සමේ සිදුරු විශාල වී කලු තිත් (බ්ලැක්හෙඩ්ස් වැනි) මතුවීමේ තත්වය හඳුන්වන්නේ ‘ස්ට්‍රෝබෙරි ස්කින්’ කියලයි.කකුල් ආශ්‍රිතව එසේ මතුවන තත්වය හඳුන්වන්නේ ‘ස්ට්‍රෝබෙරි ලෙග්ස්’ලෙසයි. මේ නමින් මෙම තත්වය හඳුන්වන්නේ කකුල් වල සම රතු පැහැයට හැරී විශාල වූ සිදුරු තුළ කුඩා කලු තිත් මතුවීම හරියට ස්ට්‍රෝබෙරි ගෙඩියක පොත්ත මතුපිටට සමාන පෙනුමක් ගන්න නිසයි.මෙම කලු තිත් රෝම කූප හෝ තෙල්, බැක්ටීරියා සහ මැරුණු සම මිශ්‍ර වී පිරී ඇති විශාල වූ සමේ සිදුරු විය හැකියි.විශේෂයෙන්ම ෂේව් කිරීම වැනි ක්‍රියාකාරකම් නිසා මෙම රෝම කූප හෝ සිදුරු වල ඇති දෑ පිටත වාතයට නිරාවරණය වී ඔක්සිකරණයට ලක්වීම නිසා එසේ කලු තිත් බවට හැරෙයි. මේවා මතුවීමෙන් සමේ කැසිල්ල හෝ වේදනාවක් ඇතිවන්නේ නැහැ. නමුත් ඉන් ඔබේ සම අවලස්සනට පෙනෙන්න පුළුවන්.ඔබව අපහසුතාවට පත්කරවන මේ චර්ම ගැටලුව දුරුකරගන්නේ කොහොමද ?
මුළින්ම මේ තත්වය ඇතිවීමට බලපෑ හැකි හේතු සාධක මොනවාද කියා දැනගනිමු.
- ෂේව් කිරීම

ස්ට්‍රෝබෙරි ලෙග්ස් යනු ජානමය බලපෑමින් වඩාත් ඝනකම් රෝම සහිත පුද්ගලයින් අතරේ බහුලව හටගන්නා තත්වයක් බවත් , රෝම බෑම හෙවත් ෂේව් කිරිම මෙම අවලස්සන තත්වය මතුකරවීමට බලපාන ප්‍රධාන එක් සාධකයක් බවත් සඳහන් වෙනවා. පරණ වූ රේසරයකින් ෂේව් කිරීම, ෂේවිං ක්‍රීම් හෝ ලිහිසිකාරකයක් භාවිතා නොකර රෝම ඉවත්කිරීම වගේ හේතු නිසා සමේ කැපුම් තුවාල ඇති වී සමේ අපහසුතා (irritations) මතුවීමට ඉඩකඩ තිබෙනවා . එසේ ඇතිවන සමේ අපහසුතාවන්ට ප්‍රතිචාර ලෙස රෝම අවට සම අඳුරුවී කලු තිත් ලෙස පිටතට පෙනීමට පටන්ගනියි.
- ෆොලිකියුලයිටිස් (folliculitis)

ෆොලිකියුලයිටිස් යනු රෝම කූප ආසාදනය වීම සහ ප්‍රදාහයට ලක්වීම (ඉදිමුම සහිත දැවිල්ල තත්වය) නිසා ඇතිවන චර්ම ගැටලුවක්.මෙම තත්වය ආකාර කිහිපයකින් මතුවිය හැකි අතර ස්ට්‍රෝබෙරි සම කියන්නේ එසේ ඇතිවන එක් ආකාරයක්.සුලු ෆොලිකියුලයිටිස් තත්වය ඇතිවන්නේ රේසර් බම්ප්ස් නිසයි.එහෙමත් නැතිනම් රේසරයකින් කැපීම නිසා සමේ හටගන්නා බිබිලි නිසයි. ඇතැම් විට එහිදි ingrown hair හෙවත් සම තුලට රෝම වැඩීමට පටන්ගත හැකි අතර මෙය ද ස්ට්‍රෝබෙරි පාද තත්වය ඇතිවීමට බලපාන හේතුවක් වේ.
- වියළි සම

සම අධිකව වියළීයාම සමේ සිදුරු කලු පැහැයට හැරීමට බලපෑමක් ඇති නොකලත් එවැනි සමක් ෂේව් කිරීමෙන් දැවිල්ල ,සම රතුවීම සහ වෙනත් සමේ අපහසුතා වලට ලක්වීමේ ඉඩකඩ වැඩියි. සමේ අධික වියළි ස්වභාවය නිසා සම මතුපිට කලු ඇට මෙන් මතුවී ඇති පැල්ලම් පිටතට පෙනෙන ගතිය වැඩියි .සමේ තෙතමනය අඩුකම නිසා ඔබේ කකුල් වල සම ස්ට්‍රෝබෙරි පොත්තක් වගේ පෙනුමකට හැරෙන්න පටන්ගනියි.
- කෙරටෝසිස් පිලේරිස් (keratosis pilaris)

මෙය ඉතා සාමාන්‍ය චර්ම ගැටලු තත්වයකි. සමේ තැන් තැන් වල වියළිබව සහ සමේ කුඩා ගැටිති මතුවීම ලක්ෂණයි. මෙය අත් වල ඉහල කොටසේ, කලවා වල, තට්ටම් වල සහ ඇතැම් විට කම්මුල් වල පවා මතුවිය හැකියි.සම තුළ කෙරටින් එකතුවී රෝම කූප විවරය අවහිර වන පරිදි ගැට්ටක් ලෙස වර්ධනය වීමට පටන්ගැනීම නිසා ස්ට්‍රෝබෙරි පොත්තක ආකාරයෙන් සමේ කලු තිත් හටගනියි.කෙරටෝසිස් පිලේරිස් තත්වය මතුවන්නේ සම අධිකව වියළී තිබෙන විටයි. මේ තත්වය තෙතමනය අඩු දේශගුණයක් ඇති, ඒ කියන්නේ වියළි පරිසරයක ජීවත්වන අයගේ සමේ බහුලව හටගනියි.ඒවගේම රසායනික ද්‍රව්‍ය අධිකව අඩංගු වන ජලයේ (පිහිනුම් තටාක වල) පිහිනන පුද්ගලයින්ගේ සමේ ද බොහෝ විට මෙවැනි ස්වභාවයක් හඳුනාගත හැකියි.
මේ තත්වය දුරුකරගන්නේ කොහොමද?
- නිවැරදිව ෂේව් කරන්න

ෂේව් කිරීමට කලින් ඔබේ සම තෙත් කරගන්න. ඉන් රෝම මෘදුවී ඉවත්කරගැනීම පහසු වෙයි. තෙත් කරගත් පසු සමේ ෂේවිං ක්‍රීම් හෝ සබන් හෝ ජෙල් ගල්වාගන්න.රේසරය භාවිතයෙන් රෝම ඉවත් කරගන්නා සෑම වාරයකදීම එය ජලයෙන් සෝදන්න. සමේ අපහසුතා ඇතිවීම වළක්වාගැනීමට නිතර අලුත් රේසර් තල හෝ රේසරයක් භාවිතා කරන්න. රේසර් බම්ප් (ගැටිති) සහ රෝම ඉවත් කල පසු සමේ දැවිල්ල හටගැනීම වළක්වාගැනීමට රෝම වර්ධනය වන දිශාවට ෂේව් කරන්න.
- නිතිපතා මැරුණු සම ඉවත්කරන්න

මැරුණු සම ඉවත්කිරීමෙන් (exfoliating) නව රෝම වර්ධනය වීමට පහසුවක් ඇතිකරවයි.එමඟින් සම තුලට රෝම වර්ධනය වීම වැළැක්වෙයි.එවිට සමේ කලු තිත් මතුවීම බොහෝ දුරට අඩුකරගත හැකියි.නිතිපතා (බොහෝවිට සතියකට වරක්) සමේ මැරුණු සෛල ඉවත්කර සම පිරිසිදු කරගැනීමෙන් කකුල් වල සම පවා ලස්සනට තබාගන්න ඔබට හැකියි.
- අවශ්‍ය නම් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවන්න

එලෙක්ට්රෝලයිසිස් (electrolysis) සහ ලේසර් සත්කාර (laser therapy)වැනි වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම හරහා ඔබේ කකුල් වල මතුවී ඇති මේ අවලස්සන තත්වයට ප්‍රතිකාර ලබාගන්න ඔබට හැකියි. ඉලෙක්ට්රොලයිසිස් ක්‍රමයේදී සිදුවන්නේ අපහසුතාවට ලක්වී ඇති සමේ රෝම කූප ඉලක්ක කරමින් රෝම වර්ධනය වීම වැළැක්වීම සඳහා කුඩා විදුලි ධාරාවක් භාවිතයෙන් ප්‍රතිකාර කිරීමයි.ඒ හරහා සම තුලට රෝම වර්ධනය වීම වැළැක්වෙන අතර ස්ට්‍රෝබෙරි පාද තත්වය ඇතිවීම අඩුකරවයි. ලේසර් සත්කාර යනු වඩාත් ආරක්ෂාකාරි රෝම ඉවත්කරන ක්රමවේදයකි. ඒ හරහා රෝම කූප ගණනාවකටම එක්වරකදි ඉලක්ක කරමින් ප්‍රතිකාරය ලබාදේ.