අමිල පිත්ත රෝගය නිසා ඇතිවන ආමාශ පිළිකා ලක්ෂණ 10 ක්

health tips

පිළිකා කියන්නේ මුළු ලෝකය පුරාම ඉතා වේගයෙන් පැතිරෙන මිනිස් ජීවිතවලට අති විශාල තර්ජනයක් එල්ල කරන භයානක රෝගයක්. මිනිස් දේහයේ ඕනෑම අවයවයක් ආශ්‍රිතව මේ පිළිකා ඇතිවීමේ හැකියාව පවතිනවා වගේම මුල් කාලීනව පිළිකාවක් හඳුනා ගැනීමට ඇති නොහැකියාව නිසා මෙහි ඇති භයානක බව තවත් වැඩි වෙනවා. ඒ වගේම මේ වනතුරු මේ පිළිකා රෝගය සඳහා නිශ්චිත ඖෂධයක් සොයා ගැනීමට අපොහොසත්වීමත් පිළිකාව භයානක රෝගයක් ලෙස සමාජයේ පැතිර යන්නට  හේතු වෙලා තියෙනවා. වැරදි ආහාර රටාව හා ජීවන රටාවේ යම්  යම් දේ බෝ නොවන රෝග බොහොමයක් ඇති වෙන්නට මූලික වන බව අවිවාදයෙන්ම පිළිගැනීමට සිදුව තියෙනවා. ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතවත් මේ ආකාරයේ පිළිකාවන් වැඩෙන අතර ආමාශගත පිළිකා ඒ අතුරින් තවත් භයානක පිළිකාවක් ලෙසයි සමාජගතව ඇත්තේ. ඒ නිසාවෙන් අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ වඩාත් දරුණු පිළිකාවක් වන ආමාශගත පිළිකා පිළිබඳව.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික පිළිකා දත්තවලට අනුව ආමාශගත පිළිකා රෝගීන් වසරකට 300-400 ක් තරම් ප්‍රමාණයක් වාර්තා වෙනවා. කාන්තාවන්ට වඩා පිරිමි පාර්ශවය අතර බහුලව වාර්තා වෙනවා. මේ පිළිකාව පිරිමින් 4 දෙනෙකුට ගැහැණු එක් අයෙක් මේ ආමාශගත පිළිකාවෙන් පෙළෙනවා.ඒ වගේම මේ ආමාශගත පිළිකා තරුණ අයට වඩා වයස අවුරුදු 50 ඉක්මවූ අය අතර දකින්නට ලැබෙනවා.

ආහාර ජීර්ණ පද්ධතියට අයත් වෙන ආමාශය, ගලනාලය සහ කුඩා බඩවැල ආශ්‍රිතවයි පිහිටා තියෙන්නේ.ආමාශයේ ඇතිවන පිළිකාවක් ආහාර මාර්ගයේ ඇතිවන පිළිකාවක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මෙවැනි පිළිකාවක් වර්ධනය වීම සඳහා වසර ගණනාවක් ගත වෙනවා.ආමාශයේ ඉහළ, මැද හෝ පහළ යන ඕනෑම ස්ථානයක ආමාශ පිළිකාවක් ඇති වන්නට පුළුවන්. 

ආමාශයේ පිළිකා ඇති වෙන්නට බලපාන හේතු 

  • ජානමය හේතු 
  • කල්තබා ගැනීම සඳහා යොදන අධික ලුණු, දුම් ගැසීම, සහ පෙර සකස් කළ ආහාර බහුලව ගැනීම 
  • ගෑස්ට්‍රයිටීස් රෝගය 

ආමාශයේ ඇති ආමාශයික යුෂවල ආම්ලික ස්වභාවය ඉහළයාමෙන් එහි ඇති අධි සාන්ද්‍රික බවට ඔරොත්තුදීමට ආමාශයේ ඇතුළත් බිත්ති අසමත් වෙනවා. මෙසේ ආම්ලිකතාවය ගලනාලය වෙත පැමිණීම වැළැක්වීමේ ස්වාභාවික ආරක්ෂක ක්‍රමවේදය දුර්වලවීමෙන් ආමාශයත් ගලනාලයත් අතර ඇති සමතුලිතතාවය බිඳීගොස් ආමාශ බිත්තිය පිළිස්සීමෙන් තුවාල ඇතිවිමත් ඒ තුවාල නිසිලෙස සුවපත් නොවී කාලයක් වනවිට ගලනාලයේ හෝ ආමාශයේ පිළිකා බවට පත්වීමත් සිදු වෙනවා. මෙසේ ගෑස්ට්‍රයිටීස් රෝගයට හේතුකාරක වන ක්ෂුද්‍ර ජීවියාට පිළිකා ඇති කිරීමේ හැකියාව පවතිනවා.

  • දුම්පානය
  • මත්ද්‍රව්‍ය පානය
  • බුලත්විට කෑම 
  • අධික තරබාරුව 
  • එළවලු හා පලතුරු අඩුවෙන් ආහාරයට ගැනීම 
  • රබර් ආශ්‍රිත කර්මාන්ත කටයුතුවල රැකියාවේ නිරතවීම 

ආමාශගත පිළිකාවක රෝග ලක්ෂණ 

ආමාශගත පිළිකාවක් හඳුනා ගන්නට මුල් කාලීනව විශේෂ රෝග ලක්ෂණ ඇති වෙන්නේ නැහැ. ඒ මුල්කාලීනව පෙන්නුම් කරන රෝග ලක්ෂණ සියල්ලම ඇති වන්නේ අමිල පිත්ත රෝගයට සම්බන්ධ රෝග ලක්ෂණ ලෙසයි. ඒ නිසා බොහෝදෙනා ගෑස්ට්‍රයිටීස් රෝගය  යැයි සිතා සිටීම නිසා ආමාශගත පිළිකාව බොහෝදුරට ශරීරයේ වර්ධනය වීමට ඉඩකඩ පවතිනවා.ඒ නිසා සුළු රෝග ලක්ෂණයක් පවා ති වූ වහාම වෛද්‍ය  ප්‍රතිකාර කරා යොමුවීමයි වැදගත් වන්නේ.

  • ආහාර අරුචිය සහ  ගිලීමේ අපහසුතා මේ ලක්ෂණය බොහෝවිට ආමාශයේ ඉහළ කොටසේ ඇතිවන පිළිකාවකදී දකින්නට ලැබෙන ලක්ෂණයන්. 
  • බඩ පුරව දැමීම, බඩ දැවිල්ල හා ආහාර ගෙන ස්වල්ප වේලාවකින් වමනය පිටවීම මේ රෝග ලක්ෂණ පහල කොටසේ ඇතිවන පිළිකාවකදී හඳුනා ගන්නට පුළුවන් 
  • ඔක්කාරය 
  • රක්තහීනතාවය 
  • ආහාර ගත් පසු නැවත ඒවා උගුරට ඒම 
  • රුධිරය සහිතව මලපහ පිටවීම 
  • කුසගිනි නොදැනීම 
  • ලේ වමනය 
  • මල කළුපැහැයෙන් පිටවීම 
  • ශරීරයේ බර අඩුවීම 

ප්‍රතිකාර 

මෙවැනි රෝග ලක්ෂණ ඇතිවිට ඒ පිළිබඳව සුළුවට නොගෙන වෛද්‍යවරයෙකු හමුවිය යුතුයි.මේ සඳහා එන්ඩොස්කොපි පරීක්ෂණය වගේම එක්ස්රේ අල්ට්‍රා  සවුන්ඩ් ස්කෑන් ආදී පරීක්ෂණ මේ සඳහා භාවිතා කරනු ලබනවා.  මුල්ම අවස්ථාවේදී පිළිකා නාශක ඖෂධ හෝ විකිරණ ප්‍රතිකාර සිදු කරන නමුත් ප්‍රධානම ප්‍රතිකර්මය ලෙස සිදු කරන්නේ ආමාශයේ කොටසක් හෝ අමාශයම ඉවත් කිරීමයි.

මේ සැත්කමට ලක්වෙන පුද්ගලයාට තරමක් විශාල ලෙස ආහාර ගත නොහැකි අතර කුඩා ආහාරවේල් එක ළඟ ලබා ගන්නට පුළුවන්. ඒ හැරුණාම ආහාර ගැනීම පහසු කරන්නට නාසයෙන් ආමාශයට සවිකළ බටයක් සවි කළ හැකියි. කෙසේනමුත් මේ සැත්කමින් පසුව සාමාන්‍ය  ජීවිතයක් ගත කරන්නට හැකියාව ලැබුණත් විවිධ රෝග හා ආසාදනවලින් පරෙස්සම් විය යුතුයි. 

ආමාශගත පිළිකාවෙන් වැළකීමට අනුගමනය කළ යුතු පුරුදු 

  • අයහපත් චර්යාවලින් වැළකීම 
  • හැම්, බේකන් ආදී සකස් කළ ආහාරවලින් වැළකීම 
  • නිතරම පිරිසිදුව සකස්  කළ පෝෂ්‍යාදායි ආහාරවේලක් ලබා ගැනීම 
  • අමිල පිත්ත රෝගය නොසලකා නොහැර නිසි ප්‍රතිකාර ලබා ගැනීම 
  • උසට සරිලන බර පවත්වා ගැනීම 
  • කබනික එළවලු පලතුරු ආහාරයට එකතු කර ගැනීම 

මේ පිළිකා ඇතිවීම වළක්වා ගැනීම පුද්ගලයා සතු වගකීමක්. තමන්ගේ චර්යා, ආහාර පුරුදු යහපත් වන තරමට නීරෝගී ජීවිතයක් ගත කරන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම මෙවැනි ලක්ෂණ ඇතිවිටෙක ඒවා නොසලකා නොහැර පරීක්ෂාවන්ට යොමුවීමෙන් මේ පිළිකාව සුවපත් කරගැනීමේ හැකියාවත් පවතින බව මතකයේ තබා ගන්න.