මුහුණට වාෂ්ප ඇල්ලීමෙන් සතියක් යන්නටත් මත්තෙන් ඔබට ලබා ගතහැකි ප්‍රතිලාභ

health tips

 සුන්දර බව කාන්තාවකට ආභරණයක් බව අවිවාදිතයෙන්ම පිළිගත යුතු කාරණාවක්. නමුත් කාන්තාවන් විතරක් නෙවෙයි පුරුෂ පාර්ශවයත් කැමතියි  තමන්ගේ පෙනුම වැඩිදියුණු කරගෙන නීරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න. නමුත් පොදුවේ මේ හැමදෙනාටම තියෙන ප්‍රධාන ගැටළුවක් තමයි සමේ තියෙන ලප කැළැල් සහ කුරුලෑ ආදිය. ඉතින්  නොයෙක් නිෂ්පාදන භාවිතා කරමින් එයින් මිදෙන්නට උත්සාහ ගන්නවා. ඉතින් රූපය ලස්සනට තියාගන්න විතරක් නෙවෙයි නිරෝගී ජීවිතයක් ගත කරන්නට බොහෝ රෝගවලින් ආරක්ෂා වෙලා ඉන්නටත් ඉතාම පහසු ක්‍රමයක් ගැන තමයි අද අපි කියන්න යන්නේ.

පහුගිය කොරෝනා වසංගත කාලයේ බොහෝ දෙනෙක් ඒ වසංගතයෙන් ආරක්ෂා වෙන්නට කරපු දෙයක් තමයි හුමාලය ඇල්ලීම. ඉතින් මෙන්න මේ ක්‍රමය තුළින් ප්‍රතිලාභ බොහොමයක් අපිට ලබා ගන්නට හැකියාව තියෙනවා. නමුත් ඔබ වාෂ්ප ඇල්ලීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු කාරණා ගැන හොඳ අවබෝධයකින් පසු වෙන්නටත් අමතක කරන්න එපා. මොකද නැත්නම් මේ නිසා අපිට වෙනත් අහිතකර බලපෑම් ඇති වෙන්නට හැකියාව තියෙන නිසා.

 වාෂ්ප ඇල්ලීමෙන් සමට ලැබෙන  ප්‍රතිලාභ

සම ඉතා ගැඹුරින් පවිත්‍ර කරනවා.

අපේ සම ආශ්‍රිත ගැටළු බොහොමයකටම මූලික හේතුව තමයි සම හොඳින් පිරිසිදු නොවීම. දවස පුරාම කුණු දූවිලිවලට සෘජුවම ගැටෙන නිසා සමේ පිරිසුදු බව ගැන අපි වැඩිපුර හිතන්නට ඕනෑ. ඉතින් සම ඉතාමත් ගැඹුරින් පිරිසිදු කරගන්නට සමේ රැඳිලා තියෙන කුණු දූවිලි සහ මැරුණු සෛල ඉවත් කර ගන්නට වාෂ්ප ඇල්ලීම අපිට උදව් වෙනවා. සමේ සිදුරු විවෘතව පවතිද්දි සම මතුපිට තියෙන වයිට් හෙඩ්ස් සහ බ්ලැක් හෙඩ්ස් ලිහිල්වීමකුත් සිද්ධ වෙනවා. ඒ නිසා ඒවා ඉතා පහසුවෙන් අපිට ඉවත් කරගන්නත්  පුළුවන්. වාෂ්ප ඇල්ලීම නිසා සමේ අපහසුතා සහ ආසාදන ඇති වීම බොහෝදුරට වළක්වා ගන්නට හැකියාව ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි සමේ තද බව අඩුවෙලා සම මෘදු කරගන්නත්  මේ  ක්‍රියාවලිය අපිට උදව් වෙනවා.

සම පැහැපත් කරනවා.

 අද බොහෝ දෙනෙක්ට තියෙන ගැටලුවක් සම පැහැපත් කරගන්න එක. ඉතින් මේ නිසාම විවිධ නිෂ්පාදන භාවිතා කරන ඔයාට ස්වභාවිකව සම පැහැපත් කර ගන්නට ඉතාම හොඳ ක්‍රමයක් තමයි වාෂ්ප ඇල්ලීම. සමේ  ඇති අපද්‍රව්‍ය ඉවත් වෙලා සම ඉතාමත් ගැඹුරින් පිරිසිදු වීමත් සමේ රුධිර සංසරණය වැඩි වීමත් හේතු කරගෙන සමට ඉතාමත් හොඳ පැහැපත් බවක් අපිට ලබා ගන්නට පුළුවන්.

සම නිරෝගී වෙනවා.

 අපේ සම වාෂ්පවලට නිරාවරණය වෙද්දී රුධිරනාල පුළුල් වීමක් සිද්ධ වෙනවා. ඒ මඟින් රුධිර සංසරණය ඉහළ යනවා. ඒ වගේම සමේ මාංශපේෂි ලිහිල් වීමකුත් සිදුවෙනවා. ඉතින් මේ කාරණා නිසා සමට හොඳ විවේකයක් වගේම නිරෝගී සමක් පවා අපිට  හිමි වෙනවා.

ආලේපන සමට හොඳින් උරා ගන්නවා

සමේ නිරෝගී බවට සහ සමේ පැහැපත්භාවය සඳහාත්  අපි විවිධ ආලේපන වර්ග ගල්වනවා. එයින් යහපත් ප්‍රතිඵල ලබා ගන්නට නම් මේ වාෂ්ප ඇල්ලීම ඉතාම වැදගත්. එහිදී සම ඉතා ගැඹුරින් පිරිසිදු වෙන නිසා ආලේපනවල  ඇති ගුණ සම තුළට උරා ගැනීම වඩාත් පහසු කරනවා.  ඒ නිසා ඒ ආලේපනවලින් ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගන්නට මෙය උදව් වෙනවා. 

සමේ  වියළි බව නැති කරනවා.

සතියකට වතාවක් පමණ වාෂ්ප ඇල්ලීම නිසා සමේ ඇති වියළිභාවය දුරු කරගන්නට අපිට පුළුවන්. මේ වාෂ්ප ඇල්ලීම සමට තෙතමනයක් එකතු කරන නිසා සමට මෘදු බවකුත් එයින් ලැබෙනවා 

හුමාලය ඇල්ලීමෙන් ලැබෙන වෙනත් සෞඛ්‍යමය ප්‍රතිලාභ

ස්වසන මාර්ගයේ ආසාදනවලදී ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතාවයන් දුරුකරනවා. එමඟින් හුස්ම ගැනීම පහසු කරනවා.

සයිනස් ගැටලු නිසා ඇතිවන බරපතළ හිසේ වේදනාවන් සුව කරනවා.

සුවදායි නින්දක් ලබා ගන්නට උදව් වෙනවා.

මානසික ආතතිය දුරු කරනවා.

ශරීරයේ  එකතු වී ඇති විෂ ද්‍රව්‍ය බැහැර කරනවා.

පේශීන්ගේ තද ගතිය සහ වේදනාව සමනය කරනවා.

දුම් ඇල්ලීමේ දී දුම් භාජනය මුහුණේ සිට අඩියක හමාරක පමණ දුරකින් තබා ගැනීමට ඔබ සැලකිලිමත් වෙන්න. මොකද මුහුණ වාෂ්පවලට ඉතා  සමීප වීමෙන් සමට හානි සිදු වෙන්න පුළුවන්. මෙයින් සමට ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගන්නට සුදු හඳුන්, වැල්මී හෝ දොඩම් ලෙලි වැනි දේවල් වාෂ්ප ඇල්ලීම සඳහා භාවිතා කරන්නට පුළුවන්. ඒ වගේම  විනාඩි පහ ඉක්මවා හුමාලය ඇල්ලීමෙන් වැළකීමටත්  කටයුතු කරන්න.