පුද්ගලයන් අතර සුලබම රෝග ලක්ෂණයක් තමයි හිස කැක්කුම. මානසිකවත් කායිකවත් නොයෙකුත් ගැටළු නිසා ඇතිවන හිසරදය ආයුර්වේදයට අනුව තුන්දොස් කිපීමෙන් හට ගන්නා තත්ත්වයක්. වාත දෝෂය, පිත දෝෂය කප දෝෂය කෝප වීමෙන් ඇතිවන මේ හිස කැක්කුම නම් හරිම වේදනාකාරී අත්දැකීමක් බව අපි හැමෝම දන්නවා. මොකද හිස කැක්කුම, ඔලුවේ බර ගතිය කියන තත්ත්වයක් අපි හැමෝම වගේ නිතරම අත්දකින තත්ත්වයක්.
මේ හිසරදය සයනොසයිටීස් රෝගය, අධි රුධිර පීඩනය, මානසික ආතතිය, ස්නායු පද්ධතියේ දුර්වලතා, විශ වායු ආඝ්‍රාණය, කාංසාව, කොලෙස්ටරෝල් වැඩිවීම ආදී හේතු නිසාවෙන් ඇති වෙන්නට පුළුවන්. නමුත් යම් යම් රෝග තත්ත්වයන් හේතුවෙන් ඇතිවන් හිසරදය හැරුණාම සාමාන්‍ය හිසරදය සමඟ ඇතිවන හිසේ බර ගතිය නිසා නිතර පීඩා විදින අයට නිවසේදී විවිධ අත් බෙහෙත් භාවිතා කරන්නට පුළුවන්. මේ සඳහා සාර්ථක අත් බෙහෙත් ආයුර්වේදය තුළ පවතිනවා. ඒ හැරුණාම තදබල ලෙස ඇතිවන හිසරදය සහ නිතරම ඇතිවන හිසරදයත් නොසලකා හරින්නේ නැතුව පරීක්ෂා කරවා ගෙන ප්‍රතිකාර ලබා ගන්නටත් අමතක කරන්නට එපා. අද අපි කතා කරන්නේ හිසේ බර ගතියට වගේම හිස කැක්කුමටත් නිවසේදී කළ හැකි ප්‍රතිකාරයක් පිළිබඳව.

මේ සඳහා ස්වාභාවික කුළු බඩු භාවිතයට ගැනෙන නිසා එයින් ලැබෙන ගුණය ඉතාම ඉහළයි . ඒ වගේම දේහයට අගුණයක් ඇති වන්නෙත් නැහැ. ඒ වගේම ඕනෑම අවස්ථාවක ඉතා පහසුවෙන් ඕනෑම අයෙක්ට නිවසේදීම මේ ප්‍රතිකර්ම සිදු කරගන්නටත් හැකියාව තියෙනවා.
ප්‍රතිකර්ම අංක 1 හිසරදයක් සහ හිසේ බර ගතියක් ඇති විට හුමාලය ආශ්වාස කිරීම අපි හැමෝම වගේ සිදු කරනවා. පහතින් සඳහන් කරන්නේ හිසරදය ඉක්මනින් සුව කරගත හැකි සුවිශේෂී ගුණයෙන් යුක්ත හුමාලයක් පිළිබඳවයි.
අවශ්‍ය ද්‍රව්‍ය
කුරුඳු පොතු ඖෂධයක් වශයෙන් වගේම කුළු බඩුවක් ලෙසත් බහුලව භාවිතා කරන කුරුඳු වේදනා නැසීමේ ගුණයෙන් සමන්විතයි. කුරුඳු නාසා කුහරවල ඇති අවරෝධය නැති කරමින් නාසා කුටීර පුළුල් කරනවා. උණ තත්වයන් සුව කිරීම, පිළිකා නැසීම ඇතුළු රෝග ගණනාවකටම ගුණදායක කුළුබඩුවක් තමයි මේ කුරුඳු.
ගම්මිරිස් ගම්මිරිස් මුළුතැන්ගෙට නැතුවම බැරි කුළු බඩුවක්. ශීර්ෂ ශූල නසන, වාතය නසන, සෙම් නසන, ආමය අසන, නාස කුටීරවල ඇති ශෝතය නසන ගුණයකින් සමන්විතයි.

සූදුරු සූදුරු සෙම් පිත් නසන, වාතය නසන, පීනසට ඉතා හිතවත් ඖෂධයක්. ඒ වගේම කුළු බඩුවක්. ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමේ සහ පිළිකා නැසීමේ ගුණයකින් සමන්විත සූදුරු මව්කිරි වැඩීමේ සුවිශේෂී ගුණයෙන් ද සමන්විතයි. ඒ හැරුණාම කුරුලෑ නැසීමේ ගුණයක් මෙහි අඩංගු වෙනවා.
දිය ලුණු සෙම් නසන, වාතය නසන හැකියාවක් ඇති ලුණු මාංශ පේශී හා ස්නානු සම්බන්ධ කිරීමේ සුවිශේෂී හැකියාවෙන් ද පොහොසත්. ඒ වගේම වේදනා අඩු කරන්නටත් සමත් වෙනවා.
සාදා ගන්නා ආකාරය මේ සියලුම ද්‍රව්‍යයන් සියල්ලම අත් මිටක ප්‍රමාණයෙන් ගෙන ජලය මුට්ටියක් ලිප තබා එයට දමා හොඳින් වසා තම්බා ගන්න. මේ ද්‍රව්‍ය සියල්ල හොඳින් වාෂ්පය නැගෙන තුරු විනාඩි 30 ක පමණ කාලයක් හොඳින් තම්බා ගන්න. පසුව රෙද්දක් භාවිතයෙන් වාෂ්පය පිටතට යාමට නොදී වාෂ්පය ආශ්වාස කළ යුතුයි. මේ වාශ්පය විනාඩි 15 ක තරම් කාලයක් ඇල්ලීමත් මේ ද්‍රව්‍ය, නැවත ජලය දමා තම්බා නැවත හුමාලය ඇල්ලීමට ගන්නටත් හැකියාව තියෙනවා.
හිසරදය ඇති අවස්ථාවක හිසේ බර ගතියක් ඇති අවස්ථාවක වගේම එවැනි අපහසුතා නැති අවස්ථාවලත් මේ පිළියම භාවිතා කරන්නට පුළුවන්. විශේෂයෙන්ම වායු සමීකරණය කළ කාර්යාලවල වැඩ කටයුතු කරන්නට අපහසු අයට දීර්ඝකාලීනව මෙය සිදු කිරීම සුදුසුයි.
ඒ හැරුණාම ක්ෂණිකව හිසරදයක් ඇතිවිට ප්‍රමාණවත් තරම් ජලය පානය, ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම සහ විවේකයක් ලබා ගැනීම, ලැවෙන්ඩර් ආදී සගන්ධ තෙල් බින්දුවක් උඩු තොල මත තබා ආශ්වාස කිරීම,අයිස් කැට මගින් නළල ආශ්‍රිත ප්‍රදේශ සම්බාහනය, ඉඟුරු දැමූ තේ එකක් පානය කිරීම ආදිය සාමාන්‍ය හිසරදයක් සුව කරගන්නට ඔබට වැදගත් වේවි.