කුඩා දරුවන්ගේ උගුරේ යමක් සිරවුන විගස කර යුතු දේවල් 6 ක්

health tips

වැඩිහිටියෙකුට වඩා දරුවන් බොහෝ අවස්ථාවල විවිධ අනතුරුවලට භාජනය වෙනවා. ඇස් මායිමේම තියාගෙන රැකබලා ගත්තත්  එක් ක්ෂණයකින් කුමන හෝ අනතුරක් දරුවාට සිදු වෙන්නට පුළුවන්. දරුවන් නොදැනුවත්කම නිසා දකින අතට හසුවෙන සෑමදෙයක්ම කටට දා ගන්න එක නාසයට දාගන්න එක සාමාන්‍ය දෙයක්. නමුත් වැඩිහිටියන් විදියට දෙමාපියන් විදියට අපේ දරුවන් හොඳින් රැක බලා ගැනීම කළ යුතු වෙනවා. නමුත් සුළු මොහොතකින්  දරුවාගේ හුස්ම පවා නැති කරන්නට පුංචි පලතුරු බීජයක් සෑහෙනවා. 

ඉතින් ඔබත් ඕනෑ තරම් අසා ඇති පලතුරු ඇට, ටොෆි ආදිය උගුරේ සිරවීමෙන් දරුවන් මරණයට පත් වුණු පුවත්. ඉතින් ඔබේ දරුවා රැක ගන්නට මෙවැනි අනතුරක් වූ විට අපි ලබාදිය යුතු ප්‍රථමාධාර මොනවද කියන කාරණාව පිළිබඳව අපි හැමෝම දැනුවත්ව සිටිය යුතු වෙනවා. ඒ නිසාවෙන් අපි අද ඔබ සමඟ කතා කරන්නේ දරුවාගේ ශ්වසන මාර්ගයේ යමක් සිරවීමකදී දරුවාගේ ජීවිතය මරණයෙන් කෙළවර වීම වළක්වා ගන්නට දැන සිටිය යුතු කාරණා පිළිබඳවයි.

බොහෝ අවස්ථාවල පලතුරු ඇට ඇතුළු වෙනත් ආගන්තුක ද්‍රව්‍ය දරුවන්ගේ ස්වසන මාර්ගයේ සිරවීම නිසා වැඩි ප්‍රමාණයක් දරුවන් මරණයට පත්වෙන්නේ ප්‍රථමාධාර සම්බන්ධයෙන් වැඩිහිටියන්ගේ  දැනුවත්භාවය අල්ප වීම නිසා. විශේෂයෙන්ම ස්වසනය නතර වී විනාඩි 5 ට පමණ පසු මොළයට රුධිරය සැපයුම් අඩාල වී වීම නිසා මොළය මියැදීමට පටන් ගන්නා නිසා එයට පෙර ප්‍රථමාධාර නිසි පරිදි ලබාදිය යුතු වෙනවා. ප්‍රථමාධාර ලබා දෙන්නට පෙර දරුවාගේ උගුරේ යමක් සිරවී ඇති බව වටහා ගන්නට වැඩිහිටියන් දැනුවත් සිටිය යුතු වෙනවා.

දරුවාගේ උගුරේ යමක් සිරවී ඇති බව හඳුනා ගත හැකි ලක්ෂණ 

  • අපහසුවෙන් හුස්ම ගැනීම 
  • හතිය හෝ ඇදුම වැනි ශබ්දයක් ඇසීම 
  • මුහුණ නිල් පැහැ වීම 
  • කතා කිරීම හැඩීම හෝ  ශබ්ද පිට කිරීමට නොහැකි වීම 
  • උගුර අල්ලා ගැනීම හෝ කලබලයෙන් දෑත් වැනීම 
  • බියවූ ස්වභාවයක් ගැනීම 
  • කහින්නට නොහැකි වීම 
  • සිහිසුන් වීම 

පිට උගුරේ යමක් සිරවීම ඉතාම භයානක තත්ත්වයක්. විශේෂයෙන් ඇට වර්ග වතුර උරා ගත්විට තවත් විශාල වන්නටත් පුළුවන්. එමගින් ස්වසන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වෙන්නට පුළුවන්. ඒ වගේම ඉතා කුඩා සෙල්ලම් බඩු ආදියේ කොටස්  ස්වාසනාලිකාවක රැඳී පෙනහලු අක්‍රීය කරන්නටත් හේතුවක් වෙනවා.

දරුවෙකුගේ හුස්ම හිරවීමකදී ලබාදිය යුතු ප්‍රථමාධාර දරුවා ස්වසනය කරන්නේ නම් දරුවට කහින්නට උපදෙස් දෙන්න.කැස්ස හෝ හුස්ම ගැනීම නතරව ඇත්නම් හෝ ළමයා දුර්වල නම් දරුවාගේ හිස උරහිසට පහළ මට්ටමක තිබෙන ලෙස ඉදිරියට නවා පැත්තෙන් සිට ගන්න. අංශඵලක දෙක මැද්දට අත්ලෙන් පස්වරක් පහර දෙන්න.

මුඛය පරීක්ෂා කරන්න.එය සාර්ථක නම් දරුවගේ පිටුපසින් සිටගෙන අත් මිට මොළවා උරස්ථියේ පහළ කොටස මත (නාභියට ඉහළින් ) තබන්න. අනෙක් අතින් මිට මොළවන ලද අත්ල අල්ලා ගන්න. මිට මොළවන ලද අත තදබල ලෙස වේගයෙන් ඉහළට පස්වරක් තදින් උදරය තද කරන්න.සෑම තත්ත්පර තුනකට එක උර පීඩනය බැගින් ලබා දී මුඛය පරීක්ෂා කරන්න.

නමුත් මේ ක්‍රමවේද නිසි ආකාරයට පුහුණු වීමකින් තොරව සිදු කිරීමට  උත්සාහ නොගන්න. එවැනි දෑ නිසාවෙන් දරුවා වඩාත් අපහසුතාවයකට පත් වෙන්නට පුළුවන්. ඒ නිසා මේ ප්‍රථමාධාර පුහුණුකරුවෙකුගේ අධීක්ෂණය යටතේ නිවැරදිව පුහුණු වී සිටීම වැදගත්.  ඒ වගේම මෙවැනි අවස්ථාවක හැකි ඉක්මනින් දරුවා වෛද්‍ය  ප්‍රතිකාර සඳහා රැගෙන යාමත්  ඉතාම වැදගත්.

ඒ හැරුණාම උගුරේ කටු ආදිය සිරවූ විට උගුරට  ඇඟිලි දැමීම, වමනය කරවීම ආදිය සඳහා උත්සාහ ගන්නට එප. ඒ වගේම එවැනි අවස්ථාවක බත් ගුලි ගිලීමට දීම කෙසෙල් ගෙඩි ආහාරයට දීම ආදියත් තවදුරත් කටුව අභ්‍යන්තරයට යාමට උදව්වක් වෙනවා. ඒ නිසා එවැනි අවස්ථාවකදී වුණත් දරුවාව හැකි ඉක්මනින් රෝහල් වෙත රැගෙන යන්න. ආහාරයට කිසිවක් ලබා නොදෙන්නටත් මතක තබා ගන්න.

මෙවැනි අනතුරුවලින් දරුවා ආරක්ෂා කර ගන්නට වැඩිහිටි ඔබ සැලකිලිමත් වන්න. සාමාන්‍යයෙන් උගුරේ යමක් සිරවෙන්නට කැස්ස හේතුවක් වෙනවා. ඒ නිසාවෙන් ස්වසන පද්ධතියේ ආසාදන ඇති දරුවන්ට ආහාර ලබාදීමේදී  වැඩි සැලකිල්ලක් දැක්වීම අත්‍යවශ්‍යයයි. ඒ වගේම කෑලි ගැලවෙන ආකාරයේ සෙල්ලම් බඩු ආදිය පවා දරුවාට ලබා නොදෙන්නට දෙමාපියන් වගබලා ගත යුතු වෙනවා.