිති කොළ සහ අමු කහ අඹරා ආලේප කිරීමෙන් විසර ගෙඩි ඉක්මනින් පුපුරා සැරව ඉවත්ව තුවාලය ඉක්මනින් සුව කරයි.
- ශරීරයේ දුබලතා නසයි.
- ලේ වඩවා රක්තහීනතාවය දුරු කරයි.
- යකඩ අවශ්‍යතා සපුරාලයි.
- අස්ථි ශක්තිමත් කරයි.
- අධි රුධිර පීඩනය ඇති නොකරයි.
- ආඝාතය ඇතිවීම වළක්වයි.
- රත්පිතට ගුණදායකයි.
- ශුක්‍ර වඩයි.
- හදවත් රෝග නසයි.
- ස්ථුලතාවය අඩු කරයි.
- වයස්ගතවීමත් සමඟ මොළයට ඇතිවන දුර්වලතා අවම කරයි.
- ඇසේ සුද ඇතිවීම ඇතුළු අක්ෂි රෝග වළක්වයි.

- ඔස්ටියෝ ආතරයිටීස් රූමැටොයිඩ් ආතරයිටීස් වැනි ප්‍රදාහ තත්ත්වයන් නිසා හට ගන්නා රෝගවලින් ආරක්ෂා කරයි.
- මිග්‍රේන් තත්ත්වය සමනය කරන්නට හැකි මැග්නීසියම් සහ රිබොෆ්ලේවින් උපකාරී වෙයි.
- ශක්තිය වඩයි.
- මොළයේ සෛල වේගයෙන් වර්ධනය කරයි.එමගින් මතක ශක්තියත් වැඩිවෙයි.
- සම අහිතකර පාරජම්බූල කිරණින් ආරක්ෂා කරයි.
- තරුණ පෙනුම රැකදෙයි.
- හිසකෙස් වර්ධනය කරයි.
- රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි.
- ප්‍රතිශක්තිය ඉහළ නංවයි.
- පිළිකා ඇතිවීමේ අවදානම් අඩු කරයි. නිවිති සතුව පිළිකා නාශක 13 කට වැඩි ප්‍රමාණයක් ඇති බව සොයාගෙන තියෙනවා.
- පියයුරු පිළිකා ඇතිවීම හා පුරස්ථි ග්‍රන්ථි පිළිකා ඇතිවීම වළකයි.
- ආහාර අරුචිය නසයි.
- මුත්‍රා රෝග නසයි.
- සිරුර සිනිදු කරයි.
- කුෂ්ට රෝග නසයි. මේ සඳහා කොහොඹ කොළ අමු කහ තැම්බූ වතුරෙන් සෝදා නිවිති කොළ මිටිකිරෙන් තම්බා එයට සීනක්කාටම් කුඩු දමා ආලේප කිරීම සහනය සලසයි.
- පිළිස්සුම් සඳහා ඇතිවන දැවිල්ලට නිවිති හා දෙළුම් එකට තබා බැදීම සුදුසුයි.
- දෙඹර, බඹර, ගෝනුසු, මී මැසි, පොළොං ආදී විෂ නසයි. මී මැසි විසට නිවිති කොළ යුෂ ආලේපය සුදුසු අතර පොළොං විෂ නසන්නට හීරුස්ස, නිවිති නෙරෙංචි වියළි ඉඟුරු මලවා බැඳීම සුදුසුයි.
- නියගලා අල විෂ නසන්නට නිවිති කොල වියළා ඇල්වතුරෙන් දියකර පෙවීමෙන් ඒ විස සමනය කරයි.
- ශරීරයේ දැවිල්ල නසයි.
- නාසයෙන් ලේ ගලන අවස්ථාවල නිවිති කොළ යුෂ පානය කිරීම ගුණදායකයි.
සැලකිය යුතුයි.නිවිති සෙම වඩන ආහාරයක් නිසා සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, පීනස ආදිය පවතින විට ආහාරයට ගැනීම අහිතකරයි.